'රායිස්'


රාහුල් ඩොල්කියා විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ 'රායිස්' චිත්‍රපටය උදාවූ නව වසරේ බොලිවුඩ් සිනමාව තුළ ප්‍රදර්ශනය වන පළමු සුපිරි චිත්‍රපටය වෙයි. පසුගිය වසර අවසානයේ ප්‍රදර්ශනය වූ 'ඩියර් සින්දගී' චිත්‍රපටයේ සාර්ථකත්වයත් සමගින් නව වසරට මුහුණදෙන ෂාරුක් 'රායිස්' චිත්‍රපටය හරහා නැවතත් තම සුපිරි කිරුළේ ආධිපත්‍ය රැකගැනීමේ අරමුණක නිරතව සිටියි.

 

නළුනිළියන්

2017-01-26-ent-174චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණපොවනු ලබන්නේ සුපිරි නළු ෂාරුක් ඛාන්ය. 'ආෂියා' ලෙස පාකිස්තානු සිනමා නිළි මිහිරා ඛාන් මෙහි ප්‍රධාන නිළිය ලෙස රංගනයේ යෙදෙන්නීය. සෙසු චරිත නව්සුඩාන් සිද්ධික්, මුම්ටාස් සොර්කාර්, ශකිර් හුසේන්, මොහොමඩ් අයියාබ්, ශිබා චඩ්ඩා දායක වෙති. බොලිවුඩ්යේ 'බාබිඩෝල්' ලෙස හඳුන්වන සනි ලියෝන් මෙහි ආරාධිත නර්තනයකින් දායකව සිටියි.

 

සෙසු සහයකින්

මෙහි අධ්‍යක්ෂණයෙන් රාහුල් ඩෝල්කියා දායකව සිටින අතර, රිතේෂ් සිද්වානි, ෆර්හාන් අක්තාර් හා ගෞරි ඛාන් මෙහි සම නිෂ්පාදනයෙන් දායක වෙති. අශිෂ් වාෂි, හරිත් මෙහෙතා හා නිරාජ් සුක්ලා මෙහි කතාව, දෙබස් හා තිර රචනාව ලියා තිබේ. සංස්කරණයෙන් දීපා භාටියාද, කැමරකරණයෙන් කේ. යූ. මෝහන්ලාල්ද, ඇඳුම් නිර්මාණයෙන් ශිතල් ෂර්මාද, සංගීත නිර්මාණයෙන් රාම් සම්පත්ද දායක වෙති.

 

කතාව

1990 වසරේ ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයේ සිදුවූ සිදුවීමක් අලළා මෙහි කතාව ගොඩනැගී ඇත. 'රායිස්' යනු මැරයෙකි. නමුත්, සමාජය ඉදිරියේ ඔහු හැමවිටම සුදු චරිතයකින් පෙනී සිටියි. දේශපාලන චරිත කිහිපයක්ද ඔහුගේ සහයට සිටියි. මහජනයාද රායිස්ගේ ගුණ ගැයිම් නිතරම සිදු කරයි. මන්දයත්, ඔහු මැරවරයෙකු, මත්ද්‍රව්‍ය වෙළෙඳාම්කරුවෙකු මෙන්ම දේශපාලන බලය ඇත්තෙකු ලෙස කටයුතු කළද, ඔහු මහජනයාටද නිතරම කරුණාවෙන් සලකයි. මුල්ම හමුවීම තුළින්ම ඔහුගේ ආදරය ආෂියාට හිමිවේ. එහෙත්, රායිස්ගේ සියලු යටිකූට්ටු වැඩ ගුජරාට් ප්‍රාන්තයට පත්වන පොලිස් නිලධාරි ජයදීප්ගේ පරීක්ෂණ හමුවේ හෙළිවෙයි.

 

රූපගත කිරීම් කටයුතු

2015 වසරේ අප්‍රේල් මාසයේදී මෙහි රූපගත කිරීම් කටයුතු ආරම්භ කර තිබුණි. ඉන්දියාවේ ගුජරාටි, අහමබාද්, මුම්බායි, රාජස්ථාන් හා රාජ්පුත් නගර හි මෙය රූපගත කර ඇත. සනී ලියෝන් දායක වූ %ලයිලා ඕ ලයිලා^ ගීතය පමණක් මුම්බායිහි මෙහෙබුබා කලාගාරයේදී සිදුකර තිබේ.

