තායි අහස යට ලියූ කවි මහවැලියේදී සහෘද තුරුලට

  • 24-09-2026

හුස්මකට ජීවිතයයැයි නොකීවාට ගන්න හුස්මක් ගානෙ අපි හොයන්නෙම ජීවිතය සහ ජීවිතය වෙනුවෙන් ආදරය.
ඉසියුම්ම වෙසින් ලෝකයේ හැම අහුමුල්ලක්ම කැණ කැණ අපි හොයන්නෙම ජීවිතය සහ ආදරය.

හමුවුණත් නොවුණත්
මඟහැරුණත් මඟහැරියත්
හිමි වුණත් නොවුණත්
හුස්මක් වැටෙන මිනිසකු  නොවී හුස්මක් ගන්න මිනිසෙකු වනු පිණිස ආදරය අවැසිමයි......

පොහොට්ටුවක් දරා හිඳින නටුවකට ඒ පොහොට්ටුව මලක් වී පූදින දවස එනතෙක් මොනතරම් නම් නොඉවසිල්ලක් ඇද්දයි මට සිතේ.
පුරසඳ අවසඳක් වි නැඟුණ දා අහසකට ඒ අවසඳ පුරසඳක් වනතුරු අහසකට නිම් හිම් නොවන වග දනිමි.

දරාගත නොහී ඉඩෝරයෙන් මහ පොළොව වියළී ඉරිතලද්දී අනෝරා අසෙනි වැසි මහ පොළොව නිවා සනහාලන තෙක් එකම එක වැහි බිඳුවකට වුව මහ පොළොව අනන්ත අසීමාන්තිකයක හිඳ පෙම් කරන්නට ඇතැයි මට සිතේ.

ඉඳින් ප්‍රේමයෙන් හිස් වූ තැන් ලොව බොහෝ වෙතත් ප්‍රේමයක් නොඉල්ලන තැනක්  ලොව කොහේ කොතැනකවත් නැතැයි මට සිතේ.

නොඉල්ලමි කිසිවක්ම ආදරය  හැරෙන්නට ........

ඉඳින් සොබාදහමේ හේතුපාඨය එය යැයි මට  හැඟේ.

සොයා නෙක මං ඉසව් පීරා ඉඳින් උපුල් ගුරුගේ කවියාණන් 

තායි 
කසාවත ගත පියාසර සිත 
මත සීරුවෙන් සාර සුබාවට සුභාවිත සුභාෂිත සුලාලිත ඉසව් ස්පර්ශ කරමින් කාව්‍ය සාක්ෂරතාවයෙන් වත් කරන්නට ඇත්තේත් අකුරු මත තවරාලූ මානවීය ප්‍රේමයක නෙක භාවයන්ම මිසක අන් කවරක්දැයි මට සිතේ.

ඉතින් අකුරු දිගේ බොහෝ දුර සහෘද සිත් ඇවිද්දවන්නට කවියෙකුට හැකි වග මට විශ්වාසය.....

තාවකාලික මහණදමේ හිත නිවූ ප්‍රස්තුත සේම සරාගයක හිත යා කර හිත අවුළුවාලූ නෙක අනුභූතීන්ද කවි මත අතුරාන අප පිනවූවාට ඔබට හුඟාක් පින් උපුල්....

මොකද කවියක් කියන්නේම ආලයක්.....
කවියෙක් කියන්නේම ප්‍රේමයක්...........

මහවැලි කේන්ද්‍රයේදී  කසාවත ගත පියාසර සිත ආ සඳ සහෘද තුරුල්ලට  ඔබ තුටින් පිරිනැමූ උණුහුම්ම ඉඟුරු කහට කෝප්පය සේම රසවත්ව.......

ඉතින් තවමත් මම ඒ කවි කියවමි.....
මසැසින් නොව මනසින් ......