Jolly LLB 2 දැන් තිරගතවේ


පෙබරවාරි මාසයේ තිරගත වන බොලිවුඩ් චිත්‍රපට අතරින් ආදායම් උපයා ගැනීම අතින් සාර්ථක විය හැකි චිත්‍රපටයක් ලෙස සැලකෙන %Jolly LLB 2^ පෙබරවාරි 10 වැනිදා සිට ප්‍රදර්ශනය ආරම්භ විය. ආක්ෂේ කුමාර් රංගනයෙන් දායක වන මෙම චිත්‍රපටය ඔහු මේ වසරේදී සිය රසික පිරිස් මුණගැසෙන පළමු චිත්‍රපටයද වීම විශේෂත්වයකි.

 

නළුනිළියන්

මෙහි ප්‍රධාන නළු චරිතය වන "ජග්දේෂ්වර් මිස්රා" ලෙස ජනප්‍රිය සිනමා නළු ආක්ෂේ කුමාර් රංගනයෙන් එක්වෙයි. ඔහුට අමතරව හුමා කුරේෂි, අන්නු කපුර්, සව්රබ් සුක්ලා, ගයනි ගුප්තා, ඇලි අවුරම්, රජිව් ගුප්තා, සුශිල් පාණ්ඩේ, දිනේෂ් නාග් සෙසු චරිත සඳහා රංගනයෙන් දායක වෙති. 2013 වසරේ තිරගත වූ පළමු "Jolly LLB 2" චිත්‍රපටයේ ප්‍රධාන නළු චරිතයට පණ පෙවූ අර්ෂාඩ් වාසී මෙහි ආරාධිත රංගනයක නිරත වෙයි.

 

සෙසු සහයකයන්

"Jolly LLB 2" චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ සුභාෂ් කපූර් විසිනි. ඔහුගේම තිර රචනාවකට අනුව නිර්මාණය වූ මෙම චිත්‍රපටය නිෂ්පාදනය කොට ඇත්තේ "ෆෝක්ස් ස්ටාර්" සමාගම විසිනි. කැමරාකරණයෙන් කමල්ජිත් නාග්ද, සංස්කරණයෙන් චන්ද්‍රෙස්කර් ප්‍රජාපතිද, ඇඳුම් නිර්මාණයෙන් වීරා කපූර්ද, සංගීත අධ්‍යක්ෂණයෙන් විශාල් කූරාණාද දායක වී ඇත

 

කතාව

"ජග්දේෂ්වර් මිස්රා" යනු නීතියට ගරු කරන ගුණගරුක නීතිඥවරයෙකි. ඔහුට කාලයක් ඇදෙමින් පවතින හා වඩාත් තීරණාත්මක නඩුවක විත්තිකාර පාර්ශ්වයේ නීතිඥවරයා ලෙස කටයුතු කරන්නට අවස්ථාව ඔහුට හිමිවෙයි. නමුත්, තම පාර්ශ්වයට අවාසි වන අන්දමට කරුණු කාරණ සියල්ල සිදුවන නමුදු, ඔහු කිසිම මොහොතක සිය සේවාදායකයාව අත්නොහරියි. සෙසු පාර්ශ්වයේ නීතිඥවරිය නිතරම ජග්දේශ්වර්ට විරුද්ධව විවිධ චෝදනා කරයි. විවිධ බාධකයන්ට මෙන්ම ජීවිත තර්ජනවලටද මුහුණ දෙන්නට සිදුවන "ජග්දේශ්වර් මිස්රා" නිතරම තමා නිවැරදියි යැයි විශ්වාස කරන්නෙකි. ඒ නිසාම ඔහුට අවසානයේ ජය හිමිවෙයි.

 

රූපගත කිරීම්

පසුගිය වසරේ ජූලි 18 වැනිදා ආරම්භ කරනු ලැබූ මෙම චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතු පසුගිය වසරේ අගෝස්තු 15 වැනිදා අවසන් විය. ඉන්දියාවේ ලක්නව් හා කාශ්මිර් නගරවලදී මෙහි රූපගත කිරීම් කටයුතු සිදු කරනු ලැබූ අතර, සමහරක් දර්ශන ඉන්දියාවේ මුම්බායිහි %කලාවති^ කලාගාරයේද සිදුකොට තිබේ.

