විෂ්ණුබායිගේ ප්‍රසංගය බලන්න ජෝන් ජයපාල එල්පින්ස්ටන් ගිහින්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20200625Drama-(1)

‘මානව සන්තානයේ උතුරා යන ප්‍රේමය, පන්ති විභේදනය හා ඇති- නැති පරතරය සමග වේදනාකාරී ආකාරයට ගැටෙමින් පරපුරෙන් - පරපුරට එන, ස්ත්‍රීත්වයේ උත්තරීතර කැපවීම හා දරා ගැනීම පිළිබඳ, සදාතනික සංවේදී පණිවුඩය කැටිකර, ඩබ්ලියු.ඒ. සිල්වා ශූරීන්, 1933 දී, කැලෑ හඳ නවකතාව රචන කළේය. ඉනික්බිතිව 1953 දී බි.ඒ.ඩබ්ලිව්. ජයමාන්න අධ්‍යක්ෂණය කොට නිෂ්පාදනය කළ කැලෑ හඳ චිත්‍රපටය, එකල බොක්ස් ඔෆීස් වාර්තා බිඳ දමමින් තිරගත විණි. එඩී ජයමාන්න, ස්ටැන්ලි පෙරේරා, රුක්මණි දේවි, රීටා රත්නායක, උදුලා දාබරේ, මේබල් බ්ලයිත් ඇතුළු ජනකාන්ත රංග කැළ එදා මේ චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක විණි.

මැවිලා පෙනේවි රූපේ

අන්න සුදෝ අර පාට වලා

මගේය ප්‍රේම මාලනි

මායා, මායා

පෙම් අම දහරා හර්දේ පිරිලා

දිනේ, දිනේ...

කැලෑහඳට ඇතුළත් වූ මේ ගීත, එදා මෙන්ම අදද, එක ලෙස ජනප්‍රියත්වයේ පවතින ගීත වේ.

එලෙසින් එදා නිර්මාණය වූ කැලෑහඳ, අද ඔබ වෙත පායා එන්නේ දයාරත්න රටගෙදරගේ ටෙලිසිත්තමක් ලෙසය. නිමල් උඳුගොඩ සහ සාගරිකා උඳුගොඩ නිෂ්පාදනයෙන්ද, නිර්මාණය වූ කැලෑහඳේ අද මාලිනිය ලෙස රඟන්නේ තාරුකා වන්නිආරච්චිය. ජෝන් ජයපාල ලෙස රඟන්නේ අරවින්ද දොඹගහවත්තය.

දශක හයකට පමණ පෙරදි ලියැවුණු නව කතාවකට අනුව නැවතත් වත්මනෙහි එම නිර්මාණය කිරීම යනු ප්‍රායෝගිකව ඉතා සංකීර්ණ කර්තව්‍යයකි. අද ඇත්තේ එදා තිබූ පරිසරය නොවීම ඊට හේතුවය. කෙසේ වෙතත් ඇහැලියගොඩ සෝමතිලකගේ කලා අධ්‍යක්ෂණය යටතේ, ප්‍රසන්න ඉත්තෑපානගේ සහාය අධ්‍යක්ෂණය යටතේ, කැලෑහඳ ටෙලි නිර්මාණයක් ලෙස මෙලෙසින්, ඔබ වෙත ගෙන ඒමට රටගෙදර ඇතුළු නිෂ්පාදන කණ්ඩායම ඉමහත් වෙහෙසක් දරා තිබේ.

ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරෙන කැලෑහඳ ටෙලිනාට්‍යයේ ඉදිරි කොටස් රූගත කෙරෙමින් තිබෙන මොහොතක සඳැල්ල පාඨක ඔබ, එය රූගත කෙරෙන දර්ශන තලයකට රැගෙන යාමටයි අද අපේ සූදානම.

