ඔව් මම ජීවිතය ඇතුළේ නියම රස්තියාදුකාරයෙක් - බුද්ධික ජයරත්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ මොහොතේත් මම ඉර්ෆාන් ඛාන්ට ප්‍රේම කරමි. අහන්න... ඒ ප්‍රේමයට හේතුව මනුෂ්‍යත්වය සහ ඉසියුම් මනෝභාවයන් විසල් දෙනෙතින් ඔහු විදාහල අපූර්වත්වය කැටපත් පවුරක කවියක් සේ ඔහු ලියා තැබූ හෙයින්ය; මහද ගැඹුරක. මා ප්‍රේම කළේ ඉර්ෆාන්ට නොව ඉර්ෆාන් තුළ හුස්මක් ගත් අප්‍රමාණ රංගධරයාටය. එවන් රංගධරයන් ලාංකික සිනමාව තුළ හමුවීම සුලභ යථාර්ථයක් නොවන අවකාශයක බුද්ධික ජයරත්න යනු ලාංකික කලාව සහ සිනමාව ලද අප්‍රමාණ සම්මානනීය දායාදයක් බව නොලියා සිටිය නොහැක. ජයන්ත චන්ද්‍රසිරි සිනමාවේදියාගේ මිඳුණු විශ්වයේ ඩන්කන්ගේ චරිතය ඔස්සේ ඒ ඇත්ත බුද්ධික තවදුරටත් ඔප්පු කළ, ''ඩන්කන්'' උන්මාදයක් වූ අවකාශයක, මට නම් ඉතින් තවත් නම් නිහඬව සිටිය නොහැක.

Qබුද්ධික ජයරත්න කියන පිරිමියා තුළ මම දකින්නේ ජීවිතය ඇති පදම් සොයා ගිය අමු වැදගත් ගැඹුරු අමුතු රස්තියාදුකාරයෙක් සහ පුදුමාකාර ආලයකින් සහ කාමයකින් ඕනෑම චරිතයක් එක්ක රංගනය තුළදී හුස්ම ගන්න රංගධරයෙක්. මගේ සිනමාමය කියවීම තුළ ඒ තමා ඔබ ගැන මගේ නිර්වචනය. එකඟවීම නොවීම හෝ එකතු කිරීම ඔබේ අයිතියක්. බුද්ධික මම ඉල්ලන්නෙ උත්තරයක්?

රස්තියාදුව කියන වචනයට සමාජය දෙන පොදු නිර්වචනයෙන් එහා ඒ වචනයට ගැඹුරු නිර්වචනයක් තියෙන බව තාරුණ්‍යයට එද්දි මටත් හඳුනගන්න පුළුවන් වුණා. හොඳ රස්තියාදුකාරයෙකුට හොඳ මිනිහෙක් වෙන්න පුළුවන්. මම තරාතිරම් බලලා මිනිස්සු ආශ්‍රය කරන්නෙ නෑ. තරාතිරම්වලට අනවශ්‍ය ගරු නම්බු දෙන්න සූදානම් වෙලත් නෑ. මට වැදගත් වෙන්නෙ මොන තරාතිරමකදි වුණත් මට සැබෑ මනුස්සයෙක් හමුවෙන තැන විතරයි. සැබෑ මනුස්සයෙක් හඳුනාගන්නෙ කොතැනකද මම ඒ මනුස්සයාට කොන්දේසි විරහිතව ප්‍රේම කරනවා. ඒ වගේම කොන්දේසි විරහිතව ඔහු හෝ ඇය වෙනුවෙන් පෙනී සිටිනවා. රස්තියාදුව කියන්නෙම සමාජගත වීමක්.  

Qජීවිතය තුළ ඇවිදීම සහ ජීවිතය ස්පර්ශ කිරීම කියන්නෙ කාරණා දෙකක්. සහකම්පනය කියන මානුෂීය හැඟීම දැනෙන්නේ ජීවිතය ස්පර්ශ කරන්න පුළුවන් පිරිමියෙකුට හෝ ගැහැනියකට විතරයි. මම මේ කියන සහකම්පනය කියන හැඟීම ඔබේ නිර්වචනය තුළ විග්‍රහ වන ආකාරය මම ආසයි දැනගන්න?

