කලාව කියන්නේ විනෝදංශයක් විදිහට කරන්න හොඳ දෙයක් විතරයි
සිරස සුපර් ස්ටාර් තරු මාවත හරහා ගායන ක්ෂේත්‍රයට පිවිසි මංජුල පුෂ්පකුමාර අද වන විට ක්ෂේත්‍රය තුළ ස්ථාවරව සිටින තරුණ ගයන ශිල්පියෙක් ලෙස හැඳින්වියම පුළුවන. මේ වනවිට ජනප්‍රිය ගීත කිහිපයකම හිමිකරුවෙකුද වන මංජුල මෑතකදීද අලුත් ගීත කිහිපයක්ම තම රසික පිරිස් වෙත තිළිණ කරනු ලැබීය. මේ නිසම මෙවර අපගේ තරු කතබහට මංජුල මෙසේ සම්බන්ධ කරගත්තේමු.
රියලටි තරුවක් වීම ගැන මංජුල මොකද හිතෙන්නේ?
තවමත් මට මතකයි ඒ අතිතය. ලංකාවේ පළමුවැති රියලටි තරගය ඒක. 2006 වසරේදී තමයි ඒක තිබුණේ. මේකට කළින් ලංකාවේ ඔය වගේ රියලටි තරගයක් තිබුණේ නැහැ. ඇත්තම කිව්වොත් අපි දන්නෙත් නැහැ මේ තරගය මොකක්ද මොන වගේ වැඩක්ද කියලාවත්. මම ජිවිතේටම කියලා සහභාගි වුණ පළමු වැනි ගායන තරගය ඒක. තරගයේ මැදක් හරියක් වෙනකම් හිතුවේ නැහැ මේක මේ තරම් ලංකාව තුළ ජනප්‍රිය වෙයි කියලා. මේ තරගය අවුරුදු 15ක් වෙනවා දැන් පවත්වලා. නමුත්, අවසන් තරගයට සුදුසුකම් ලැබු 12 දෙනාට තවමත් මිනිස්සු ආදරය කරනවා. ඒ වගේම මිනිස්සුන්ගේ මතකයේ ඉන්නවා. ඇත්තටම අවසන් තරගයට එකතු වුණ 12 දෙනා අතර තරගයක් තිබුණේ නැහැ. අපිට ආදරය කරපු මිනිස්සු අතරත් තරගයක් තිබුණේ නැහැ. නමුත්, අද පවතින රියලටි තරගත් එක්ක ගත්තොත් මේ තරගය ඉතා සරළ සුන්දර තරගයක් කියලා මට හිතෙනවා.
පවතින වසංගත තත්ත්වයත් එක්ක ගොඩක්ම පාඩු වුණේ ගායන ක්ෂේත්‍රයේ අයට නේද?
ඇත්තටම, කොවිඩ් කියන වසංගතය මුළු ලෝකේටම ප්‍රශ්නයක් වෙලා තියෙන දෙයක් නේ. මොකද, අපි කවුරුත් හිතුවේ නැහැ මේ වගේ දෙයක් මිනිස්සුන්ට වෙයි කියලා. මේ වසංගතය අපි මුලින්ම දැනගත්දි අපි හිතුවේ නැහැ මේ වසංගතය ලංකාවට එයිදවත් කියලා. එතකොට අද කොවිඩ් පාලනය කරපු රටවල් ලෝකයේ ඕනා තරම් තියෙනවා. මම හිතන්නේ කලා ක්ෂේත්‍රය අය ගත්තොත් ඔවුන්ට මේ වසංගතය ලොකුම ප්‍රශ්නයක් වුණා. විශේෂයෙන්ම සංගිත කණ්ඩායම්, ගායක, ගායිකවෝ, විදුලි ආලෝකරණ ශිල්පින්, ශබ්ද යන්ත්‍ර කුලියට දෙන අය මේ හැමෝටම. මොකද මේ අයට තිබ්බේ එකම ආදායම් මාර්ගය මේක නිසා. ලංකාවේ කිසිම තැනකින් මේ කලාකරුවන්ට සහනයක් දෙන්නේ නැහැ. ඒ හින්දා කොවිඩ් වසංගත තත්ත්වයත් එක්ක ගොඩක් දෙනෙක් අසරණ වුණා. මම තව දෙයක් කියන්න ඕනා අපි කලාව තුළ යමක් කරනවා නම් පැත්තකින් අපිටම කියලා දෙයක් තියෙන්න ඕනා ජිවත් වෙන්න. මොකද කලාව කියන්නේ විනෝදංශයක් විදිහට කරන්න හොඳ දෙයක් විතරක් හින්දා. මොකද, වෘත්තියක් විදිහට කළොත් මේ වගේ ප්‍රශ්නයකදී ගොඩක් අසරණ වෙන්න වෙනවා අපිට. ඒත්, අපි දුක්වෙන්න ඕනා අපි ගැන හිතලා නෙමෙයි එදා වෙලා හම්බ කරගෙන ජිවත් වෙන අසරණ මිනිස්සු ගැන හිතලා. මොකද ඒ මිනිස්සු තමයි අද වෙන කොට ගොඩක්ම මේ වසංගත තත්ත්වයත් එක්ක අසරණ වෙලා තියෙන්නේ.
ඔබගේ අලුත් වැඩ මොනවද?