ජෝන් ජයපාල හදවතින්ම ආදරය කරන්නේ මාලිනියටය. එහෙත්, වංශක්කාර පැලැන්තියකින් පැවත එන ඔහුට විවාහ කර ගැනීමට සිදුවන්නේ වෙනත් තැනැත්තියකි. ඇය ගැබ්බරව සිටින්නීය. දිනෙක ජෝන් ජයපාල මව ඇඩා ජයපාල සහ මේ බිරිඳ ඇතුළු පවුලේ උදවිය සමග ප්‍රසංගයක් නැරඹීමට යයි. මෙම ප්‍රසංගය ඉදිරිපත් කරනු ලබන්නේ විෂ්ණුබායි නම් ප්‍රකට නර්තන ශිල්පිනිය විසිනි. ඇය අන් කවරකුවත් නොවේ, ජෝන් ජයපාල අදටද හදවතින්ම ආදරය කරන මාලිනියයි. ඒත් ඉන්දියාවට ගොස් සිටි මාලනි නැවත ලංකාවට ආවේ, මේ විෂ්ණු බායි යන නාමයෙනි. මේ වග ජෝන් ජයපාල දන්නේ නැත. ජෝන් ජයපාල තම ගැබ්බරව සිටින බිරිඳට සමීපව මෙම විෂ්ණුබායි විසින් ඉදිරිපත් කරනු ලබන ප්‍රසංගය මහත් ප්‍රමෝදයෙන් නරඹමින් සිටී. මෙම ප්‍රසංගය පැවැත්වෙන්නේ කොළඹ මරදාන එල්ෆින්ටන් රංග ශාලාවේදීය. එනම්, කැලෑහඳේ එම දර්ශන පෙළ රූගත කෙරුණේ එල්ෆින්ස්ටන්හිදීය. අප ඔබ කැඳවාගෙන යන්නේ එම දර්ශන තලය වෙතය.

කැලෑහඳ ටෙලි සිත්තමේ මෙම නර්තන සහිත දර්ශන පෙළ රූගත කිරීමට රටගෙදරලා එල්ෆින්ස්ටන් රඟහල තෝරා ගන්තේ, ඉපැරණි බව සහ එදා තිබූ කලාත්මක රටාව අදද එහි දක්නට ලැබෙන නිසාය. රූගත කිරීම් සිදු කළ අයුරු පැවසීමට පෙර මෙම නවීකරණය කරන ලද එල්ෆින්ස්ටන් රංග ශාලාව ගැන සඳහනක් කළ යුතුම වේ. කෝටි ගණනාවක වියදමක් දරා මෙම එල්ෆින්ටන් රඟහල, අද නවීකරණය කිරීමට බලධාරීන් කටයුතු කළ බව, මෙහි කළමණාකාරිත්වය සඳහන් කරයි. රංග ශාලාව වෙතින් දිස්වන්නේ ගාම්භීර බවක් මෙන්ම කලාත්මක බවකි. ඉපැරණි දවස තිබු හැඩය, පැහැය, නොමරා එල්ෆින්ටන් නවීකරණය කර ඇති අයුරු සැබැවින්ම පැසසිය යුත්තකි.

එදා අතිශය ජනප්‍රියත්වයට පත්වූ ‘කැලෑහඳ’ චිත්‍රපටය, තිරගත කිරීම් ඇරඹුවේ, 1953 මැයි 27 දා මෙම එල්ෆින්ස්ටන් රඟහලේදීය. අද එතැනදීම කැලෑහඳ ටෙලිනාට්‍යය වෙනුවෙන් රූගත කිරීමට යොදා ගැනීමද හරි අපූරු සිදුවීමකි.

පෙර කී කතාවට අනුව විෂ්ණුබායිගේ ප්‍රසංගය නැරඹීට ජෝන් ජයපාල තමාගේ හෙවනැල්ල මෙන් වූ මිතුරා වන කොල්වින් සමග, පැමිණ, ප්‍රවේශපත් ගන්නා දර්ශනය මුලින්ම රූගත කිරීමට කටයුතු සකස් කෙරිණි. රටේට, නැත්නම් රටගෙදරට දශමෙට සියල්ල හරියට තිබිය යුතුය. එසේ නැතිව ඔහු ටේක් එකට හෙවත් දර්ශනගත කිරීම අරඹන්නේ නැත.

‘‘හරි දැන් එහෙනම් අපේ මහාචාර්යතුමා එන්නකො,... මෙන්න මෙතැනදි තමයි අපි රූපරාමුව සකස් කරන්නෙ, ඒ කියන්නෙ ෆ්‍රේම් එකට ගන්නෙ. හරිනේ, දැන් එහෙනම්, අපි රිහසල් එකක් බලමු. කට්ටිය සයිලන්ස් ප්ලීස්. ටේප් රෝලිං ඇක්ෂන්’’....

ඒ හඬ මෙහි සහාය අධ්‍යක්ෂක ප්‍රසන්න ඉත්තෑපානගේය. රටේට අවශ්‍ය දේ වෙනුවෙන් නිෂ්පාදන කණ්ඩායම මෙහෙයවන්නේ ඉත්තෑපානය. ෂූටිං මෙන්ම, නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා වූ සියල්ල ලැහැස්ති කරන්නේ ඔහුය.

‘‘මහාචාර්යතුමා නියමයි ඈහ්’’... ඔහු එහෙම කිව්වෙ මහාචාර්ය පැට්ට්‍රික් රත්නායකහටය. ජෝන් ජයපාල සහ කොල්වින් පැමිණි ප්‍රවේශ පත්‍ර ගැන අහන්නේ ඔහුගෙන්ය. එනම් රංග ශාලාවේ කළමනාකරු ලෙස චරිතයකට දායක වන්නේ මෙම මහාචාර්යවරයාය.