රස්තියාදුව කියන්නෙ මම ඇති පදම් විඳපු කෙනෙක්. ඒ රස්තියාදුව තුළ ජීවිතය, සමාජය සහ ලෝකය දැනෙන්නම ස්පර්ශ කරපු කෙනෙක්. සහකම්පනය කියන්නෙ කෙනෙක්ගේ දුක, වේදනාව හෝ ඕනෑම මනෝභාවයක් සහ හදගැස්ම තමන්ගේ වගේ දැනෙන තැනට. ඔව් මම ඒ විදිහට දැනෙන හදවතක් තියෙන මනුස්සයෙක්. මගේ ගැන නොදන්න අය නෙවෙයි මගේ ගැන දන්න අය ඒක දන්නවා. 

Qඕනෑම චරිතයක් තුළට කිඳා බැහැලා ඒ චරිතය රඟපාන්න නෙවෙයි ඒ චරිතය තමන් තුළින් වත් කරලා පෙරළා එළියට දාන්න හැකියාවක් තියෙන විරල රංගධරයෙක් තුළ මම විශ්වාස කරන්නෙ සහකම්පන ගුණය තියෙනවා. මම විශ්වාස කරනවා තමන්ට ලැබෙන ඕනෑම චරිතයක් එක්ක හදවතින් කතා කරන්න, ප්‍රේම කරන්න සහ රමණයේ යෙදෙද්දි දැනෙන ආශක්ත බවින් ඒ ඇතැම් චරිත තමන්ගේ ආත්මයෙන්ම බදාගන්න බැරි කිසිම රංගන ශිල්පියෙකුට ප්‍රබල රංගධරයෙක් වෙන්න බැහැ කියලා. ඔබ එය දකින්නෙ කොහොමද?

මම හරිම ආඩම්බරයෙන් කතා කරන්නෙ මගේ ජීවිතය පුරා තිබුණු සමාජ ආශ්‍රය ගැන. මට ඕනෑම චරිතයක් අඳුරගන්න, තිර පිටපතක නිර්මාණය වෙලා තියෙන චරිතය තුළට ඉන් ඔබ්බට ගිහිල්ලත් රිංගගන්න හැකිවෙලා තියෙන්නෙ ජීවිත රස්තියාදුව ඇතුළේ මම ලබපු අත්දැකීම් සහ සමාජ ආශ්‍රය තුළින් ලෝකය ගැන මගේ කියැවීම නිසා. ඒ තුළ චරිතයකට උපරිම සාධාරණය කරන්න හරිම ලේසියි. ඔබ කියන විදිහට ජීවිතය තදින් ස්පර්ශ කරන සහකම්පනය හදවතේ තියෙන ඕනෑම කෙනෙකුට හොඳ රංගධරයෙක් විතරක් නෙවෙයි හොඳ මනුස්සයෙක් සහ ඕනෑම ක්ෂේත්‍රයක හොඳ වෘත්තිකයෙක් වෙන්න පුළුවන්. 

Qබුද්ධික ඔබ විශ්වාස කරනවද රංගනය වැනි දෙයක් ශාස්ත්‍රීයව ඉගෙන ගන්න පුළුවන් කියලා?

ශාස්ත්‍රීය විදිහට රංගනයට අයත් න්‍යායන් ඉගෙන ගන්න පුළුවන්. රංගනයට අදාළ තාක්ෂණික කාරණා ඉගෙන ගන්න පුළුවන්. ඒත් රංගනය ඉගෙන ගන්න බෑ.

Qබැහැ කියලා කියන්න හේතුත් කියන්න?

මට ලැබෙන ඕනෑම චරිතයක් මම විඳින්නෙ නැතිව මම ප්‍රතිනිර්මාණය කරනවනම් මම එතැනදි අසාර්ථකයි. මට විඳින්න බැරි වුණානම් ඒක ප්‍රේක්ෂකයාටත් විඳින්න බෑ. මම නොවිඳින දෙයක් කොහොමද දෙයියනේ ප්‍රේක්ෂකයන්ට විඳින්න ඉඩක් නිර්මාණය වෙන්නෙ. ඒ විඳිල්ල තමන් තුළින්ම එන්න ඕනෙ දෙයක් මිසක් කිසිම කෙනෙකුට උගන්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ විඳිල්ල එන්නෙ අපි මුලින් කතා කරපු ජීවිත ස්පර්ශය, රස්තියාදුව සහ සහකම්පනය ඇතුළේ මිසක් රංගනය පිළිබඳව න්‍යායන් හෝ තාක්ෂණය ඇතුළෙ නෙවෙයි.

