නර්තනයේ ගුරු තරු සපැමිණි රඟමිර - කල එළි මංගල්‍ය

  • 25-11-2025
  • Views 79

ලංකාවෙ ඇති  පැරණිම දේශීය  සාම්ප්‍රදායික නර්තන කලායතනය තමයි තිත්තපජ්ජල ශ්‍රී ලංකා දේශීය කලායතනය.

1931 ජනවාරි 16 වෙනිදා ඇරඹුණු  එම  කලායතනයේ තියෙන සුවිශේෂීම කාරණය තමයි එදා මෙදා තුර සියක් දහසක් දරුවන්ට ශිල්පය ලබා දුන්නේ එකම එක රුපියලක්වත් අය නොකර වීම.  ඒ විතරක් නෙමෙයි දුප්පත් දරුවන්ට  කන්න බොන්න දීලත්  තමයි ඒ ගුරු පියවරුන් දරුවන්ට ශිල්පය දෙන්නේ. තිත්ත පජ්ජල ශ්‍රී ලංකා දේශීය කලායතනාධිපති ටී. වයි සුමනවීර සහ උපකලායතනාධිපති ටී.වයි සමරවීර ගුරු පියවරුන්ගේ මූලිකත්වයෙන් , ලංකාවේ පළමු නර්තන මහාචාර්යවරිය වූ මහාචාර්ය වෛද්‍යවතී රාජපක්ෂ ගුරු මෑණියන්ගේ ආශිර්වාදයෙන් ,මහාචාර්ය කරුණාරත්න බණ්ඩාර ගුරුපියාණන්ගේ සහයෝගයෙන් , ආචාර්ය රවිබන්ධු  විද්‍යාපති ගුරු පියාණන්ගේ අපිරිමිත දායකත්වයෙන් සංවිධානය කළ රඟමිර - 2025 කල එළි මංගල්‍ය  පැවැත්වුණේ පිළියන්දල විද්‍යා ශාන්ති පිරිවෙන් විහාරස්ථානයේදී. පිළියන්දල ලක්මාලි කලායතනයේ කලායතනාධිපති ලක්මාලී සමරසිංහ ගුරු මෑණියන්ගේ මෙහෙයවීමෙන් පැවැති මෙම කල එළි මංගල්‍යයට ප්‍රවීණ සංගීතවේදී ගායක අමරසිරි පීරිස් , කොළඹ විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍ය අධ්‍යන අංශයේ හිටපු අංශාධිපති මහාචාර්ය ධර්ම කීර්තිි ශ්‍රී රංජන්  , හොරණ අධ්‍යාපන කලාපයේ හිටපු සංගීත ගුරු උපදේශිකා සරෝජා කන්නන්ගර මහත්මිය ඇතුළු සම්භාවනීයන් රැසක් සහභාගී වුණා.

දරුවන් තිස් හතර දෙනකුට වෙස් සහ පාහිම්පත් තබමින් පැරණි සම්ප්‍රදායන් ගුරුකොට ගනිමින් පැවති මෙම කළු කලඑළි මංගල්‍යය අවසානයේදී තිත්තපජ්ජල ගුරුපියවරුන් විසින් පැය එකහමාරක පමණ කාලයක් වස්දොස් හරිමින් දරුවන් වෙමින් පූජාවක් ද  පැවැත්වූවා .තිත්තපජ්ජල ගුරු  පියවරුන්ට සහ මෑණිවරුන්ට ආරාධනා කරනු පිණිස කඳ මලු රැගෙන ගොස් ආරාධනා කර   සියලු සම්ප්‍රදායන් පෙරටුව ඇරඹි මෙම කල එළි මංගල්‍යය දෙදිනක් පුරා ඉතාමත් විචිත්‍ර අන්ද මින් පැවැතුණා. එම රඟමිර කල එළි මංගල්‍යයේ සොඳුරු දසුන් කිහිපයක් පමණයි මේ.