ගෙදර ඉස්තෝප්පුවෙ දල්වන පහන් වැට හරිම ලස්සනයි’
වෙසක් පෝයට තව දෙතුන් දිනක් තිබෙන බව නාගස් මණ්ඩියට අමතක වූ සේය. හැම අත්තකම ඉත්තකම සුවඳැති මලක් පුබුදුවා ගත් නාගස්, ඒ මල් සුවඳ මදනලට පවරා දෙන්නේ නිර්ලෝභීවය. මල් සුවඳ අරගත් මදනල පන්සල පුරාත් බෝධීන් වහන්සේ වටාත් පැදකුණු කරන්නේ ආඩම්බරයෙනි. වැලිගම ජඹුරේගොඩ ශ්‍රී නාගාරාම පුරාණ විහාරයේ විහාරාධිකාරී ලෙස වැඩවෙසෙන මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමියෝ නාගස් මණ්ඩිය වෙත වැඩම කළහ.
‘අපේ හාමුදුරුවනේ...’
මම උන්වහන්සේගේ දෙපා නැමඳුවෙමි.
‘යමු මහත්තයා මගේ කුටියටම...’
පාතේගම හාමුදුරුවෝ, හැමදාමත් කතා කරන ශාන්ත ස්වරයෙන්ම කීහ.
‘ඔබ වහන්සෙ නාගස් මණ්ඩියට වැඩම කළේ...?’
මම යමින් ගමන කටහඬ අවදි කළෙමි.
‘වෙසක් පෝය ළඟනෙ මහත්තයො. පන්සලේ ඉඳලා මකර තොරණට එනතුරු පහන් වැටක් දල්වනවා හැම වෙසක් පෝයටම. ඒ කටයුත්ත ඉස්සර කාලෙ කළේ මම. දැන් කරන්නෙ අපේ දහම් පාසලේ ශිෂ්‍යයො. මං වැඩම කළේ ළමයි ඒ වැඩේ පටන් අරන්ද බලන්න...’
අපි කතාවෙන් කතාවෙන් උන්වහන්සේගේ කුටියට පැමිණියෙමු.
‘පහන් වැට දැල්වීම ඉස්සර කාළේ ඔබ වහන්සේ කිව්වා... මං හිතන්නෙ ඒ පුංචි කාලෙ වෙන්නැති.’
පහසු අසුනක වාඩි වූ මම ඇසීමි.
‘ඔව් මහත්තයො. පුංචිම කාලෙ තමා. මම පන්සලට එනකොට මගෙ වයස අවුරුදු දහතුනක් විතර ඇති. හැබැයි ඊට කලිනුත් වෙසක් පහන් වැට හදලා මට පුරුදුයි.’
‘ගෙදරදි?’
‘ඔව් මහත්තයො... මම පුංචි දා ඉඳලම හැදුනෙ අත්තම්මගෙ ගෙදර. සිරිපාල මාමයි නැන්දයි අත්තම්මයි ඇසුරෙ තමා මම හැදුනෙ වැඩුනෙ. වෙසක් පෝය කිට්ටු වෙද්දි සිරිපාල මාමා මැටි පහන් ගෝනි භාගයක් විතරම අරගෙන එනවා. ගෙදර ඉස්තෝප්පුව දිගටම ඒ මැටි පහන් තියලා පත්තු කරලා වෙසක් සතියම ලස්සන කරන්න මම පුරුදු වෙලා හිටියෙ. ඉතින් පන්සලට ඇවිල්ලත් වෙසක් පෝයට පහන් වැට දල්වන එක මට පුරුද්දක් වුණා. පන්සලට එන ළමයිනුත් එකතුකරගෙන පන්සල් පාර දෙපැත්තෙම පහන් වැට හදනවා. කෙහෙල් කොටයි ගිනිසීරියා ලීයි හිටවලා ඒවායෙ පහන් තියලා තමයි අපි පහන් වැට හැදුවෙ. වෙසක් හඳ පායලා මුළු පන්සලම එළිය කරද්දි, පහන් වැටේ එළිය අමුතුම ලස්සනක් අරගෙන ආවෙ. ලොකු හාමුදුරුවොත් දෙතුන් වතාවක්ම නාගස් මණ්ඩිය පුරා සක්මන් කරලා මේ ලස්සන බලා ඉන්නවා.’
‘මේ පාර වෙසක් පෝයට ඔබ වහන්සේටත් පහන් වැටේ ලස්සන බලා ඉන්න පුළුවනි.’
මම සිනාසෙමින් කියමි.
ඔව් මහත්තයො... පන්සලේ ලයිට් පත්තු කරන්න කලින් පුදුම ලස්සනක් තියෙන්නෙ.’
‘අලුත් ගීතයකුත් ලියැවෙයිද හාමුදුරුවනේ?’
