කොග්ගල කලපු දියෙන් එහා ඉමට

  • 16-07-2026

සංචාරයක් කියන්නෙම අපේ මතක පොතේ නවමු පිටුවක් දිග හැරීමක් . නව දැනුමක්, විනෝදාස්වාදයක්  සේම දිවියේ සුන්දරම පැය  කිහිපයක් ගත කිරීමට හැකි වන අවස්තාවකි .

වෙහෙසකාරී කාර්යබහුල දිවියෙන් මදක් මිදී  නිදහස් සාමකාමී සොදුරු සති අන්තයක් ගත කිරීමට අප කොලොම් පුර සිට දකුණු පුරවරය බලා  පිටත් වූනෙමු .

දකුනු වෙරල  තීරයේ සති අන්තය ගත කිරීමට  ගිය අපට අහඹු ලෙස ගාල්ල පසු කරත්ම  හබරාදූව   ග්‍රාමයේදී හමු වූ අපූරු  මිනිසෙකු නිසා දිවියේ නොවිදි සොදුරු අත්දැකීමක් ; සන්ධ්‍යා වරුවක් ගත කිරීමට  මා  ඇතුළු මගේ මිතුරු කැලට  හැකි විය .

කොග්ගල දියෙහි ගැටෙමින් හරි හරියට හිතේ සවියත් ගතේ සවියත් එක් වූ මනා   දස්කම් පාමින්  ත්‍රාසජනක අත්දැකීමක් දෙස් විදෙස් සංචාරකයින්ට ලබා දීමට  සිය බෝට්ටුව දියත් කිරීමට වෙහෙසෙන ඔහු නමින් කවිදු සදරුවන් මහතායි.

කොග්ගල නම ඇසුන   සැනින් මතක් වෙන්නේ මඩොල් දූවයි .  අපේ සුන්දර ළමා වියෙහි සිහින දුපත එයම විය . කෙදිනක හෝ ජින්නත් උපාලිත් විසූ මඩොල් දූවට යන්න හිතේ තිබුණු ආසාව  පොදි  ගණන් පොත කියවන සෑම  විටම නිරායාසයෙන්ම කොයි  කාගේත් සිත තුල ඇති  වන්නකි.නමුත් මෙවර අප ගියේ  මඩොල් දූවට නම් නොවෙයි ….එහි එහා ඉමටයි .

කවිදු මහතාගේ අප රැගත් බෝට්ටුව හෙමි හෙමින් තොටුපළෙන් දියත් කෙරුනේ නිල්  ජල දහරාවත් හරිත පැහැ  වන ගොමුන්ගෙන් සැදුම් ලත් ජෛව විවිධත්වයෙන්  අනුන වූ පරිසර පද්ධතියක්  වෙතයි . එහි පවත්නා ජෛව විවිධත්වය , "කොග්ගල " නාමය පටබැදුනු ආකාරය සේම අවට පවත්නා අනෙකුත්   දුපත් පිලිබදවත් පූර්ණ  දැනුවත් කිරීමක් ගමන අතරතුර අපට කවිදු මහතාගෙන් අසා දැන  ගැනීමට හැකි වුනි .

"කිරල ගොමු වෙත ඇදෙමු ගෙඩි කඩමු ගොඩට එමු......"

ඉතින්  මාගේ නොස්ටැලිජියානු මතකය අවුස්සනු ලැබුවේ නේත්‍රාකර්ෂනීය   පරිසරයයි.

දියබ කපාගෙන සිහිල් සුළන්  අතරින් කෙකටිය, කිරල ගොමු පසු කරමින් කොග්ගල ගල්  මැදින් අපි කුරුදු දුපත වෙත සේන්දු වුනෙමු .

එහිදී අපට පරම්පරා  තුනක් තිස්සේ කුරුදු  බෝගය ආශ්‍රිතව නිශ්පාදනයන්  සිදු කරමින් දෙස් විදෙස් සංචාරකයන් වෙත පරිසර හිතකාමී සංචරණ අත්දැකීමක් ලබා දීමට , කොග්ගල කුරුදු දුවේ ජනතාව ඉඩහසර සලසනු ලැබීය .භාෂා  කිහිපයකින්ම  ඔවුන්  විදේශ සංචාරකයන්ට කුරුදු බෝගය  සහ එහි නිශ්පාදන කාර්යය සම්බන්ධ පියවරෙන් පියවර දැනුම බෙදා හරින්නේ ශ්‍රී ලංකේය  ස්පර්ෂිත සේම අස්පර්ෂිත උරුමයද ලෝකය වෙත  රැගෙන යාමේ ප්‍රශන්සනීය කර්තව්‍ය සිදුකරමිනි.

කුරුදු  දූවේ  දී  මනදොල පිනවන කිරල පානයකින් සහ  රසයෙන් සහ සුවදින් යුතු අතිමනොහර  කුරුදු තේ කෝප්පයකින් ප්‍රමුදිත වූ  අපගේ ඊලග නවාතැන වූයේ  සුවතා සංචාරක නවාතැනක් ; පාවෙන  මාළු චිකිත්සාවක් නැතිනම් ස්වාභාවික මාළු ස්පාවකි (Natural Floating Fish spa) .

එයනම් වචනයේ පරිසමාප්තියෙන්ම අපේ  මිතුරු නඩයට  කදිම අත්දැකීමක් විය .  අප එහි දී   ස්වාභාවික මාළු ස්පාවෙහි හිමිකරු වූ   කරුණාරත්න මහතා සමග  මෙම මාළු චිකිත්සාව සම්බන්ධයෙන්  සොදුරු කතා බහක නිරත විය . එහි දී ඔහු මෙම මාළු චිකිත්සාවෙන් අපේ ස්නායු   පද්ධතිය  හා සිදුවන  විද්‍යාත්මක ක්‍රියාවලිය සම්බන්ධයෙන් සහ නීරෝගිමත් දිවියක්  ගත කිරීමට ඉන් ලැබෙනා  උත්තේජනයන් පිළිබද අවබෝදයක් ද ලබා දෙමින්  එම ක්‍රියාවලියේ ප්‍රායෝගික සැබෑ අත්දැකීම ලබා ගැනීමට උත්සුක කරනු ලැබීය .

බෝට්ටු නියමු කවිදු මහතාගේ මාර්ගෝපදේශනය යටතේ , පුරා පැය  දෙකකට ආසන්න කාලයක් පරිසර හිතකාමී ,ත්‍රාසජනක  සුවතා සංචරණයට සමු දෙමින් නැවත කෙදිනක හෝ පැමිණෙන අටියෙන්    අප  සැම මෙගොඩ බලා ගමන් ඇරඹුවෙමු.

කෙසේ නමුදු අනපෙක්ෂිතව හමු වූ කවිදු සදරුවන් මහතා නිසාවෙන් අපගේ මෙවර සංචාරය වෙනත් මානයකට විතැන් වූ බව පැවසිය යුතුමය .  කොග්ගල කලපු දියේ ආස්වාදජනක  සොදුරු අත්දැකීම විද ගැනීමට අප මෙන් කැමති  සංචාරක ඔබට   කවිදු සදරුවන් මහතා +94 76 626 6852 (Kavindu Koggala Boat Safari) ඔස්සේ සම්බන්ධ  කර ගත  හැකිය .

 

සටහන

චතුරි  රත්නායක