උදෙන්ම මේ අවස්ථාව රූගත කරලා ඉවර වුණාට පස්සෙ, විෂ්ණුබායි හෙවත් මාලනි, රඟහලේ දොරටුවකින් එබිකම් කරන දර්ශනය සඳහා ඊළඟට රූගත කිරීම් සූදානම් වුණා. ඒ අතරේ ජෝන් ජයපාල වන අරවින්ද දොඹගහවත්තයි, එයාගෙ යාළුවා කොල්වින් ලෙස රඟන සුජාන් මිලංග එයාලට තියෙන රූප රාමු ගැන රඟහලේ පැත්තකට වෙලා කතාව. මේ විදියට වැඩේ යද්දී, ‘‘කෝ මේ වීණා අක්කා’’ නැහැනේ කියලා, මේක් අප් කණ්ඩායමේ කෙනෙක් කිව්වා.

‘‘ආ... අක්කා... එයි... අක්කා එයි, එයා පල්ලියට ගිහින් එනවා කියලා කිව්වා’’.

ප්‍රධාන හැඩගැන්වීම් ශිල්පී සරත් රණවීර ප්‍රවීණයා කිව්වෙ ඒ විදියටයි. ඔන්න එහෙම කියලා විනාඩි පහක් ගියේ නැහැ. වීණා අක්කා එල්ෆින්ස්ටන් එකට ආවා. ප්‍රසන්න ඉත්තෑපාන, එයාගෙ හඬ අවදි කළා.

‘‘සරත් අයියෙ ‘වීණා’ අක්කාව හදමු නේද?’’

හදමු නේද, කියලා කිව්වෙ මේක් අප් කරමු කියන එකටයි.

මගෙ ආයෙ හදන්න දෙයක් නෑ. මම හැදිලා ඉවරයි. වීණා අක්කා හිනාවෙල එහෙම කිව්වා.

හරි, හරි, යං වීණා අක්කෙ කියලා සරත් අයියා වීනා අක්කාව චේන්ජ් රූම් එකට එක්කගෙන ගියේ ‘ඇඩා’ගෙ චරිතයට හැඩ ගන්වන්න.

‘‘මං ඇඩා... ඇඩා ජයපාල’’ වීණා අක්කා ඒ විදියට කියාගෙන විෂ්ණු බායි ඉන්න මේක් අප් රූම් එකට එකපාරටම ගොඩවැදුණෙ තම ගැබ්බර ලේලිය උදයන්ති කුලතුංග එක්කයි. උදයන්ති තමයි ජෝන් ජයපාල දැන් බැඳලා ඉන්නෙ. මාලනි, ඇයව දැකලා වික්ෂිප්ත වුණා. ඒ දර්ශන පෙළත් ඉවර වුණේ ඒ විදියටයි. හැබැයි, පුංචි සීන් එකක් වුණත්, ඒක පස්-හය වතාවක්ම කළා. දන්නවනෙ රටේගෙ හැටි එහෙම තමයි. තිතට දර්ශනය එන්න ඕනෑ.

‘‘ඒක හරියට ආවද?’’ වීණා ජයකොඩි ප්‍රවීන ශිල්පිනිය රටේගෙන් ඇහුවෙ එහෙමයි. කොතරම් ප්‍රවීන ශිල්පිනියක් වුනත්, පුංචි දර්ශනයකට හරි ඇය දායක වන්නෙ ඒ විදියටයි. එය නවක ශිල්පීන්ට ඉතා හොඳ ආදර්ශයක්.

ඒ යුගයේ ජෝන් ජයපාල වගේ වංශක්කාර පැළැන්තියේ අයට ප්‍රසංගයක් නරඹනවා නම්, එකළ ඊට තිබුණු හොඳම තැන තමයි මේ, එල්ෆින්ස්ටන් රඟහල. උසස් යැයි කියා ගන්නා වූ පැළැන්තියේ අය ප්‍රසංගයක් නැරඹීමට එකළ රොක් වූ තැනට මෙකල ආවේ, ජෝන් ජයපාල, එයාගෙ ගැබ්බර වූ බිරිඳ, ජයපාලගෙ අම්මා ඇඩා ජයපාල සහ ඥාති පිරිවරයි. ඒ අතරේ තවත් අපූරු සහ අහඹු සිදුවීමක් සිද්ධ වුණා. ඒ තමයි එදා 1953 දි කැලෑහඳ චිත්‍රපටය තිරගතවීමට පෙර, වේදිකාගත වූ කැලෑහඳ පාසල් නාට්‍යයක, ‘මාලනි’ගේ චරිතය රඟපෑ ශිල්පිනියක පැමිණ සිටීම. ඇය නමින් නන්දා සෝමලතා මාතාවය. ඇයගෙ වයස අවුරුදු අසූවකට වඩා වැඩියි. ඒත් එදා මතකය ගැන සහ කැලෑහඳ චිත්‍රපටය නැරඹූ හැටි ගැනත් ආවර්ජනය කරමින් ඇය, මේ අවස්ථාවට එක්ව සිටියා. හරියටම කිව්වොත් ඇය කවුද කියලා ඇය දයාරත්න රටගෙදරයන්ගේ මවයි.