මම උන්වහන්සේගේ මුහුණ බලමි.
‘සමහර විට... ඔය ගීත කියන ඒව හිතට එන්නෙ එක පාරනෙ මහත්තයො... ගීතයක් ලියනවා කියලා හිතුවට ලියැවෙන්නෙ නැහැනෙ. මහත්තයාත් දන්නවනෙ ඒ වග.’
සිරිපා මුල වැතිරී
සිත සංකා සෝ ළතැවුල්
නිවා බැතින් පිනිපා කරමි
සිරි සම්බුදු පාද කමල්
පාතේගම ඤාණිස්සර හාමුදුරුවෝ කලකට පෙර ලියූ බුදුගුණ ගීතයක පද මගේ මතකයේ අලුත් විය. තවත් එබදුම මිහිරිම බුදු ගුණ ගීයක් මේ වෙසක් පෝදා පහන්වැට අද්දරදී ලියැවේවායි මම ප්‍රාර්ථනා කරමි.
‘අපේ හාමුදුරුවනේ, එතකොට ඔය පුංචි දවස්වල වෙසක් පහන් කූඩු එහෙම හැදුවේ නැත්ද?’
මම යළිත් සුන්දර ළමා වියේ මතකය වෙතට හාමුදුරුවන් කැඳවාගෙන යමි.
‘හැදුවා... හැදුවා... අපි පොඩි කට්ටිය තමා උණ පතුරු අරගෙන කූඩු හදන්නෙ. අත්තම්මගෙ ගෙදර ඉන්න කාලෙත් මං කූඩු හැදුවා. ඒ කූඩුවලට තියන්නෙ මැටි පහන්. සමහරදාට කූඩුව පළවෙනි දවසෙම ගිනි ගන්නවා. එතකොට මට දුකයි. මං කරන්නෙ අඬන එක. එතකොට අත්තම්මා බණ කියනවා. හැමදේම අනිත්‍යයි කියලා බුදු බණේ තියෙන්නෙ ඕකනෙ කියලා. පන්සලේදිත් අපි ළමයි කට්ටිය කූඩු හැදුවා. ඔය අස්සෙ හිටපු ගමන් උණ පතුරුවලින් ගහගන්න වෙලාවලුත් තියෙනවා. කොහොම වුණත් වෙසක් එකට කූඩුවක් හදලා එල්ලුවාම හිතට දැනෙන්නෙ ලොකු සතුටක්...’
‘ඒ කාලෙ වෙසක් සැමරුම් කොයි වගේද හාමුදුරුවනේ?’
‘අපි යාලුවො ටික වෙසක් දා රෑට පාරට බහිනවා. ගෙවල්වල හදලා එල්ලල තියෙන පහන් කූඩු බකට් බල බලා යනවා. සමහර ගෙවල්වල මැටි පහන් සීයක් විතර පත්තු කරලා තියෙනවා. අතරින් පතර එකක් දෙකක් නිවිලාත් තියෙනවා. සමහර ගෙවල්වල ලොකු නෙළුම් මල් හදලා. ඔහොම වෙසක් බල බලා අග්‍රබෝධි විහාරෙට යනතුරුම යනවා. හැතැප්ම අටක විතර දුර අපි යන්නෙ පයින්. එහෙ ලොකු හාමුදුරුවො පොඩි ළමයින්ට හරි ආදරෙයි. එයා නෑකමට මගේ සීයා කෙනෙක්.’
ඔය පුංචි කාලෙත් කවි එහෙම ලිව්වද හාමුදුරුවනේ?’
පාතේගම ඤාණිස්සර හිමියන් ගීත රචකයකු වූයේ කොයි වකවානුවේදැයි දැනගනු පිණිස මම උන්වහන්ගෙන් ඇසීමි.
‘ඒ කාලෙ මට කවි ලියන්න ආශාවක් තිබුණා. ඒ නිසා තැපෑලෙන් කවි ලියන්න උගන්නන තැනකින් ඉගෙන ගත්තා. ඒ වගේම ඔය පෑනේ මිතුරු හවුල්වලට බැඳිලා හිටියා. මුද්දර සමාජවලට බැඳිලා හිටියා. හැබැයි අපේ ගුරු හාමුදුරුවො මේ දේවල්වලට කැමැති වුණේම නැහැ. ඒ නිසා ලියුම්කාරයො පන්සලට එනතුරු බලන් ඉඳලා ලියුම් ටික අතට ගත්තෙ ලොකු හාමුදුරුවන්ට හොරෙන්.’
‘එතකොට පුංචි කාලෙ ඉගෙන කියා ගත්තෙ එහෙම?’
