Transformers: The Last Knight


ඇමෙරිකානු ජනප්‍රිය විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට මාලාවක් වන "Transformers" හි පස්වැන්න වන "Transformers: The Last Knight" මෙනමින්ම තිරගත වූ කතා මාලාවක් ඇසුරින් නිර්මාණය වන්නකි. ක්‍රියාදාම චිත්‍රපටයක් වන මෙය 2014 වසරේ දී තිරගත වූ "Transformers: Age of Extinction" හි දෙවැන්න ලෙසින් තිරගත වේ. මෙවර "තරුණයා" සටහන ඒ පිළිබඳවය.

නවතම චිත්‍රපටයේ මාක් වෝල්බර්ග් සමග ජෝෂ් ඩුහැමෙල්, ස්ටැන්ලි ටුකි, අන්තෝනි හොප්කින්ස් ප්‍රධාන චරිත සඳහා රංගන දායක වන මෙය ක්‍රියාදාම සපිරි ත්‍රාසජනක චිත්‍රපටයකි.

මෙවරත් මෙහි කතාව දිව යන්නේ පරිණාමක සහ මිනිසුන් අතර පවත්නා බිහිසුණු යුද්ධයෙන් ලෝකය බේරා ගැනීමට කේඩ් යීගර් ප්‍රමුඛ කණ්ඩායම දරන උත්සා පෙළක් වටාය.

"Transformers: The Last Knight" චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලද්දේ මයිකල් බේය. අකිවා ගෝල්ඩ්ස්මැන්, ආර්ට් මාකුම්, මැට් හොලොවේ සහ කෙන් නෝලන් කතාව ලියූ මෙහි තිර රචනය ආර්ට් මාකුම්, මැට් හොලොවේ සහ කෙන් නෝලන්ගෙනි. ඒ අනුව "di Bonaventura Pictures" සහ "Hasbro Studios" චිත්‍රපට සමාගම් නිපැයූ මෙහි නිෂ්පාදකවරුන් ලෙස ඩොන් මර්ෆි, ටොම් ඩිසැන්ටෝ, ලොරෙන්සෝ ඩි බොනවෙන්චුරා සහ ඉයන් බ්‍රයිස්ය කටයුතු කළහ. චිත්‍රපටය වෙනුවෙන් දැරූ පිරිවැයද ඇ.ඩො.මිලියන 260කි. චිත්‍රපටයේ බෙදාහැරීම් කටයුතු සිදු කළේ "Paramount Pictures" චිත්‍රපට සමාගම විසිනි.

චිත්‍රපටය ජුනි මස 18 වැනිදා විශේෂ දර්ශනයක් ලෙසින් ඔඩියොන් ලෙයිසෙස්ටර් චතුරශ්‍රයේ දී පැවැති අතර, එබැවින් මෙහි මංගල දර්ශනය පැවැත් වෙන්නේ ජුනි මස 21 වැනිදාය.

2015 වසරේ දී අකිවා ගෝල්ඩ්ස්මෑන් ගෙන ආ සැලසුම් යෝජනාවත් සමග ඇරැඹි මෙම චිත්‍රපටයේ නළුවරණ කටයුතු 2016 වසරේ සැප්තැම්බර් මාසය වනවිට හමාර වූ නමුත්, පසුගිය ජුනි 09 වැනිදාද තවත් නළුවෙකු ඊට සම්බන්ධ විය. ඒ රෙනෝ විල්සන්ය. ඒ මෙහි හඬ නළු ශිල්පියෙකු වශයෙනි. කෙසේ වෙතත් මෙහි ප්‍රධාන නළු මාක් වෝල්බර්ග් සිය තහවුරුතාවය 2014 වසරේ දෙසැම්බර් වනවිට පළ කර තිබූ අතර, ඒ ඔහු මීට පෙර චිත්‍රපටයේද ප්‍රධාන නළුවා වූ බැවිනි.

පසුගිය වසරේ මැයි මස 25 වැනිදා කියුබාවේ හවානාහි දී මෙහි ප්‍රධාන රූගතකිරීම් ඇරැඹි අතර, ඉනික්බිති ජුනි මස වනවිට ඇරිසෝනා ප්‍රාන්තයේ ෆිනික්ස්හිද, මිචිගන්හි ඩිට්‍රොයිට්හිද මෙහි රූගත කිරීම් සිදුවිණ. ඊට අමතරව නෝර්වේහිද මෙහි රූගතකිරීම් සිදු වූ අතර, ඒ නිෂ්පාදක කණ්ඩායම යුරෝපයට සංක්‍රමණය වීමත් සමගය. ඒ සමගම වේල්සය, එංගලන්තය, ස්කොට්ලන්තය ආදී රටවල මෙහි රූගතකිරීම් පැවැති අතර, පසුගිය දෙසැම්බර් 04 වැනිදා වනවිට සියලු රූගතකිරීම් අවසන් කෙරුණි. මෙහි සිනමා කැමරාකරණ අධ්‍යක්ෂවරයා ලෙස ජොනතන් සේලා කටයුතු කළේය.

චිත්‍රපටය දැනටම ආන්දෝලනයකට තුඩු දී ඇති අතර, ඒ මේ හරහා නාසිවාදීන් සංකේතවත් කිරීමට නිර්මාණකරුවන් උත්සාහ කර ඇති බැවිනි.

විශේෂයෙන්ම නාසි ස්වස්තිකා තිරවලට සමාන හැඩ තල සහ වර්ණ මීට භාවිත කර ඇති බැව් මේ වනවිටත් බොහෝ දෙනා අතර කතාබහට ලක් වන මාතෘකාවක් වී ඇත.

මෙහි චිත්‍රපට සංගීතය ස්ටීව් ජබ්ලොන්ස්කිගෙන් වන අතර, මුල් චිත්‍රපට හතරෙම සංගීතය සංයෝජනය කළේ ද ඔහුය.

චිත්‍රපටයේ ඊළඟට කොටස 2018 දීද ඉන්පසු කොටස 2019 දී තිරගත කිරීමට දැනටමත් සැලසුම් කොට තිබේ.

 

මාලන් විදානපතිරණ