අද කාලයේ ළමයින්ට සෙල්ලම් කරන්න තියෙන වට පිටාව අඩුයි
ළහිරු මුදලිගේ යනු තමන් සතු හැකියාවන් හඳුනාගෙන, එම හැකියාවන් ප්‍රායෝගික කළ දක්ෂයෙකි. රූපවාහිනී නිවේදනය, රංගනය සහ විද්‍යුත් මාධ්‍යයේ විවිධ අංශවල නිරත වූ ඔහු අද සමාජ මාධ්‍ය අංශයේ නිර්මාණකරණයේ යෙදෙන චරිතයකි. අමුතුවෙන් හඳුන්වාදීමක් කළ යුතු නොවන ඔබ හොඳින් දන්නා මේ දක්ෂයා සමග අද අපි කතා කරන්නේ වෙනස් මාතෘකාවකි. ‘‘තාත්තා’’ යන මාතෘකාව ඔස්සේ සඳැල්ල ‘‘තාත්තයි - පුතයි’’ විශේෂාංගයට ඔහු අපට කියන්නේ මොන වගේ අදහසද බලමු.
ළහිරු කොහොමද ජීවිතේ?
ජීවිතේ හොඳයි. සතුටින් ගෙවනවා. සතුටින් ඉන්නවා.
ඒ සතුට හදා ගත්ත විදිය ඔබගේ රසිකයින්ට කියන්නෙ කොහොමද?
ව්‍යාපාරත් හොඳින් කෙරෙනවා. මගේ වැඩත් හොඳින් වෙනවා. ඊට අමතරව ගෙදර අපේ වැඩ ටික හොඳින් වෙනවා. දැන් ‘‘බබෙකුත්’’ ඉන්න නිසා ජීවිතය සම්පූර්ණයි කියලා හිතෙනවා. හරි ඩිජිටල් ප්‍රයිවට් ලිමිටඩ් දේශීයව සහ විදේශීයව සේවා සැපයීම සිදුකරනවා. වීඩියෝ කන්ටෙන්ට් සහ ඩිජිටල් ඇඩ්වර්ටයිසිං යන සමාගම් සඳහා නිර්මාණ විසඳුම් සියල්ල අපෙන් සිදුවෙනවා. ඊටත් අමතරව මෘදුකාංග අංශයෙන් අපි සේවා ලබා දෙනවා. මේ විදියට ‘හරි’ සළකුණ යටතේ නිර්මාණ සියල්ල සිදුවෙනවා.
මේ සියලුදේට අමතරව ‘‘තාත්තා’’ගේ භූමිකාව ගැන කතා කරමු. ඔබ ‘‘තාත්තා’’ වූ දවසේ දැනුණ – හැඟුණ විදිය මොන වගේද?
ඒ හැඟීම ඇත්තටම වචනයෙන් විස්තර කරන්න බැරි තරම්. මම මේ ගමන පටන් ගත්තෙ අවුරුදු 18දී විතර ස්වර්ණවාහිනියෙන්. එදා මාව ස්වර්ණවාහිනියට ගත්තෙ හේම නලින් කරුණාරත්න මහත්මයා. එතුමා නිවේදකයින් ලෙස අපිව පුහුණු කළ කාලයේදී අපට කිව්වෙ විවාහ වෙනකල් අපි ඉදිරිපත් කරන ප්‍රෝග්‍රෑම්වලදී විවාහ ජීවිතය ඇතුළෙ තියෙන දේ ගැන කතා කරන්න එපා වගේම, විවාහ වූ අය ඉන්ටර්විව් කරද්දි, දරුවො නැත්නම් ඒ මාතෘකාව ගැන කතා කරන්නත් එපා කියලා. මොකද ඒ හැඟීම අපට නැතුව කතා කරන්න බැහැනෙ. ඒ කිව්ව කතාව මට හරියට තේරුණෙ මම තාත්තා කෙනෙක් වූ පසුවයි. අනෙක ඒ හැඟීම එකිනෙකාට දැනෙන විදිය වෙනස්. මට ඒ වෙලාවෙ සතුටත් එක්ක අමුතුම හැඟීමක් ඇතිවුණේ. ‘‘ඉමෙත් ලහිරු’’ කියලා පුතාට නම දාලා. අනාගතය ගැන හිතද්දි, එයා වෙනුවෙන් එයාගේ අනාගතය හදන්න වගේම අපි ජීවත් වෙලා සිටිය යුතුමයි කියන ලෝභකම වගේ හැඟීමක් ඇතිවුණේ. කොහොම වුණත් ඒ හැඟීම වචනයෙන් විස්තර කරන්න නම් බැහැ.
නමුත් එදා මට අමතකම නොවූ දේ තමයි, පුතා ඉපදුනාට පස්සෙ එයාට ‘‘කිරි’’ බොන්න බැරිව එයාව බේබිරූම් එකට දාපු හැටි. එයා කිරි නොබිව්ව නිසා. සිරුරේ පාට වෙනස් වෙලා තිබුණෙ. බේබි රූම් එකට එයාව ගෙන යද්දි බය සහ දුකක් ඇතිවුණේ. බේබි රූම් එකෙන් එයාව අම්මා ළඟට ගෙනාවට පස්සේ තමයි මට සැහැල්ලුවක් දැණුනෙ. කොහොම වුණත් පුතා ලැබුණ දවස මට විස්තර කරන්න කිව්වොත් ඒකට වචන නැහැ. ඒක මට මාර දෙයක්.
