කාලයක් මාව දකින්න නැති වුණාමත් කට්ටිය අහනවා ඇයි දකින්න නැත්තෙ කියලා

  • 04-11-2021
  • Views 152

ගීතයට ආදරය කරන බොහෝ දෙනෙක් අතර මේ දිනවල නිතරම මිමිණෙන ගීතයක් තමයි ‘වෛවර්ණ නාරි’ කියන්නෙ.
මේ ගීතය ගායනා කරන්නෙ ‘Dream Star’ වේදිකාවෙන් බිහිවුණු ගායන තාරකාවියක් වන චේතනා රණසිංහ. මේ කතාබහ ඇයට ආදරය කරන ඔබ වෙනුවෙන්.

වෛවර්ණ නාරි මා රතදර සලා
සක්මන් කලා.. පියුමන් තබා..
සඳසාර වත රූ කමලේ
සිත්තම් බලා..
සැනසෙන්න ශෘංගාරෙන්
මත් වී මා හා සරා..

මොකද්ද මේ කතාව?

ඇත්තටම මේ සංකල්පය මෙහි ගී පද රචකයාට අනුව නම් විවිධ දක්ෂතා තියෙන වෛර්ණ ළඳක් ගැන කියවෙන ගීතයක්. ඇය තමන්ට තියෙන දේවල් වර්ණනා කරමින් තමන්ගේ ආදරවන්තයාට කතා කරන ගීතයක් තමයි මේ.

මේ වෙද්දි ගීතයට හොඳ ප්‍රතිචාර ලැබෙනවා නේද?

ඇත්තටම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ගොඩක් දෙනෙක් ගීතය නරඹලා මට අදහස් දක්වනවා. හින්දි ගීතයක් වගේ කියලා තමයි කියන්නෙ. එවැනි ප්‍රතිචාරයක් දක්වන්නෙ ගීතයට යොදාගෙන තියෙන ඇඳුම් පැළඳුම් එක්කත් වෙන්න ඇති. ඉතින් මගේ ගායන හැකියාවත්, නර්ථන හැකියාවත් දෙකම මේ ගීතය තුළින් එළිදක්වන්න හැකිවෙලා තියෙනවා. ඉතින් ඒ හැමදේටම බොහෝ දෙනෙක්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

කාලෙකින් දැකපු වෙනස්ම ගීත නිර්මාණයක්. මේ වෙනස ගැන කතා කළොත්?

ඇත්තටම මම දීර්ඝ කාලයකට පස්සෙ තමයි ගීත නිර්මාණයක් කළේ. මගේ අධ්‍යාපන කටයුතු සහ රැකියාවෙ වැඩ කටයුතු එක්ක කාර්යබහුල වුණා. ඉතින් ඒ නිහැඬියාවත් එක්කම මට වෙනස්ම නිර්මාණයකින් එළියට එන්න තමයි අවශ්‍ය වුණේ. මුලින්ම හිතුවෙ නැහැ නර්ථනයක් එක්ක වීඩියෝවක් කරනවා කියලා. නමුත් මම කසුන් එක්ක කතා කරගෙන මුලින්ම පසන් අයියාට මේ වැඩකටයුත්ත භාර දුන්නා.