Qජයන්ත චන්ද්‍රසිරි සිනමාවේදියා අධ්‍යක්ෂණය කළ මිඳුණු විශ්වය චිත්‍රපටයේ එන ඩන්කන් කියන චරිතය මම විශ්වාස කරනවා බොහෝ ගැහැනු නොකියා ඉල්ලන, ප්‍රාර්ථනා කරන පිරිමියාව ප්‍රතිනිර්මාණය කළ අපූරු චරිතයක් කියලා. ඇත්තටම එය රටක් වසඟයට ගත් චරිතයක් කියන්න ඕනෙ තරම් සාක්ෂි සමාජ මාධ්‍ය තුළින් හමුවෙනවා. බුද්ධික පළමුව කතා කරපු චරිතයක් විඳීම වෙනුවෙන් ඩන්කන් කියන්නෙ හොඳම උදාහරණයක් කියලා මම කිව්වොත් මොකක්ද ඔබ මට දෙන උත්තරය?

ඔව් ඩන්කන්ගේ චරිතය කියන්නෙ මම පුදුමාකාර වින්දනයක් එක්ක වැළඳගත්ත චරිතයක්. කැමරාවට මගේ මුහුණ නොපෙනී යන තැනදී පවා ඒ චරිතයත් එක්ක මම පුදුමාකාර වින්දයකින් ජීවත් වුණා. මම එහෙම ඒ චරිතය පුදුමාකාර ආලයකින් වින්ද නිසා බුද්ධික බුද්ධික නොවී ඩන්කන්ම වෙච්ච හින්දා තමයි ඒ චරිතයට මට මේ තරම් ප්‍රතිචාරයක් ලැබෙන්නෙ කියලා මම විශ්වාස කරනවා. එසේ නැතිව ඒ චරිතය ඇතුළේ මම මහා විශ්වකර්මයක් කළා නෙවෙයි. 

 

Qමම විශ්වාස කරනවා ඕනෑම ගැහැනු පපුවකින් ඉල්ලන පිරිමියා තුළ රළු බවක් දකින්න ගැහැනියක් කැමතියි කියලා. ඒ රළු බව එක අතකින් මම අර්ථ ගන්වන්නෙ සොඳුරු ආඥාදායකත්වයක් විදිහට. කේරළ, මලයාලම් වැනි මිනිසුන්ගේ මනෝභාවයන් ඉසියුම් ලෙස ප්‍රකාශ කරන චිත්‍රපටවල හැරෙන්න සිංහල චිත්‍රපටයක් තුළදී එවන් රළු සොඳුරු ආඥාදායක ආදරණීය පිරිමියෙක් මම මුල්වරට දැක්කෙ ජයන්ත චන්ද්‍රසිරිගේ මිඳුණු විශ්වයේ ඩන්කන්ගේ චරිතය තුළ. ඇයි ඩන්කන් වගේ සැබෑ පිරිමි චරිත සිංහල සිනමාව තුළ අපට හමු නොවෙන්නෙ?

ඔබ ඔය කියන කතාව තුළ මම දකින දෙයක් තියෙනවා. ඩන්කන් කියන්නෙ ගැහැනියකගේ යටි හිතේ ප්‍රේමය. හැම ගැහැනියක්ම එවන් පිරිමියෙක් ඉල්ලා හිඳිනවා කියන කතාව ඔබ කියන ආකාරයටම සම්පූර්ණ ඇත්ත. එහෙත් ගැහැනියක් උඩු හිතින් කැමතියි කුමාරයෙකුට. අයිති කරගෙන ජීවත් වෙන්න කැමතියි කුමාරයෙක්ව. ඒත් ප්‍රේම කරන්න කැමති රළු, සොඳුරු, ආදරණීය ආඥාදායක පිරිමින්ට. සංකල්පයක් විදිහට බලද්දි මනමේ නාට්‍ය තුළ දිගහැරෙන්නෙ ඔය යථාර්ථයයි.  

Qඑහෙත් අයිතියට වඩා ප්‍රබල වෙන්නෙ ප්‍රේමය යැයි මම කිව්වොත් ඊට ඔබේ උත්තරය මොකක්ද?