 

විශේෂත්වය

ආක්ෂේ කුමාර් මෙම චිත්‍රපටය රූපගත කරන කාලයේ දිනක් සඳහා ඉන්දීය රුපියල් කෝටියක මුදලක් අය කළ බව සඳහන්වෙයි. එමෙන්ම %Jolly LLB 2^ චිත්‍රපටය නිෂ්පාදනය කළ %ෆෝක්ස් ස්ටාර්^ සමාගම මෙම චිත්‍රපටයේ සියලු රූපගත කිරීම් කටයුතු දින 27කින් නිමකළ බව සඳහන්වෙයි. 2013 වසරේ නිර්මාණය කළ මෙහි පළමුවැනි චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ සුභාෂ් කපූර් විසින්ම මෙම චිත්‍රපටයද අධ්‍යක්ෂණය කිරීම විශේෂත්වයකි.

 

සංගීතය

මෙම චිත්‍රපටය සඳහා ගීත 4ක් පමණක් ඇතුළත්ව තිබෙන අතර, නිලේෂ් පාණ්ඩේ, චිරන්තන් භාට්, මිට් බ්‍රොස්, විශාල් කූරාණා පිරිස එම ගීත සඳහා සංගීතය නිර්මාණය කර ඇත. විශාල් කූරානා චිත්‍රපටයේ එන පසුබිම් සංගීතයද නිර්මාණය කර තිබේ. රෆ්තාර්, නින්දි කෞර්, නෙතු මෝහන් මිට් බ්‍රෝස්, සුක්වින්දර් සිං, මුර්තුෂා මුෂ්ටාෆ් මෙහි පසුබිම් ගීත ගායනයට සම්බන්ධ වී සිටිති. මෙහි ඇතුළත් %ගෝ පාගල්^ ගීතය මේ වනවිට බොලිවුඩ් ගීත දර්ශක අතරද රැඳී තිබේ.

 

නළුනිළියන් වෙනස් කිරීම

පළමු චිත්‍රපටයේ ප්‍රධාන නළු චරිතයට පණපෙවූ ආර්ෂාඩ් වාසී මෙම චිත්‍රපටයටද සම්බන්ධ කර ගැනීමට මුලින් යෝජනාවක් මතු වුවද පසුව %ෆෝක්ස් ස්ටාර්^ සමාගම විසින් මේ සඳහා ආක්ෂේගේ නම යෝජනා කළ බව සඳහන් වෙයි. මෙහි ආක්ෂේට පෙම්වතිය ලෙස හුමා කුරේෂි පෙනී සිටින අතර, මුලින් ඒ සඳහා යෝජනා වී තිබුණේ ක්‍රිති ෂැණොන්ය.

 

නිෂ්පාදන පිරිවැය

ඉන්දීය රුපියල් කෝටි 70කට ආසන්න මුදලක් වැය කරමින් නිර්මාණය කරනු ලැබූ මෙම චිත්‍රපටයේ මුළු නිෂ්පාදන බරපැනම දරා ඇත්තේ %ෆෝක්ස් ස්ටාර්^ සමාගම විසිනි. ඉන් වැඩි මුදලක් වියදම් වී ඇත්තේ චිත්‍රපටයේ ප්‍රධාන නළු චරිතයට පණ පොවන ආක්ෂේට ගෙවීම සඳහා බව සඳහන් වෙයි. විනාඩි 140ක කාලයක් මෙම චිත්‍රපටය විකාශයද වේ.

 

තිරගත කිරීම

පෙබරවාරි 10 වැනිදා තිරගත වන මෙම චිත්‍රපටය ඉන්දියාවේ පමණක් සිනමා ශාලා 733ක ප්‍රදර්ශනය කිරීමට නියමිතව ඇත. ඉන්දියාවේ පමණක් නොව විදෙස් රටවල් කිහිපයකද ප්‍රදර්ශනය කිරීමට සූදානම් කර ඇති මෙම චිත්‍රපටය ශ්‍රී ලංකාවේද තිරගත වන්නකි.