අවුරුදු දෙකකට විතර පස්සේ අලුත් ගීතයක් කළා හිතේ තියන් ඉන්න.. කියලා. ගී තනුවටයි පද ටිකටයි ආස හිතිලා තමයි මම ඒක කළේ. සිරස සුපර් ස්ටාර් තරගයෙන් පස්සේ මේ ගෙවුණ අවුරුදු 15 තුළ මම දැනට ගිත 40ක් විතර කරලා තියෙනවා. ගොඩක්ම ජනප්‍රිය වුණා මගේ පළමුවැනි ගීතය සිදගන මගේ ජිවිතේ.. කියන ගීතය. ඊට පස්සේ සඳ ළඟ තරු ළඟ.., හිත හදාගන්න මට.. හිස් අතින් යන්න යන්නම්.. ගීත මිනිස්සු අතරට ගියා. අලුත් ගිතයක් කරන්න හිතගෙන ඉන්නවා මේ දවස්වල මගේ විදිහට කරන්න. මොකද, මෙච්චර කල් ගීත කිව්වේ මගේ අවශ්‍යතවයට නෙමෙයි. වෙන වෙන අයට අවශ්‍ය විදිහට. දැනට මම යු ටියුබ් නාලිකාවකුත් පටන් අරන් තියෙනවා. හැබැයි මුදල් උපයන අදහසින් නම් නෙමෙයි ඒක කරන්නේ. මම කරන නිර්මාණ ඒ හරහා ප්‍රචාරය කරන්න. ඉතින් ඒ තුළින් ඉදිරියට මගේ ආදරණිය රසික, රසිකාවියන්ට මගේ අලුත්ම ගිත රසවිඳින්න පුළුවන්.
ගීත තෝර ගනිද්දි මංජුල එකම රාමුවකට කොටුවෙලා වගේ කියලා හිතෙන්නේ නැද්ද?
මගේ පළමු ගීතය සෙන්ටිග්‍රේට්ලාත් එක්ක කරපු මගේ ජිවිතේ, ඒ වගේම සඳ ළඟ තරු ළඟ.. හිත හදාගන්න පුළුවන්.. ඒ ගීත තුන හැරුණම එතැනින් එහාට මට ලැබුණ ගීත කරන්න උනේ එකම විදිහේ ගීත. හේතුව කාලයක් අපේ ලංකාවේ ජනප්‍රිය වුණ කලාකරුවෝ එක එක ආයතනවලින් මිළඳි ගත්තා. ඉතින් ඒ අය දෙන ගිත තමයි අපිට කරන්න සිද්ධ වුණේ. ආයතනවලට යට නොවි තමන්ගේම නිර්මාණ කරමින් ඉදිරියට ආපු ගායක, ගායිකවොත් ලංකවේ ඕනාතරම් හිටියා ඒ වෙන කොටත්. මම ඒ අය ගැන ගොඩක් සතුටු වෙනවා. මොකද, ඒ අය කොන්ද කෙලින් තියාගෙන අද ඉදිරියට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඉදිරියට කරන නිර්මාණ මට හොඳයි කියලා හිතෙන මට හිතට දැනෙන ගිත පමණක් තෝරගෙන කරන්න මම බලපොරොත්තුවෙන් ඉන්නවා.
කරන නිර්මාණය ජනප්‍රිය වෙන්න හැකියාව වගේම වාසනාවත් ඕනා නේද?
ගීතයක් ජනප්‍රිය වෙන්න නම් හැකියාව කියන දේ අපිට කොහොමත් තියෙන්න ඕනා නේ. ඒ නැතිවුණත් යම් කිසි සාමාන්‍ය දුරකට හරි හැකියාව ඕනා. මොකද, තාක්ෂණයත් අද වෙන කොට ගොඩක් දියුණු වෙලා තියෙනවා නේ. කටහඬ එහෙම අද වෙනස් කරන්නත් පුළුවන්. නමුත්, එය මොන දේ තිබුණත් අද වාසනාව කියන දේ නැත්නම් ඔය කිසිම දෙයක් වැඩක් නැහැ. හොඳම උදාහරණය තමයි යොහානි. ශ්‍රී ලාංකිකයෙක් විදිහට ඇත්තටම මම ආඩම්බර වෙනවා ඇය ගැන. යොහනිගේ අතිතය ගත්තොත් ඇය ප්‍රතික්ෂේප කරපු බොහෝ දෙනෙක් ඉඳලා තියෙනවා ලංකාවේ. කවුරුත් හිතපු නැති විදිහට යොහනි කරපු ඒ ගීතය ලෝකයේම අවධානය දිනාගන්න අද සමත් වෙලා තියෙනවා. මම හිතන්නේ ඒක පුදුම වාසනාවක් කියලා.
ක්ෂේත්‍රයට අද නවකයින්ගේ පැමිණිම වැඩිපුර සිදුවෙනවා. එය හොඳද නරකද?
අලුතින් එන අයට මම හිතන්නේ ක්ෂේත්‍රයට එන්න පාරවල් ඕන තරම් තියෙනවා. පොඩිම දෙයක් කිව්වොත් සමාජ මාධ්‍යය හරහා තමන්ට තියෙන හැකියාව පැයකින් විනාඩි ගණනකින් ලෝකේටම පෙන්වල තමන්ට යන්න පුළුවන් මාර්ගය හදාගන්න පුළුවන්. ඒ වට පිටාව අද වෙන කොට නවකයන්ට නිර්මාණය වෙලා තියෙනවා. අපි ක්ෂේත්‍රයට එන කාලේ අපිට තිබුණේ රූපවාහිනියන්, රේඩියෝ එකයි විතරයි. අවුරුදු 15ක් කියන්නේ ලොකු කාලයක් නොවුණට ඒ අවුරුදු 15 ඇතුළත ගොඩක් දේවල් සමාජ මාධ්‍යය පැත්තෙන් අද වෙන කොට සිද්ධ වෙල තියෙනවා. ඒ හින්දා නවකයන් අද ඕනා තරම් අවස්ථාව තියෙනවා තමන් තුළ තියෙන හැකියාව ලෝකේටම පෙන්වන්න.
සටහන හා ඡායාරූප - බුද්ධික සේනාධීර





