ඇඟ මහත්වෙන්නෙ පවුලෙ ආරෙට

  • 05-11-2021
  • Views 203

අඩෝ මල්ලියා උඹ උඹ දැන ගනින් උඹට පාත් වුණේ පෙර පිනක් හරිද? අනිත් එවුන්ගෙන් ලක්ෂ ගණන් අරගන්න එකට, උඹට අතේ තියෙන ගාණට සෙට් කරලා දුන්නෙ දෙයියෝ දෙන චාන්ස් මේවා හරිද උඹට තේරුණාද …. තේරුණාද … මල්ලි අතාරින්න එපා.  ගිහිල්ලා තැනකට  ගියොත් අපිවත් මතක තියාගෙන හිටපං.

මෙහෙම කියන මෙයා ටිකක් චණ්ඩියෙක් වගෙයි පෙනෙන්නෙ. උස මහත පෙනුම නිසා සමහරු මෙයාට කියන්නෙ තඩියා කියලයි. මේ ඔක්කෝම හැබැයි එයාගෙ රඟපෑම්වලට විතරයි. සැබෑ ජීවිතයේදී මෙයා බොහොම හොඳ මනුස්සකම තියෙන චරිතයක්. දන්නවනෙ මෙයාගෙ නම? මෙයාගෙ නම තමයි මධුශාන් නානායක්කාර, හැබැයි හැමෝම මෙයාට ආදරයට කතා කරන්නෙ ‘නානා’ කියලයි. නානා මේ දිනවල අපට හමුවන්නෙ කොළඹ ඉතාලිය ටෙලි මාලාව ඔස්සේ ‘ගාමිණී’ නමැති චරිතය සමගයි. ඒ විදියට හමුවන ආදරණීය ‘නානා’ එක්ක අපි කතා බහකට එක්වෙමු. 

කොහොමද ජීවිතේ?

හොඳයි ඉතිං. මේ යන විදියත් එක්ක ඒකට සෙට්වෙලා ජීවිතය ගෙවන්න අපි හැමෝටම සිද්ධවෙලා. මාත් ඉතිං ෂේප් එකේ ඉන්නවා.

කට්ටිය කතා කරන්නේ මධුෂාන් කියලද? නානායක්කාර කියලද?

හැමෝම වගේ කතා කරන්නෙ ‘නානා’ කියලයි.
අපිත් එහෙනම්, ‘නානා’ කියන්නම්?
අනේ ඕනෑ දෙයක් කියන්න. 

එතකොට ‘නානා’ සමාජයේදි මිනිස්සු ඔබ දිහා බලන්නෙ බයෙන්ද? 

මම රංග ශිලිපියෙක් බව දන්නා අයට නම් ප්‍රශ්නයක් නැහැ. මාව නොදන්නා සමහර අය නම් මා දිහා බලන්නෙ මූත් එක්ක කතා කළොත් එහෙම මූ ගහයිද කියන බයෙන් වගෙයි. සමාජ මාධ්‍ය ඔස්සේ මාව අඳුරගෙන ඉන්න අය නම් වෙලාවකට මා ළඟට ඇවිත් හලෝ මචං කොහොමද කියලා කතා කරනවා.

‘නානා’ගෙ ප්‍රධාන වෘත්තිය මොකක්ද?

මේ වෙනකොට නම් රංගනය ප්‍රධාන වෘත්තිය වෙලා. ඊට අමතරව පුද්ගලික ආයතනයක ‘එකවුන්ට්ස්’ අංශයේ රැකියාවක් කරනවා.

‘නානා’ ඉගෙන ගත්තෙ?

පළමු වසරේ ඉඳලා පහ වසර දක්වා කොළොන්නාව ශාන්ත ජෝශප් විද්‍යාලයෙන්. ඉන්පසුව උසස් පෙළ දක්වා අධ්‍යාපනය හැදෑරුවෙ කොළඹ නාලන්දාවෙන්. එතැන් පටන් නාලන්දාව පාසල් ජීවිතයේ සොඳුරු තක්සලාවක් වුණා. 

මොනවගේ අරමුණක්ද එදා තිබුණෙ?

ලොකුවට අරමුණක් කියලා තිබුණෙ ගුවන් නියමුවෙක් වෙන්න ඕනැය කියලයි. පාසලේ ගුවන් පියාසර සංගමය පටන් ගත්තෙත් අපේ කාලයේදී. ඒ සංගමය අද ඉතා ක්‍රියාශීලී සංගමයක් බවට පත්වෙලා. ලංකාවේ පාසල් අතර හොඳම ගුවන් පියාසර සංගමය ලෙස හැමෝම වගේ හඳුන්වන්න පටන් අරගෙන. එදා අත්දැකීම් අඩු පිරිසක් ලෙස අපි පටන් ගත්ත ඒ සංගමය අද එවැනි තැනක තිබීම ගැන හරිම සන්තෝෂයි. ඒ කාලයේ අවුරුදු දෙකක් මම එහි සභාපති වෙලත් හිටියා.

මෙන්න ‘නානා’ ඇවිත් ‘නානා’ ගෙ පවුලෙ විස්තර කියමුකො?

