Passengers


ජෝන් පේස්ට්ගේ කතාවක් ඇසුරින් නිර්මාණය වුණ "Passengers" චිත්‍රපටය එළැඹෙන දෙසැම්බර් 21 වැනිදා හොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කිරීමට නියමිතය. විද්‍යා ප්‍රබන්ධනයක් ලෙස නිර්මාණය වුණ මෙම චිත්‍රපටය මේ වසරේ තිරගත වන අවසන් හොලිවුඩ් සුපිරි චිත්‍රපටය වීමද විශේෂත්වයකි.

ස්කා සම්මානලාභි ජෙනිෆර් ලෝරන්ස් මෙහි එන "අවුරෝරා ලේන්" මාධ්‍යවේදිණිය ලෙසත්, ක්‍රිස් ෆ්‍රැට් කාර්මික ඉංජිනේරුවෙකු වන "ජිම් ප්‍රේස්ටන්" ලෙසත් මෙහි ප්‍රධාන චරිත සඳහා දායක වෙති. ඔවුන්ට අමතරව, මයිකල් ශීන්, ලොරේන් ෆිෂ්බන්, ඇන්ඩි ගාර්ෂියා, අරෝරා ෆෙර්නෙග් සෙසු චරිත සඳහා දායක වෙති.

කොළොම්බියා පික්චර්ස් සමාගමේ බෙදාහැරීමක් වන "Passengers" චිත්‍රපටය මෝර්ටන් ටයල්ඩ්‍රන්ගේ සිනමා අධ්‍යක්ෂණයක්ද වේ. ඇමෙරිකානු ඩොලර් මිලියන 110ක වියදමකින් තැනුණ මෙම චිත්‍රපටය නිෂ්පාදන බරපැන දරා ඇත්තේ නීල් එච්.මොරියස් විසිනි.

නව ග්‍රහ ලොවක් සොයා යන ගවේෂයෙකු වටා මෙහි කතා තේමාව ගොඩනැගී ඇත. ජිම් ප්‍රේස්ටන් නම් වූ ඔහුට මෙම කාර්යයට සහය දක්වන්නේ ඔහුගේ පෙම්වතිය වන මාධ්‍යවේදිනි අවුරෝරා ලේන් විසිනි. විවිධ මතවාද ඔස්සේ මෙම කටයුත්ත ඉදිරියට ගෙනායමට උත්සාහ කරන ජිම්ට නිතැතින්ම ඔහුගේ පෙම්වතිය අවුරෝරා උදව් දෙයි. මෙම කාර්යය නිෂ්ඵල බව කියන්නට බොහෝ පිරිසක් සිටියද, අවුරෝරා මෙන්ම ජිම්ද මෙම ව්‍යාපෘතිය සාර්ථක වන බව පවසයි. අවසානයේ සිදුවන්නේද එයය. නමුත්, මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට ඔවුන් දෙදෙනාට අභියෝගවලට මුහුණ දීමට සිදුවේ. චිත්‍රපටය පුරා දිවයන්නේ එවැනි සිදුවීම්ය.

විනාඩි 116ක් පුරා විකාශය වන මෙම චිත්‍රපටයේ ප්‍රචාරක පටයක් පසුගියදා නිකුත් කරනු ලැබූ අතර, එය මේ වනවිට මිලියන 10කට අධික පිරිසක් නරඹා ඇත. සිනමා විචාරකයන් පවසන්නේ චිත්‍රපටයේ සාර්ථකත්වය එම ප්‍රචාරක පටය හරහා මේ වනවිටත් ලැබෙමින් පවතින බවය.

කෙසේ වෙතත්, මෙම චිත්‍රපටය තිරගත වන දිනයේදී හොලිවුඩ් චිත්‍රපට කිහිපයක් තිරගත කිරීමට සූදානම් කර තිබෙන බව සඳහන් වේ. ඉන් බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගෙන ඇත්තේ ජනප්‍රිය වීඩියෝ ක්‍රීඩාවක් පදනම් කරගෙන නිර්මාණය වූ "Assassin's Creed" චිත්‍රපටයය. මෙම චිත්‍රපටය ක්‍රියාදාම ලේබලය යටතේ නිර්මාණය කර ඇත. කතාමය චිත්‍රපටයක් වන "Patriots Day" චිත්‍රපටයද එදිනම තිරගත කිරීමට නියමිතව ඇත. මේ නිසාම %Passengers^ චිත්‍රපටයට යම් අභියෝගයක් එල්ල වී තිබෙන බව දක්නට තිබේ.