Sing


දෙසැම්බර් මාසය අවසන් වීම ලංවුණත් තවමත් හොලිවුඩයටනම් එය අවසන් නොවීම පුදුමයක් නොවෙයි. තව තවත් එළිදැක්වීමට චිත්‍රපට ඇති නිසාවෙන් හොලිවුඩයට දෙසැම්බර් මාසය දින අඩු මාසයක්ද යන්න හැගෙන බව අපට සිතා ගත හැකිය. මේ මාසයේ එළිදැක්වීම ඇති සහ එළිදැක්වූ චිත්‍රපට බොහෝමය පිළිබඳව බොහෝ දෙනා බලාපොරොත්තු තබා ගනු ලැබුවේ වසර මුල සිටය. එවැනි බලාපොරොත්තුවක් තබා ගත් චිත්‍රපටයක් පිළිබඳව අද අප කතා බහ කිරීමට සැරසෙනවා.

"sing" චිත්‍රපටය ඇමරිකානු ත්‍රිමාණ සජීවීකරණ සංගීතමය මෙන්ම හාස්‍යමය සිනමාපටයක් ලෙස නිර්මාණය වී ඇති මෙම සිනමාපටයට ප්‍රසිද්ධ සංගීත ශිල්පීන්ගේ ගීත 85ක් පමණ ඇතුළත් වේ. මෙය එක්තරා ආකාරයේ සංගීතමය ආශ්වාදය හෙබි චිත්‍රපටයක් ලෙසද හැඳින්වූවාට කිසිඳු වරදක් නොමැත.

ඇමෙරිකාවේ සුප්‍රසිද්ධ ගායික ගායක දෙපළක් වන ස්ටීව් වොන්ඩර සහ අරියානා ග්‍රැන්ඩි ගායනා කළ "Faith" නම් නවතම ගීතයද ඒ අතර වේ. මනුෂත්වාරෝපිත සතුන්ගෙන් ජනාකීර්ණ ලෝකයක "බස්ටර් මූන්" නම් කෝලා කෙනකු සහ ඔහුගේ මිතුරන් වන අනෙකුත් සතුන් වටා ගෙතෙන හාස්‍යෝත්පාදක කතාවක් තේමා කරගනිමින් නිර්මාණය වී ඇති මෙම සිනමාපටයද සිනමාලෝලීන් හට මනා රසවින්දනාත්මක සිනමාපටයකි. අද ලෝකය තුළ නිර්මාණය වන ෆැන්ටසි මාදිලියේ චිත්‍රපට සඳහා බොහෝ දෙනා ඇල්මක් දක්වන බවද විශේෂ කරුණකි. සංගීත පසුබිමක් මත දිග හැරෙන මෙම චිත්‍රපටය සඳහා බොහෝ දෙනා ඇල්මක් දක්වන බව ඔහුගේ අදහස බව එහි අධ්‍යක්ෂකවරයා වන ගාත් ජෙනින්ග්ස් සඳහන් කරයි.

2014 වර්ෂයේ ජනවාරි මාසයේ මෙම චිත්‍රපටය පිළිබඳ මාධ්‍ය වෙත කරුණ ගෙන දක්වා තිබුණි. මෙවැනි සංගීතම චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීම බොහෝ අභියෝගයක් වන බවද සඳහන් වෙයි. එයට හේතු වන්නේ මෙම චිත්‍රපටය තුළ දිවෙන් ගීතයන් 85 මෙහි ප්‍රධාන අංගය වන හෙයිනි. ඇමෙරිකානු ඩොලර් මිලියන 75ක් වියදමකින් යොදවා නිෂ්පාදනය කර ඇති මෙම චිත්‍රපටය මේ විට ඇමෙරිකානු ඩොලර් මිලියන 8.7ක මුදලක් උපයා ඇත.

එළැඹෙන 21වැනිදා එළිදැක්වීමට නියමිතව තිබුණත් මෙම චිත්‍රපටය, මෙම වර්ෂයේ සැප්තැම්බර් මාසයේ Toronto International Film Festival හිදී මෙම චිත්‍රපටය එළිදක්වා තිබේ. එළැඹෙන 21වැනිදා ලෝකයේ බොහෝ සිනමාහල් ශාලාවල මෙම චිත්‍රපටය නැරඹීමට අවස්ථාව සලසා දීමට එය නැවතත් එළිදැක්වීමට කටයුතු යොදා තිබේ. මෙහි හඩ නළු දායකත්වයෙන් මැතිව් මැක් කානගී, රීස් විදර්ස්පූන්, සෙත් මැක් ෆාලේන්, ස්කාලට් ජොහැන්සන්, ජෝන් සී. රෙයිලි, රෝරි කෙලී, ටාරෝන් එගර්ටෝන්, නික් ක්‍රෝල් යන අය දායක වෙනු ලබයි.

සංගීතය තම ජීවිතය වූ බොහෝ දෙනා මෙම චිත්‍රපටයට ආදරය කරන බව සඳහන් වෙයි. එයට සංගීත ලෝකය තුළ තරුවක් වීමේ සිහිනය ඔස්සේ දිග හැරෙන චිත්‍රපට කතාවක් ලෙස මෙය ප්‍රසිද්ධිය උසුලයි. අදවනවිට තාක්ෂණික මට්ටමින් දියුණුවක් කරා යන චිත්‍රපට කර්මාන්තය තුළ විශාල ඉල්ලුමක් සහ ප්‍රේක්ෂක ආකර්ෂණයක් මෙම ත්‍රිමාණ චිත්‍රපට සඳහා ඇති බව සඳහන් වෙයි.

 

ඩිලාන් ක්‍රිෂාන්ත