පුතා වඩාගත්තාම මොකද හිතුණෙ?
ජීවිතේ සම්පූර්ණයි කියලා හිතුණා. ජීවිතේ අපි විසින්ම හදාගෙන යන ගමනේදී මට සඳුනිව හමුවුණා. පසුව එයාව විවාහ කර ගත්තා. දැන් පුතාත් ලැබිලා. ඉතින් ජීවිතය සම්පූර්ණයි කියන හැඟීම තමයි ඇතිවුණේ. අද එදාට වඩා වගකීම වැඩියි කියලා දැනෙනවා. සමහර දේ එයා වෙනුවෙන් කරන්න තියෙනවනෙ. එයා වෙනුවෙන් බොහෝ දේ ගැන හිතද්දි, ජීවිතේ ගැන පොඩි ලෝභකමක් ඇතිවන්නෙ. අදටත් මගේ අම්මයි, තාත්තයි දෙන්නම වගේම සඳුනිගෙ අම්මයි තාත්තයි දෙන්නත් ඉන්නවා. ඉතින් අපට එයාල සිටීම ලෝකයම අපේ වගේ හැඟීමක්නෙ තියෙන්නෙ. අපේ පුතා ලොකු වෙනකල් අපි දෙන්නත් ඒ විදියට ජීවත් වෙන්න ඕනෑය කියන ලෝභකම තියෙන්නෙ. අම්මා තාත්තා සිටීම දරුවකුට වාසනාවක්නෙ. ඒ වාසනාව මමයි - සඳුනියි ලබනව වගේම පුතාටත් ඒ වාසනාව තිබෙනවා නම් හොඳයි කියන ලෝභ හැඟීම තියෙන්නෙ. අපට ජීවිතේ ඉදිරිය ගැන හරියටම කියන්න බැහැනෙ. ඒ නිසා අනවශ්‍ය බියකුත් යටි හිතට දැනෙනවා.
පුතාගේ වයස?
අවුරුදු දෙකහමාරයි.
පුතා වෙනුවෙන් ඔබ කාලය වෙන් කරලා තියෙනවද? නැත්නම්, ඔබ ඉන්නෙ ඔබගෙ වැඩ එක්කද?
අනිවාර්යයෙන්ම මමයි සඳුනියි පුතා එක්ක ඉන්න වෙලාව දාගෙන තියෙන්නෙ. වැඩ නැත්නම් මම හතර පහ වෙද්දි ගෙදර. ඇවිත් එයා එක්ක සෙල්ලම් කරනවා. ඇවිදින්න යනවා. එක්කෝ සෑම සති අන්තයකදීම කොහේ හරි යනවා. ඉතින් එයාට සුන්දර ළමා වියක මතක වෙනුවෙන් කාලය වැය කරන්න අපි දෙන්නා ආසයි. නිතර විදෙස් සංචාර යෑමට සිදුවන නිසා. ඒ බොහෝ අවස්ථාවලදී මම කරන්නෙ පුතාවයි - සඳුනිවයි, එක්කගෙන යන එක. නැත්නම් මට එයාලව මගහැරෙනවනෙ. දැන් පුතා වචන මුමුණන වයස. ඉතින් දැන් එයාට තේරෙනවා වැඩියි. මෑතකදී මම රාජකාරි වැඩකට විදෙස්ගත වෙලා හිටියෙ. පුතා හවස් වෙනකොට ඉස්සි - ඉස්සී බලනවලු. මම එනවද කියලා. මොකද ගෙදර එන වෙලාව එයා දන්න නිසා. ඉතින් මම කළේ තව දවස් දෙකක් ඉන්න තිබියදී ඊට කළින් ගෙදර ආව එක. මම නැත්නම් එයා තරහයි. ආයෙ මූණවත් බලන්නෙ නැහැ.
එතකොට යාළු කරගන්න මොනවද කරන්නෙ?
අරගෙන වඩාගෙන, උඩ දාලා, විහිළුවක් කරලා, සෙල්ලම් කරලා, නොයෙක් විදියට එක – එක දේ කරලා ඔන්න ඉතින් පොඩි මෑන්ව යාළු කර ගන්නවා. දැන් මේ දිනවල නම් එයාට සෙල්ලම්බඩු ගෙනැත් දුන්නාම ටිකක් හරි.
ළමයකු කුඩා කාලයේ ඉඳලම මොන විදියට හැදිය යුතුය කියලද හිතන්නෙ?