ඔව් මම හිතන්නෙ ඩන්කන්ට මෙතරම් ආකර්ෂණයක් ලැබෙනවා ඇත්තෙ ගැහැනියක ලෙස ඔබ ඔය කියන දේ තුළ වෙන්නැති. ඇත්තටම ඩන්කන් වැනි පිරිමියෙක් සිංහල සිනමාව තුළ ප්‍රතිනිර්මාණය කිරීමේ ගෞරවය එම සිනමා පටයේ රචකයාට සහ අධ්‍යක්ෂකවරයාටත් හිමිවිය යුතුමයි. ඩන්කන් වැනි චරිතයක අවශ්‍යතාවය ඔහු තේරුම් ගැනීමම ප්‍රබල සමාජ කාරණාවක්. ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා ඔහුගේ මනෝමය රෑප රාමුව ඇතුළේ දුටු ඩන්කන් මම මගේම කරගෙන ප්‍රතිනිර්මාණය කළේ මම ඔහුගේ අවශ්‍යතාවය සහ සංකල්පය ප්‍රේක්ෂකයන් අතරට ගෙන යන වාහකයා විදිහට. එහි උපරිමය උපරිමයෙනුත් උපරිමයට අවබෝධ කරගෙන. අයිතියට වඩා ප්‍රේමය ප්‍රබල නැත්නම් ඩන්කන්ට මේ තරම්ම ආකර්ෂණයක් ලැබෙයිද කියන ප්‍රශ්නය තමයි මටත් මේ රටේ ප්‍රේක්ෂකාගාරයෙන් අහන්න ඉතුරු වෙන්නෙ.

Qජයන්ත චන්ද්‍රසිරි මම දකින්නෙ සිනමාමය ගවේෂකයෙක් විදිහට. ගවේෂණය තියෙන්නෙ ප්‍රවීණත්වයෙන් හුඟාක් ඈත ගැඹුරු ඉසව්වක. ඒ ගවේෂණාත්මක පිපාසයට ඔහු සම්මිශ්‍රණය කරන්නේ විචිත්‍රවත් පරිකල්පනයක්. ගවේෂණය සහ විචිත්‍රවත් පරිකල්පනය එකට යා වෙන තැන නිර්මාණය වෙන රසවින්දනය මහා ආක්‍රමණයක්. ඊට මෑතකාලීනම සංනිදර්ශනය තමයි මිඳුණු විශ්වය චිත්‍රපටය. ඔහු ඇසුරේ රංගධරයෙක් ලෙස ඔබ ලද අත්දැකීම් කොහොමද?

ජයන්ත චන්ද්‍රසිරි කියන්නෙත් අතීතයේ රංගන ශිල්පියෙක්. මම විශ්වාස කරනවා හොඳ නළුවෙක්ට තමයි හොඳ අධ්‍යක්ෂකවරයෙක් වෙන්න පුළුවන් කියලා. හැම හොඳ අධ්‍යක්ෂකවරයෙක් ඇතුළෙම හොඳ නළුවෙක් ඉන්නවා. හැම හොඳ නළුවෙක් ඇතුළෙම අධ්‍යක්ෂකවරයෙක් ඉන්නවා. ජයන්ත චන්ද්‍රසිරි ඉතාමත් සියුම් ලෙස මාව හසුරුවන්න අධ්‍යක්ෂකවරයෙක් විදිහට දරපු පරිශ්‍රමය හරිම විශිෂ්ටයි. මම කැමතියි ජීවිතයේ සුන්දරම සහ වටිනාම මතක ඉතුරු කරන තැන්වලට. ඩන්කන්ගේ චරිතය තුළ සැරිසැරීම මට ඉතුරු කළේ එවන් මතක සමුදායක්. ජයන්ත අයියට ඒ වෙනුවෙන් හදවතින්ම මම ස්තූතියි කියනවා. 