රටේගේ මව මේ විදියට ෂූටිං බලන්න ඇවිත් සිටිය අතරේ රටගෙදර මහත්තයගෙ දෙවැනි දියණිය චත්‍රිකා ඕදිනි රටගෙදරත්, ඇවිත් හිටියා. හැබැයි ෂූටිං නරඹන්න නෙවෙයි. ඇය රූපලාවන්‍ය ශිල්පිනියක්. මෙම නාට්‍ය කණ්ඩායමේ වෙස්ගැන්වීම් අංශයේ සහායිකාවක ලෙස ඇය කටයුතු කරනවා. අනාගතයේදී ඇයගේ අරමුණ වෙස්ගැන්වීම් ශිල්පිනියක මෙන්ම ඇයගේ රූපාලාවන්‍ය ව්‍යාපාරයේ යෙදීමය.

අපි දැන් මෙහි විෂ්ණුබායිගෙ නර්තන ප්‍රසංගය රූගත කළ විදිය බලමු. විෂ්ණුබායි හෙවත් මාලනි හෙවත් තාරුකා වන්නිආරච්චි මේ දිනවල පෙනුමින් තරමක් මහත පාටයි. ඒකට හේතුව සුබ නිමිත්තක්. ඒ තත්වය යටතේ වුනත් ඇය, නර්තන කණ්ඩායම හා එක්ව නර්තනයේ යෙදුනු හැටි නම් හරිම අපූරුයි. ඒ වගේම තවත් දෙයක් කියන්නට ඕනෑ. උදයන්ති කුලතුංග මෙහි රඟපාන්නේ ජෝන් ජයපාලගෙ බිරිඳ ලෙසයි. ඒ නිසා ගැබ්බර ස්වභාවය පෙන්වන්න කොට්ටයක් තියලා, සිරුරට බඳින්න වුණා. ඇය බොරුවට ගැබ්බර වෙද්දී මාලනිය හෙවත් තාරුකා සුබ පෙර නිමිත්තකට මුහුණදීලයි සිටින්නෙ. මේ නාට්‍ය වගේම, ඇත්තටම සිදුවන සිදුවීම් විටෙක පුදුමයක් කිව්වොත් හරි.

‘‘ළමයි, කාලා ඉඳිමු... තේ... එකක් බීලම ඉඳිමු’’

රට ගෙදර මහත්තයා වෙලාවට වැඩ කරන චරිතයක්. ඒ වගේම කණ්ඩායමේ හැමෝගෙම මහන්සිය – වෙහෙස ගැන හොඳ ඉවක් තියෙන කෙනෙක්. රඟහලක සිට ප්‍රසංගයක් නරඹනවාට වඩා, රඟහලක සිට මේ වගේ රූගත කිරීමක් කරන එක නම් ඒ තරම් ලෙහෙසි පහසු වැඩක් නොවෙයි. ඒ වෙනුවෙන් මෙහි කැමරා අධ්‍යක්ෂක ජනක යහම්පත් ඇතුළු කණ්ඩායමේ හැමෝම කැපව සිටින බව කියන්න පුළුවනි. කෝවිඩ් වසංගතයට පෙර විකාශය ඇරඹි කැලෑහඳ කොටස් 8ක් පමණයි මේ දක්වා විකාශය වුණේ. අද මේ විදියට රූගත කෙරෙන මෙහි 9 වැනි කොටසේ සිට ඉදිරි කොටස් ජුලි 11 වැනිදා සිට සති අන්තයේදී නැවතත් ජාතික රූපවාහිනිය ඔස්සේ රාත්‍රි 8.30 ට නැරඹිය හැකියි. අපි බලා ඉඳිමු. ලස්සනම – ලස්සන ගීත ඇතුළත්, ‘කැලෑහඳ’ හෙට දවසේ ටෙලි තිරයේ සිත්තම් වන්නේ කෙසේද කියා...

සටහන/ඡායාරූප: සඳුන් ගමගේ

20200625Drama-(2) 20200625Drama-(3) 20200625Drama-(4) 20200625Drama-(5) 20200625Drama-(6)