ඔහු තමයි මේ අදහස ගැන මුලින්ම කිව්වෙ. ඉතින් පසන් ලියනගේ සංගීතවත් කරපු මේ ගීතය ෂෙහාන් ගලහිටියාව තමයි පද රචනය කරන්නෙ. ඉතින් ගීතයේ සියල්ලම හොඳින් කෙරුණට පස්සෙ තමයි ගීතයට රූප රචනයක් කරන්න අවශ්‍ය වෙන්නෙ. ඒ වෙනුවෙන් අපි සන්දේෂ් බණ්ඩාර තෝරගන්නවා. ඉතින් ඒ තෝරාගැනීමත් එක්ක අපි ඔක්කොම මේ ගැන කතා වෙද්දි තමයි හිතුවෙ නර්ථනයක් එක්ක යන වීඩියෝවක් කරමු කියලා. ඉතින් සන්දේෂ් වර්ණවත් විදියට ඔහුගෙ වැඩ කටයුත්ත කළා. ඉතින් ඒ වර්ණවත් භාවය තවත් වැඩිවුණේ මේ වෙනුවෙන් යොදාගත් ඇඳුම් පැළඳුම්. මොකද ඒ ගැන බොහෝදෙනෙක් කතා කළා. විශේෂයෙන් මතක් කරන්න ඕනෑ එහිදී මගේ ඇඳුම් නිර්මාණය කළේ වෙනුක යසස්ශ්‍රී වික්‍රමආරච්චි. ඔහු එය ඉතා අලංකාර විදියට මට අවශ්‍ය විදියට මගේ කැමැත්තට අනුව නිර්මාණය කරලා දුන්නා. ඒ වගේම නර්ථන කණ්ඩායමේ ඇඳුම් නිර්මාණය සිදුවුණේ අසංග ද සිල්වා අතින්. ඔහුගෙ නර්ථන කණ්ඩායම තමයි මේ වෙනුවෙන් සම්බන්ධ වුණේ.

නමුත් ඒ හැම ඇඳුම් නිර්මාණයකම වර්ණ ගැළපීම සිදුකළේ වෙනුක යසස්ශ්‍රී. ඇත්තටම ඒ ගැළපීමෙන්ම ලොකු එළියක්, ආකර්ෂණයක් ලැබුණා මේ  වීඩියෝවට. මේ ශිල්පීන් හැමෝගෙම එකතුව නිසා තමයි මේ විදියට ලස්සන නිර්මාණයක් අවසන් කරගන්න හැකිවුණේ. ලැබෙන ප්‍රතිචාර වලින් හිතෙනවා අපේ වැඩ කටයුත්ත සාර්ථකයි කියලා.

තරුණ පරපුර ටිකක් වැඩිපුර ගීතය වැළඳගෙන තියෙනවා නේද?

ඔව් ඇත්තටම අද ගොඩක් ජනප්‍රිය මාධ්‍යයක් වෙලා තියෙන ‘ටික්ටොක්’ හරහා මේ ගීතයට නර්ථනයන් එකතු කරලා මට එවලා තිබුණා. ඇත්තටම ඒවා දකිද්දි මටත් ගොඩක් ආසා හිතුණා. ඉතින් ඒකත් වෙනම රසාස්වාදයක්. ඉතින් අපි ඒ වෙනුවෙන් වෙනම තරඟයකුත් සූදානම් කරගෙන යනවා ටික්ටොක් වීඩියෝ එකතුවක්. ඒ වැඩ කටයුත්ත ඉදිරියේදී දැක බලාගන්න පුළුවන් වෙයි.

චේතනා රණසිංහ කියන්නෙ ජනප්‍රිය රියැලිටි ගායන තරඟයකින් ජනතා මනාපයෙන් ඉදිරියට ආපු ශිල්පිනියක්නෙ. ඉතින් එදා තිබුණු ඒ ජනතා ප්‍රසාදය තවමත් තියෙනවද?

ඒ ආදරය නම් වෙනස් වෙලා නැහැ. තවමත් තියෙනවා. කාලයක් මාව දකින්න නැති වුණාමත් කට්ටිය අහනවා ඇයි දකින්න නැත්තෙ කියලාත්? ඇත්තටම Dream Star වේදිකාවෙ හිටපු මුල් කාලෙ තරමට නම් එදා ලැබුණු ඒ ප්‍රතිචාරවල අඩුවක් අද වෙද්දි තියෙනවා. නමුත් මම නිර්මාණයක් කළාම ඒ වෙනුවෙන් හොඳ ප්‍රතිචාර දක්වන, ඒ ගැන කතා කරන ආදරණීය රසික පිරිසක් ඉන්නවා. ඉතින් මගේ ඉදිරි අරමුණත් හොඳ නිර්මාණ කරලා ඒ රසික පිරිස වැඩි කරගැනීම තමයි.