Qඕනෑම නිර්මාණයක් සංකල්පීය වශයෙන් මුලින් ඉපදෙන්නෙ නිර්මාණවේදියාගේ මනසේ. එය චිත්‍රණය වන්නේ නිර්මාණවේදියාගේ සිතුවිලි යාය තුළ. හැබැයි නිර්මාණවේදියා එම සංකල්පය නිර්මාණයක් ලෙස ප්‍රතිනිර්මාණය කළ පසු එය පාඨක සහෘද ප්‍රේක්ෂක ඕනෑම ප්‍රේක්ෂකාගාරයක් වෙත ගෙන යන්නේ යම් වාහකයෙක්. සිනමාව තුළ එම වාහකයාගේ භූමිකාව ඉටු කරන්නෙ රංගධරයා. මම විශ්වාස කරනවා එතැනදි අධ්‍යක්ෂකවරයාගේ භූමිකාව කෙතරම් ප්‍රබල තැනක පැවතියත් රංගධරයා ආත්මීයව චරිතයට නොබැදෙන තැන චරිතය ගිලි‍හී යනවා කියලා. ඩන්කන්ගේ චරිතය තුළින් ඔබ සාක්ෂි සහිතව තහවුරු කළා රංගධරයාගේ වගකීම. මම ඉල්ලන්නෙ උත්තරයක්?

ඔබ ප්‍රේක්ෂකයෙක් ලෙස ඩන්කන්ගේ චරිතය වෙත පිරිනමන ආදරය, ගෞරවය ඇගයීම මම භක්තියෙන් පිළිගන්නවා. මේ ගෙවුණු කාලය තුළ මට ඒ චරිතයට ලැබුණේ හිතාගන්න බැරි ප්‍රතිචාර. එහෙත් මම වෙනුවට වෙනත් කෙනෙක් චරිතයට යොදාගත්තා නම් මේ ඩන්කන් වෙනුවට නොහිතපු ඩන්කන් කෙනෙක් එළියට එන්නත් තිබුණා. ජයන්ත අයියගේ සතර දෙනෙක් සෙන්පතියෝ ටෙලිනාට්‍යයේ මම කරපු චරිතයට මුලින්ම යොදාගන්න හිටියෙ ජැක්සන් ඇන්තනී මහත්තයා. නමුත් ඒ කාලයේ ජැක්සන් අයියා අබා චිත්‍රපටයේ වැඩ පටන්ගත් නිසා ඔහුට එම චරිතය බාරගන්න ලැබුණේ නෑ. ජයන්ත අයියා එම ටෙලිනාට්‍යයට මම යොදාගත්තෙ ජැක්සන් අයියා තුළින් දකින්න බලාපොරොත්තු වෙච්ච චරිතය මා ඔස්සේ ප්‍රතිනිර්මාණය කරන්න. ඒ චරිතයට මට සම්මානනීය ඇගයුමක් ලැබුණා. රංගධරයෙක්ගේ භූමිකාව කොයි තරම් ප්‍රබලද කියන කාරණාවට මම හිතන්නෙ සාධාරණ උත්තරයක් මම දුන්නා.

Qබුද්ධික ජයරත්න ඔබ කවුද? මම හිතනවා කිසිවෙකුත් විනිශ්චය කරන්න, කිසිවෙකුටත් අයිතියක් නැහැ කියලා. එහෙත් අපි සැරිසරන්නෙම විනිශ්චයකාරයන් අතර. ඔබටත් එවැනි සමාජමය විනිශ්චයන්ගෙන් අඩුවක් නැතිව ඇති?