මමයි. මගේ ආදරණීය බිරිඳයි. අපි දෙන්නගෙ සුනඛ සුරතලයි තමයි අපේ පුංචි පවුල. බිරිඳ රැකියාවක් කළා. දැන් නම් කරන්නෙ නැහැ. එයා ආහාර පාන කලාවට බොහොම දක්ෂ කෙනෙක්. ඒ අංශයට ලැදිව ආහාරපාන සෑදීම පවා කරනවා. අපි සතුටින් ජීවිත ගත කරනවා. මගේ තාත්තා මීට මාස හතරකට විතර පෙරදි මිය ගියා.
‘නානා’ පාසල් සමයේදී මෙච්චර තරබාරු නැතුව ඉන්න ඇති නේද?
ඒ කාලයේදීත් මෙහෙම තමයි අප්පා. එදා ඉඳලා ආව විදිය තමයි.

ගෙදර හුරතලයට හැදිලද? නැත්නම් පවුලෙ ආරද?

පවුලෙ ආරය. අපේ පවුලේ බොහෝ විට හිටියෙ මං වගේ උස මහත කට්ටිය තමයි.
‘නානා’ ඔයා දිහා බලලා කවුරු කියලද හිතෙන්නෙ?
ඒ කියන්නෙ, මට මා ගැන හිතෙන විදියද?
ඔව්, ඔබට ඔබ ගැන හිතෙන විදිය?
කාටවත් වාතයක් නැතුව, ණයත් නැතුව, මනුස්සයෙක් විදියට මියයාම මගේ අරමුණයි. මට මගේ පැවැත්මට මිලියන ගාණක් හම්බ කරන්න ඕනැ නැහැ. ලැබෙන දෙයින් සෑහීමකට පත්වෙලා ජීවත් වෙන්න මට සහ මගේ බිරිඳට පුළුවනි.

මේ දිනවල විකාශය කෙරෙන ‘නානා’ රඟපාන නාට්‍ය ගැන කියමු?

කොළඹ ඉතාලියෙ මේ දිනවල රඟපෑමට අමතරව අසංක සායක්කාරගෙ නාට්‍යයක රඟපෑම්වලට දායක වෙනවා. එහි මා රඟපාන්නෙ හාමුදුරුනමකගේ චරිතයක්. එය  මගේ රංගන ජීවිතයේ කඩ ඉමක් වේවි. එහි රූගත කිරීම් ළඟදීම පටන් ගනීවි. ඊටත් අමතරව සංජුල දිවාරත්නගෙ නාට්‍යයකට දායක වෙනවා.

‘නානාට’ ජීවිතය දැනෙන්නෙ කොහොමද?

ජීවිතය කියන්නෙම දුකක්. පට්ට දුකක්. අපි අදහන බුදු දහමට අනුව දුකක් වූ මේ ජීවිතයේ හැකි තරම් හොඳ දෙයක් සමාජයට කරලා ධර්මයේ අරුතට සමීපව ගමනාන්ත ගතවීම තමයි අරමුණ.

ඒ කියන්නෙ අපි මතුපිටින් දකින ‘නානා’ට වඩා ඇතුළාන්තයෙන් ‘නානා’ වඩාත් අරුත්බර චරිතයක්?

‘ධර්මය’ සොයා යනවා කියලාම නෙවෙයි මම කියන්නෙ. ජීවිතයේ මෙහෙම කළොත් මේ විදියයි. අරෙහෙමයි කියලා මම දන්නවා. ඒ නිසා හැකි හොඳම දේ කරන්න උත්සාහ ගන්නවා. බොහෝ විට ප්‍රේක්ෂකාගාරය මාව දකින්නේ විහිළුකාරයෙක් හැටියටයි. නමුත් එතැනින් එහාට ගියාම මම වෙනස්. මම දරන දේශපාලනයත්, ආගමික දර්ශනයත් තියෙනවා. ඒ සියල්ල තුළදී මගේ ජීවිතයේ මුල තේරුම් අරන් ඉන්න මනුස්සයෙක්.

එතකොට, කොළඹ ඉතාලියෙ ‘නානා’ රඟපාන ‘ගාමිණී’ ගැනත් කියමු?

ගාමිණී කියන්නෙ විවිධ ස්වරූපයෙන් ඉන්න චරිතයක්. මිනිහා කරන්නෙ බෝට්ටුනේ. මිනිස්සු රට ගෙනි යනවා කියලා වැඩ කිරීමයි. ඊට අමතරව සමාජ සම්මතයට පටහැනි තවත් දේට යොමුවූ චරිතයක්.
මේ චරිතය රඟපෑමට මට අවස්ථාව ලබාදුන් අපේ ආදරණීය සිවා අයියා හෙවත් ජයප්‍රකාශ් සිවගුරුනාදන්, කැමරා අධ්‍යක්ෂ, ජානක චමින්ද සහ අනෙක් සියලු කණ්ඩායමත්, විශේෂයෙන්ම මෙහි නිෂ්පාදිකා සුධර්මා ජයවර්ධනවත් ඉතා ගෞරවයෙන් මතක් කරන්නට ඕනෑ. ඇය කලාකරුවන්ගෙ වටිනාකමට හොඳ වටිනාකමක් දෙන නිෂ්පාදිකාවක්. එය අගය කළ යුතු දෙයක්. ඒ වගේම කොළඹ ඉතාලියේ සහෝදර නළු නිළි පිරිස සහ රජීව් අයියාවත් සිහිපත් කරන්න කැමැතියි.

සඳුන් ගම​ගේ