නිදහසේ මෙයාට හැදෙන්න දෙන්න ඕනෑ. අද කාලයේ ළමයින්ට සෙල්ලම් කරන්න තියෙන වට පිටාව අඩුයි. නමුත් අපි යාළුවන්ගෙ ෆැමිලි එකතුවෙලා ට්‍රිප් එහෙම යනවා. එහෙම යන්නෙ - අපේ ළමයින්ට සෙල්ලම් කරන්න අවස්ථාව ලබා දෙන්නයි. ඉතින් ඊට අමතරව සතියේ දිනවල එයා ප්ලේ ගෲප් යවනවා. එතැනදිත් එක – එක සෙල්ලම් කරන්න එයාට වැඩි අවකාශයක් ලබා දෙනවා. පිහිනීමට පවා අපි එයාව දාලා තියෙන්නෙ. දුවන්න – පනින්න සහ වැටුණත් අපි ඒක වැඩිපුර ගණන් ගන්නෙ නැහැ. එයාට ජීවිතේ වටහා ගන්න හිතන්න අවකාශය ලබා දෙන්න ඕනැ. ‘‘බීච්’’ එකට ගියාම අපි නාන්න පවා එයාට ඉඩ ලබා දෙනවා.
ඩිජිටල්කරණය වූ තාක්ෂණික මෙවලම්වලින් ඈත්කරවීමට ඔබ මොනවද කරන්නෙ?
ඒක නරක දෙයක් කියලා බොහෝ දෙනා කිව්වත්, පවතින විදිය එක්ක, ඒවායින් ඈත්කරවීම හරි අසීරුයි. අනෙක දැන් මේ පොඩි වයසට එයා ෆෝන් එක පාවිච්චි කරන විදිය පවා දන්නවා. ඒකට තියෙන එකම විසඳුම එළියට ගිහින් එයාලා එක්ක ගත කිරීමට කාලය වැඩිපුර වෙන්කර ගැනීමයි. පුළුවන් තරම් එයාගේ වයෙස ළමයි එක්ක ඉන්නකොට ඉලෙක්ට්‍රොනික මෙවලම්වලින් ඈත් වෙනවා. කොච්චර හොඳ නැහැ කිව්වත් අපිට ෆෝන් පාවිච්චි නොකර ඉන්න බැහැනෙ. මොන දේ කළත්, පරිසරය මොන විදියට වෙනස් වුණත්, මවුපියන්ගෙ අවධානය නැතිවුණොත් තමයි දරුවන් අනවශ්‍ය දේට යොමු වෙන්නෙ. මොකද අපි නැති වුණොත් එයාලට කරන්න දෙයක් නැහැනෙ. හැකිතාක් කාලයක් ළමයින් එක්ක එයාලගෙ ළමා කාලයේදී ඉන්න කියන දේ තමයි මම අනුගමනය කරන්නෙ.
ළහිරුත් කවි කියා දෙන, ගී ගයන, කතා කියාදෙන තාත්තා කෙනෙක්ද?
ඔව් ඔව්. මට වඩා මගේ බිරිඳ ඒවා කියා දෙනවා. බිරිඳගෙ මව ඕස්ට්‍රේලියා යාමට පෙර මෙහි සිටියදී පුතාට ඒ දේවල් හුරු කළා. පුතාට චිත්‍ර අඳින්න පුළුවන්. කොළවල වගේම I Pad එකෙත් චිත්‍ර අඳිනවා. ඒ කිසි දෙයක් එපා කියලා අපි කියන්නෙ නැහැ. අපේ ගෙදරට එන ඕනෑ කෙනෙක්ට දකින්න පුළුවන්. පුතා බිත්ති කුරුටු ගාලා තියන විදිය. ගේ ලස්සන නැතිව යනවා කියලා අපි පුතාට ඒවා කරන්න එපා කියන්නෙ නැහැ. එයාට අහුවෙන හැම තැනම අඳිනවා, ලියනවා. ගෙදර පුටුවල පවා එහෙමයි. පුතාගේ කුරුටු ගී දැක ගන්න පුළුවන්. ‘‘මමයි - සඳුනියි’’ ඒ ගැන කනගාටු වෙන්නෙ නැහැ. පුතාගෙ චිත්‍ර අඳින හැකියාව අපට ඊට වඩා ලොකුයි.
මව් පිය දෙදෙනා වාද – විවාද වන අවස්ථා තියෙනවද?
අපේ ගෙදර ඒවා හරි අඩුයි. සඳුනි මෘදුකාංග ඉංජිනේරුවරියක ලෙස කාර්ය බහුලයි. හැබැයි එයා වැඩ කරන්නෙ ගෙදර සිට. මාත් කාර්ය බහුලයි. අපි දෙන්නා අතර වාදවීම් ඉතා අල්පයි. වාදයක් වුණොත් ඒක අපි පුතා ඉදිරියේ කරන්නෙ නැහැ.
ලංකාවේ තාත්තලාට ඔබට කියන්න තියෙන්නෙ මොන වගේ දෙයක්ද?
ළමයා වෙනුවෙන් හැකි උපරිම කාලය යොදවන්න. ළමයි ඉපදෙන්නෙ එයාලගෙ වුවමනාවට නෙවෙයි. අපේ වුවමනාවට. ඒ නිසා කරුණාකරලා ළමයින්ගෙ ළමා කාලයට උපරිම සාධාරණයක් කරන්න.
සඳුන් ගමගේ