මම පිළිබඳව මාව හඳුනගන්න ඉස්සර පූර්ණ නිගමනවලට ආපු හුඟාක් මිනිස්සු ඉන්නවා. ඉස්කෝලෙ යන කාලෙ ඉඳන් මගේ ගැන ඍණ පූර්ණ නිගමන හුඟාක් මට ලැබිලා තියෙනවා. මට කවදාවත් වෙලාවක් තිබුණෙ නැහැ ඒ හැම කෙනා ළඟටම ගිහිල්ලා බුද්ධික ජයරත්න කියන්නෙ ඔයාලා හිතන කෙනා නෙවෙයි කියන්න. ඩන්කන් කියන චරිතය ඇතුළෙ ඉන්න පුදුමාකාර ආදරණීය පිරිමියා හරියටම තේරුම් ගන්නත්, මම තෝව මරණවා කියලා කියද්දි ඒ වචන ඇතුළෙ තියෙන ආදරය තේරුම් ගන්නත් සමහරවිට බැරි අයට ඩන්කන් කියන්නේ හදවතක් නැති නපුරෙක් වෙන්න පුළුවන්. එතකොට ඩන්කන්ව මිනිස්සු තේරුම් ගන්නෙ ආදරණීය මනුස්සයෙක් විදිහට නෙවෙයි. බුද්ධික ජයරත්නටත් ඒ දේ එහෙම්ම වුණා. ඒත් මාව තේරුම් ගත්තට පස්සේ මේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පවා මට කියලා තියෙනවා අනේ බං උඹ අපි හිතපු කෙනා නෙවෙයි නේද කියලා. උඹ මාර හොඳ එකෙක්නෙ කියලා මට කියනවා. එහෙම අය මගේ ගැන කොතැනක හරි යම් දෙයක් කවුරු හරි වැරදියට කතා කරනවනම් මම වෙනුවෙන් පෙනී ඉඳලා ඒක නිවැරදි කරලා තියෙනවා. අදටත් මම උදයකාන්ත වර්ණසූරියට හරිම කෘතවේදීයි. මම රංගනය තුළින් හම්බකරන හැම රුපියලක් වෙනුවෙන්ම ඔහුට ණයගැතියි. මම අතීතය අමතක කරපු හෝ කරන කෙනෙක් නෙවෙයි. හෘද සාක්ෂියක් තියෙන මිනිහෙක්. 

Qබුද්ධික ඇත්තටම සත්‍ය කියන දේ හමුවෙන්නේ යථාර්ථයෙන් ඔබ්බට ගමන් කළ හැකි තැනකදි. යථාර්ථය නෙවෙයි සත්‍ය කතා කළොත් සිනමාව අදටත් අපේ රටේ කර්මාන්තයක් විදිහට ගොඩනැගිලා හෝ ස්ථාවර වෙලා නැහැ. ප්‍රස්තුතමය අතින් අපේ සිනමාව හුඟාක් දුප්පත්. ඇයි මෙහෙම වෙලා තියෙන්නෙ?

සල්ලි තියෙනවනම් ඕනෙම කෙනෙකුට චිත්‍රපටයක් හදලා රඟපාන්න පුළුවන් තැනකට ක්ෂේත්‍රය වැටුණම කොහොමද ඒ ක්ෂේත්‍රය කර්මාන්තයක් විදිහට ගොඩනැගෙන්නෙ. ප්‍රස්තුතමය අතින් පොහොසත් වෙන්නේ. අනාථාගාරයක්, අම්බලමක් වගේ තැනක් වෙනවා එහෙම වෙද්දි. සිනමාව සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් නැහැ. එහෙත් සිනමාව කර්මාන්තයක් විදිහට ගොඩනගන්න නම් ජාතික ප්‍රතිපත්තියක් අත්‍යවශ්‍යමයි. චිත්‍රපට ප්‍රදර්ශනය සම්බන්ධයෙන් නීති සක්‍රීය සහ බලාත්මක තත්ත්වයට පත්විය යුතුමයි. කර්මාන්තයක් විදිහට තවමත් සිනමාව අපේ රටේ ස්ථාවර නොවුණු පසුබිමක චිත්‍රපට ශාලාවල ප්‍රේක්ෂකයන් බලන්න පැමිණෙන චිත්‍රපට ටිකත් ගලවලා පිටරටවලින් ගේන චිත්‍රපට ටික දාලා විදේශීය සිනමාවන්ට අපේ රටේ වෙළෙඳපොළ හදන එක නෙවෙයි අපි කරන්න ඕනෑ. ලාංකික සිනමාමය ප්‍රේක්ෂකාගාරය සංඛ්‍යාත්මකව හා ගුණාත්මකව ඉහළ තලයකට අරගෙන ඇවිල්ලා තවදුරටත් ලාංකික සිනමාව අම්බලමක් නොකර දියුණු ජාතික ප්‍රතිපත්තියක් ඇති ප්‍රබල කර්මාන්තයක් බවට පත් කිරීමයි කළ යුතු වන්නේ. සිනමාව, කලාව කියන්නේ අමිල දායාදයක්. එයට හදවතින්ම ප්‍රේම කළ හැකි නම් නිසැකවම තව බොහෝ දුර අපට යා හැකියි.

I සංජීවිකා 
සේයාරූ I සුමුදු හේවාපතිරණ  
Location Chillax Pelawaththa