අපි සාකච්ඡාවට වඩා චින්තනමය විප්ලවයක් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතුයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

 -‘මිස්ටර් ප්‍රසිඩන්ට්‘  අධ්‍යක්ෂ ගයාන් කණිෂ්ක රාජපක්ෂ

‘මිස්ටර් ප්‍රසිඩන්ට්‘ පෙබරවාරි මස 09 සහ 10 වැනි දින සවස.07.00ට ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවේදී

යෞවන සම්මානලාභී අධ්‍යක්ෂ ගයාන් කණිෂ්ක රාජපක්ෂගේ ‘මිස්ටර් ප්‍රසිඩන්ට්‘ වේදිකා නාට්‍යය පෙබරවාරි මස 09 සහ 10 වැනි දින සවස.07.00ට ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවේදී වේදිකාගත වීමට නියමිතය. කලකට පසු වේදිකා නාට්‍යයක් හරහා ප්‍රේක්ෂකයා අතරට පැමිණෙන රොෂාන් රවීන්ද්‍ර සමග ප්‍රියන්ත සිරිකුමාර,කළණ ගුණසේකර සහ සේවියර් කණිෂ්ක ප්‍රධාන චරිත නිරූපණය කරන මෙම නාට්‍යය, ශ්‍රී ලංකාවේ වේදිකාගත වන පළමු අවස්ථාව මෙයයි. ඔස්ට්‍රේලියාවේ ජීවත් වන ශ්‍රී ලාංකේය වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරයෙකු වන කණිෂ්ක විසින් නිෂ්පාදනය කරන සිව්වැනි වේදිකා නාට්‍යයද මෙයයි.

“ගමේ කොල්ලො දෙන්නෙක් පාස්පෝට් එක හදාගන්න කොළඹට එනවා.ඒත් එයාලට එදා තමන්ගේ වැඩේ කරගන්න බැරිවෙනවා.ඒ නිසා එදා රෑ එයාලා කොළඹ නවතිනවා.රෑ සංගීත සංදර්ශනයකට යන ඔවුන්ට එතනදි තවත් දෙන්නෙක් මුණගැහෙනවා.මේ හමුවීම ඇතුළේ සිදුවෙන සිදුවීම් පෙළක් වටා තමයි මේ නාට්‍යය ගලා යන්නේ. මම ජීවිතයේ මුහුණදුන් කාරණා, යාළුවෝ සමග ගත කළ ජීවිත අත්දැකීම්,ඇසූ දුටු දේවල් තමයි මේ තේමාවට බලපෑවේ.“ අධ්‍යක්ෂ කණිෂ්කගේ කතාව ආරම්භ කළේය.

‘මිස්ටර් ප්‍රසිඩන්ට්‘ කියන්නේ දේශපාලනික නාට්‍යයක්ද? ?

නැහැ.මොකද ලංකාවේ මිනිස්සුන්ගේ දේශපාලනික කියවීම තියෙන්නේ තමන්ට අහුවෙච්ච ඉතිහාසය සහ ලෝක ඉතිහාසය ඇතුළේ ගලපගන්න දේවල් එක්ක.ඒ ඇරුණම ඉන් ඔබ්බට තමන්ගේ වගකීම මොකක්ද කියන එක ගැන බහුතරයකට අදහසක් නැහැ.ඒ නිසා‘මිස්ටර් ප්‍රසිඩන්ට්‘ කියන්නේ දේශපාලනයෙන් එහා ගිය නාට්‍යයක්.පොදුවේ හැමෝම තමන්වම පාලනය කර ගැනීම ඇතුළේ නිර්මාණය වන දේශපාලනය සහ බෞද්ධ දර්ශනය තමයි නාට්‍යයට පසුබිම් වෙන්නේ.ඒ අනුව මේ මොහොතේ අපේ මිනිස්සු විඳින දුක විශ්වීය පරාසයක් ඔස්සේ මේ නාට්‍යය ඇතුළෙදි සාකච්ඡා වෙනවා.

තව ටිකක් පැහැදිලි කළොත් ?

මෙතනදි ප්‍රඥාවන්තයන්ට වටිනා යමක් නාට්‍යයේදි නිරාවරණය වෙනවා.අදාළ ප්‍රේක්ෂකයාගේ අවංකභාවයේ මට්ටම අනුව ඔවුන්ට අදාළ කාරණාව ප්‍රායෝගිකව කළ හැකි දෙයක් බවටත් පත්වෙනවා.එය මේ මොහොතේ කියවීම ඇතුළේ ෆැන්ටසියක් වෙන්න පුළුවන්.ඒත් රූපණය ඇතුළෙදී මගේ සහෝදර රූපණ ශිල්පීන් විශාල උත්සාහයක් දරනවා මගේ උත්සාහය සාර්ථක කරන්න.මෙහිදී සංගීතය නිර්මාණය කළ නිලංක ගමගේත් ඉතා ඉහළ දායකත්වයක් ‘මිස්ටර් ප්‍රසිඩන්ට්‘ නාට්‍යයට ලබාදෙනවා.

නාට්‍යයකින් පුළුවන්ද සමාජය තුළ වෙනසක් කරන්න?

ඔව්.අපි සාකච්ඡාවට වඩා චින්තනමය විප්ලවයක් සම්බන්ධයෙන් තමයි වැඩි අවධානයක් යොමු කරන්නේ.එහි ඵලදායිතාවය අපි ප්‍රශ්නයට නගනවා.මොකද අපේ චින්තනය ඵලදායි වෙන්න ඕනි.එතකොට තමයි පවතින තත්ත්වය වෙනස් කරන්න පුළුවන් වෙන්නේ.පවතින තත්ත්වයට හේතු වූ කරුණු තේරෙන්නේ එතකොට.තියෙන ප්‍රශ්නවලින් ගැලවෙන්න විසඳුම් ලැබෙන්නෙත් එතකොට.

මීට පෙර වේදිකාගත කළ ඔස්ට්‍රේලියානු ප්‍රේක්ෂකාගාරයෙන් ලැබුණු ප්‍රතිචාර කොහොමද ?

‘මිස්ටර් ප්‍රසිඩන්ට්‘මේ වෙද්දි ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත පහක දර්ශන වාර හතක් වේදිකාගත කරල තියෙනවා. විනෝදාත්මක නාට්‍යයක් විදිහට ඉහළ ප්‍රතිචාරත් ලැබිලා තියෙනවා.ඔස්ට්‍රේලියාවේ පමණක් ප්‍රේක්ෂකයන් දෙදහසකට ආසන්න ප්‍රමාණයක් මේ වෙද්දි මේ නාට්‍යය බලල තියෙනවා.ඒ නිසා ලංකාවෙත් මේ නාට්‍යය ඒ මට්ටමින්ම වේදිකාගත වෙයි කියල මම බලාපොරොත්තු වෙනවා.

 මාලන් විදානපතිරණ