Smurfs: The Lost Village


මේ දිනවල හොලිවුඩයේ මෙන්ම ඉන්දියානු සිනමාව තුළ මාතෘකාවක් වී ඇති චිත්‍රපටයක් ලෙස "Smurfs The Lost Village" දැක්විය හැක. මෙම චිත්‍රපටය 07 වැනිදා හොලිවුඩයේ මෙන්ම ඉන්දියාවේදී තිරගත වීමට නියමිතව ඇත. "The Smurfs" චිත්‍රපටයේ දෙවැන්න ලෙස එළිදැක්වීමට නියමිතව ඇති මෙම චිත්‍රපටය පිළිබඳව විශේෂ හේතු කාරණා කිහිපයක්ම තිබේ. "Smurfs" චිත්‍රපටයක් ලෙස එළිදැක්වීමට ප්‍රථම මෙය නිර්මාණය වී ඇත්තේ කාටූන් මාලාවක් ලෙසිනි. 1981 වර්ෂයේ සිට 1990 වර්ෂය දක්වා කාටූන් කතාමාලාවක් ලෙස මෙය නිර්මාණය විය. ඊට අමතරව 1989 වර්ෂයේදී සහ 1990 වර්ෂයේදී නිර්මාණය වූ කාටූන් සඳහා මෙහි චරිත ඇතුළත් කිරීම තවත් විශේෂයකි.

2011 වර්ෂයේදී චිත්‍රපටයක් ලෙස මෙහි පළමු චිත්‍රපටය නිර්මාණය විය. රාජා ගොස්නෙල් නම් අධ්‍යක්ෂකවරයා විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරනු ලැබූවේ ජොර්දන් කෙර්නර් විසිනි. මෙය පාදක වී ඇත්තේ පෙයෝ විසින් නිර්මාණය කරනු ලැබූ කොමික් පොතය. 1958 වර්ෂයේදී නිර්මාණය කර ඇති මෙම පොත ප්‍රකාශනය කර ඇත්තේ එම වර්ෂයේ ඔක්තෝබර් 23 වැනිදාය. මෙම පොත ප්‍රංශ භාෂාවෙන් ලියැවී ඇති අතර, "ඩුපුයිස්" නම් ප්‍රකාශකයන් සමගින් මෙම මෙම පොත ප්‍රකාශයට පත්කර ඇති බවද සඳහන් වෙයි.

පළමු චිත්‍රපටය වන "The Smurfs" චිත්‍රපට එළිදැක්වූයේ 2011 වර්ෂයේදී ජූලි 29 වැනිදාය. ඇමෙරිකානු ඩොලර් මිලියන 110ක වියදමකින් යුතු මෙම චිත්‍රපටය එම වර්ෂයේදී ආදායම් අතරට පැමිණි චිත්‍රපටයක්ද විය. එහි ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 563.7කි. ත්‍රිමාණ තාක්ෂණය ඔස්සේ නිර්මාණය වූ මෙම චිත්‍රපටය "Sony Pictures Animation" සමාගම දායකත්වය ලබා දී තිබුණි. අතීදැවැන්ත නිර්මාණයක් වූ මෙම චිත්‍රපටය අවසානයේදී මෙම චිත්‍රපටය වැඩිදියුණු කිරීම සඳහා තවත් සමාගම් දෙකක් දායක කරගෙන තිබේ.

මෙම මස 07 වැනිදාට එළිදැක්වීමට නියමිතව ඇති "Smurfs: The Lost Village" චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු පිළිබඳව වැඩි අවධානයක් යොමුකර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියි. මේ සඳහා බොලිවුඩ් නිළි පරිනීතා චොප්රාද දායකත්වය ලබාදෙන බවටද විදෙස් මාධ්‍ය සඳහන් කරයි. පළමු චිත්‍රපටය නිර්මාණය කිරීමට මූලික වූ ග්‍රන්ථය මෙම චිත්‍රපටයේ නිර්මාණයට මූලික වී තිබේ. මෙහි ඇති චරිත කිහිපයක් නැවත නිර්මාණය කිරීමට උත්සහ කර ඇති බව සඳහන් වෙයි. කොමික් පොතේ නොමැති චරිත කිහිපයක් මේ සඳහා භාවිත කර ඇති බවද සඳහන් වෙයි. මෙහි චරිතය කිහිපයක් වෙනස් කිරීම සඳහා මෙම කොමික් ග්‍රන්ථයේ නිර්මාතෘ වන පියෝගේ දියණියගෙන් අවසර ගත් බවද සඳහන් වෙයි.

"Smurfs:The Lost Village" චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා ලෙස කෙලී ඇස්බරි කටයුතු කරන අතර, පළමු චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන රාජා ගොස්නෙල් විසින් මෙම දෙවැනි චිත්‍රපටය අධ්‍යක්ෂණය නොකිරීම බොහෝ දෙනාගේ පුදුමයට කරුණක් බවද සඳහන් වෙයි. නිෂ්පාදකවරුන් තිදෙනෙකු මේ සඳහා දායකත්වය ලබාදෙන අතර, ත්‍රිමාණ තාක්ෂණය සහ අයිමැක්ස් තාක්ෂණය ඔස්සේ මෙම චිත්‍රපට නිර්මාණය කර ඇත. අප්‍රේල් 07 වැනිදා ඇමෙරිකාවේ එළිදක්වන අතර, ඉන්පසු ඉන්දියාව සහ තවත් රටවල් කිහිපය එළිදැක්වීමට නියමිත බව සඳහන් වෙයි.