චේතනාට ප්‍රේක්ෂක ආදරය වගේම සැබෑ ආදරය ලැබෙන්නෙත් Dream Star වේදිකාව හරහා නේද?

සැබෑ ආදරය ලැබෙන්නෙ නම් Dream Star අවසන් වෙලා අවුරුදු ගණනකට පස්සෙ. ඒ වේදිකාවෙ තරඟ වදිද්දි නම් කවදාවත් හිතුවෙ නැහැ කීර්ති පැස්කුවල් කියන කලාකරුවා මගේ මාමණ්ඩි වෙයි කියලා. ඒ කාලෙදි මම කසුන්ව දන්නෙත් නැහැ ඇත්තටම. පසුකාලීනව තමයි ඉතින් මේ දේවල් සිද්ධවුණේ.

මේ වේදිකාවට සම්බන්ධ වුණු බොහෝදෙනෙක් අද රංගන ශිල්පීන් වෙලා ඒ ආදරයත් ලබාගෙන තියෙනවා. චේතනාට රංගන වරම් ලැබුණෙ නැද්ද?

ඇත්තටම සෑහෙන්න ආරාධනා ලැබිලා තියෙනවා. මම Dream Star තරඟයට සම්බන්ධ වෙන්නෙ මම O/L කරද්දි. ඉතින් ඒ කාලෙ ඉඳන් මට රංගනයට ආරාධනා ආවත් අධ්‍යාපන කටයුතු එක්ක සම්බන්ධ වෙන්න හැකියාවක් තිබුණෙ නැහැ.

නමුත් මම හිතනවා මට රංගනයට වඩා සංගීතය පැත්තෙන් හොඳ දෙයක් කරන්න පුළුවන් කියලා. රංගනයට වඩා සංගීතය මට ගැළපෙන්නෙ. මම ඒ දේට ආසයි.

විනෝදාංශයක් විදියටවත් අත්හදා බැලීමක් කරන්න හිතුණෙ නැද්ද?

මම මියුසික් වීඩියෝ කිහිපයකම රංගනයෙන් දායක වෙලා තියෙනවා. නමුත් දෙබස් එක්ක යන රංගන අත්දැකීමක් නම් ලබලා නැහැ. 

චේතනාගෙ අධ්‍යාපන කටයුතු දැන් අවසන්ද?

ඔව් මගේ උපාධිය අවසන්. ඒ වගේම විශාරද විභාගයත් අවසන් කරලා මේ වෙද්දි මාස්ටර්ස් උපාධිය ආරම්භ කරලා තියෙනවා. එයත් ජනවාරි වෙද්දි අවසන් වෙනවා. ඉතින් ඒ දේවල් එක්ක රැකියාවත් කරගෙන කලා කටයුතුත් කරගෙන ඉන්නවා.

එතකොට සංගීතය කරන්නෙ විනෝදාංශයක් විදියටද?

ඔව්. විනෝදාංශයක් විදියට කරන එක ලේසියි. මොකද අද කලාව වෘත්තීය වශයෙන් කරගෙන යන්නත් අමාරු තත්ත්වයක්නෙ තියෙන්නෙ. කොවිඩ් ප්‍රශ්නයත් එක්ක තමයි ඒ දේ ක්ෂේත්‍රයේ හැමෝටම තේරුණේ. එහෙමයි කියලා සංගීතය අතඅරින්නෙ නැහැ. සංගීතය තමයි මගේ ජීවිතේ. ඉතින් පුළුවන් විදියට විනෝදාංශයක් විදියට කරගෙන යනවා.

ධනු විජේරත්න