 

විශේෂත්වය

ෂාරුක් මීට පෙර දුෂ්ට චරිත කිහිපයක් රඟපා තිබුණද, ඔහු ප්‍රථම වතාවට 'රායිස්' චිත්‍රපටයේ මැරවරයෙකුගේ චරිතයක් නිරූපණය කිරීම විශේෂත්වයකි. එමෙන්ම පාකිස්තානු සිනමා නිළි මිහිරා ඛාන් බොලිවුඩ් චිත්‍රපටයක පෙනී සිටින ප්‍රථම අවස්ථාව මෙය වේ. එමෙන්ම ඇයට බොලිවුඩයේ කිං ඛාන් සමගින් පළමු සිනමා රංගනයට එක්වීම කැපී පෙනෙන්නකි.

 

සංගීතය

රාම් සම්පත් විසින් මෙහි ඇතුළත් සියලු ගීත අධ්‍යක්ෂණය කර තිබේ. පවනි පාණ්ඩේ, අර්ජිත් සිං, භුමී තිවේධි, සුක්වින්දර් සිං, හර්විෂ්දීප් කෞර් පිරිස මෙහි පසුබිම් ගීත ගායනයට සම්බන්ධ වී තිබේ. සනී ලියෝන් දායක වන %අයිටම්^ ගීතය වූ %ලයිලා ඕ ලයිලා^ ගීතය මේ වනවිට යූටියුබ් වෙබ් අඩවිය හරහා නරඹා ඇති ප්‍රමාණය මිලියන 50කට අධිකය.

 

නිෂ්පාදනය

'රායිස්' චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 70ක වියදමින් තැනූ චිත්‍රපටයකි. මෙහි මුළු නිෂ්පාදන බරපැන දරා ඇත්තේ ෂාරුක්ගේ බිරිඳ ගෞරි ඛාන්ට අයත් 'රෙඩ්චිලි' නිෂ්පාදන ආයතනය විසිනි. එමෙන්ම ජනප්‍රිය සිනමා නළු ෆර්හාන් අක්තාර් හා රිතේෂ් සිද්වානි ඉතිරි නිෂ්පාදන පිරිවැය දරා ඇත.

 

වෙනස් වූ නළුනිළියන්

රාහුල් ඩෝල්කියා මෙම චිත්‍රපටය නිර්මාණය කරන්නට සැලසුම් කළ අවස්ථාවෙදීම මෙහි ප්‍රධාන චරිතයට ෂාරුක් සම්බන්ධ කොට ගෙන තිබුණි. එහෙත්, ගැටලුව වූයේ ෂාරුක් සමග මෙහි ප්‍රධාන නිළි චරිතයට පණපොවන නිළිය කවුරුන්දැයි තෝරා ගැනීමය. නිෂ්පාදකවරුන්ගේ ඉල්ලීම වූයේ ෂාරුක්ට මෑත කාලයේ ජනප්‍රිය වූ නවක නිළියක් එක්කිරීම වුවද, චිත්‍රපට නිෂ්පාදක ෆර්හාන් අක්තාර්ගේ ඉල්ලීම වූයේ පාකිස්තානු සිනමා නිළි මිහිරා ඛාන් වැනි නවක නිළියකට මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය පිරිනැමීමය. ඒ අනුව මෙහි ප්‍රධාන නිළි චරිතයට මිහිරා තෝරා ගෙන තිබුණි. නව්සුධාන් සිද්දික්ගේ චරිතයට නිෂ්පාදක ෆර්හාන්ගේ නම යෝජනා වී තිබුණද, ඔහුගේ තෝරා ගැනීම මත එය නවිසුධාන්ට ලැබුණි.

 

තිරගත වීම

ජනවාරි 25 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය වීමට සූදානම් කර ඇති මෙම චිත්‍රපටය කිහිප වරක් සිය ප්‍රදර්ශනය අවලංගු කළේය. සල්මාන්ගේ 'සුල්තාන්' චිත්‍රපටය ප්‍රදර්ශනය කළ ජූලි 06 වැනිදා මෙම චිත්‍රපටය පළමු වරට ප්‍රදර්ශනය කිරීමට සූදානම් කර තිබුණමුත්, පසුව එය අවලංගු විය. ඉන් පසුව අමීර් ඛාන්ගේ 'දංගල්' චිත්‍රපටය තිරගත වූ දෙසැම්බර් 23 වැනිදා නැවතත් 'රායිස්' චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්නට කටයුතු කර තිබුණද, එම අවස්ථාවෙද මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම අත්හිටවනු ලැබීය. දැනට මෙම චිත්‍රපටය තිරගත කිරීමට යොදාගෙන ඇත්තේ ජනවාරි 25 වැනිදාය. එදින තවත් සුපිරි බොලිවුඩ් චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීමට සූදානම් කර ඇති අතර, ඒ රිතික් රෝෂන් රඟන 'කාබිල්' චිත්‍රපටයය.