‘වැලිගම අග්‍රබෝදි පිරිවෙණේ. හැතැප්ම හතක විතර දුරක්. බස් එකෙන් ආව ගියාට මොකද සමහර දවස්වලට බස් එක නැහැ. දවල්ට යන බස් එක හැන්දෑවට නැති දවසුත් තියෙනවා. එතකොට තමා ලොකුම ප්‍රශ්නෙ. කළුවර වැටුණට පස්සෙ මූදුගමුවෙ කනත්ත ළඟින් වඩින එක තමා අමාරුම වැඩේ. කනත්ත මීටර් තුන්සීයක් විතර දිගයි. කනත්ත පැත්ත නොබලම ගියාට මොකද, බයටම බැලෙන වෙලාවලුත් තියෙනවා. දවසක් දා සුදු ඇඳගත්තු හොල්මනක් මට අතවනවා. එතන ඉඳලා මම දිව්වා බයටම.’
හාමුදුරුවෝ සිනාසෙයි.
ඒ පුංචි දවස්වල මළවුන්ට, කනත්තට බය වුණත් දැන් නම් උන්වහන්සේ යකෙකුටවත් බයක් නැත.
‘මම පිරිවෙන් විභාගෙට ලියන ගමන් සාමාන්‍ය පෙළ විභාගෙටත් ලිව්වා. හැබැයි ලොකු හාමුදුරුවන්ට හොරෙන්. මොකද ලොකු හාමුදුරුවො කිව්වෙ බණ දහම් විතරක් ඉගෙන ගත්තම ඇතියි කියලා. ඒත් සාමාන්‍ය පෙළ පාස් වුණාට පස්සෙ මම මාතර මහාමන්තින්ද පිරිවෙණට ගිහින් උසස් පෙළ ඉගෙන ගත්තා. ඒ කාලෙ තමයි කවියට, සාහිත්‍යයට මගෙ හිත බැඳුණෙ.’
‘ඒ කොහොමද හාමුදුරුවනේ...?’
මම පාතේගම හාමුදුරුවන්ගේ කතාබහට දිරි දෙමින් විමසුවෙමි.
‘අපිට සිංහල ඉගැන්නුවෙ කෝ. ආනන්ද හාමුදුරුවො. එයා ඇවිත් එක පංතියකට උගන්නන කොට අනිත් පංතිවල ළමයිනුත් මීයට පිම්බා වගේ නිශ්ශබ්ද වෙලා හාමුදුරුවන්ගෙ සිංහල පාඩමට ඇහුම්කන් දෙනවා. පුංචි කාලෙ අත්තම්මා කියපු බණ කතා අහගෙන හිටපු මගෙ රස මනස අවදිකරන්න කෝ. ආනන්ද හාමුදුරුවන්ට පුළුවන් වුණා.
ඔය කාලෙ මම දහම් පාසලේ ඉගැන්නුවා. ළමයිනුත් එක්ක එකතුවෙලා සුමිතුරා කියලා ළමා පත්තරේකුත් පළ කළා ඔය කාලෙදි. ඒ පත්තරේ මැද පිටුවෙ ලිපිය හැමදාම ලිව්වෙ මම. හුඟාක් දවස්වලට කෝ. ආනන්ද හාමුදුරුවො එක්ක කළ සාකච්ඡාවක් තමා මේ ලිපිය. ලොකු හාමුදුරුවන්ට හොරෙන් කවි, කෙටිකතා විතරක් නෙමෙයි නවකතාත් ලිව්වා මේ කාලෙ.’
‘මුලින්ම ලියපු සිංදුව මතකද හාමුදුරුවන්ට?’
පාතේගම හාමුදුරුවන්, ගීත රචකයකු වීමේ කතා පුවත් මතු කරනු පිණිස මම වෙහෙසෙමි.
අත්තික්කා මල් පිපෙන උදෑසන
තුත්තිරි කිරිබත ඉදෙනතුරා
අම්මේ නුඹගේ ලේ කිරි බිඳුවට
මම ණයගැති වෙමි සසර පුරා
හාමුදුරුවෝ කියාගෙන ගියහ.
‘ඒක ළමා ගීතයක් නේද හාමුදුරුවනේ...?’
‘ඔව්. ඒ කාලෙ ගුවන් විදුලියෙ ළමා සංගීත මණ්ඩපය කියලා වැඩසටහනක් තිබ්බා. ඉතින් මං ඕකට මේ සිංදුව ලියලා තැපැල් කළා. සති දෙක තුනකට පස්සෙ මට පෝස්ට් කාඩ් එකක් ලැබෙනවා ඔබේ ගීතය ගායනයට තෝරාගත්තා කියලා. යටින් අත්සන් කරල තිබ්බෙ සුජාතා අත්තනායක.’
‘සුජාතා අත්තනායක. අපේ ප්‍රවීණ ගායිකාව?’
මා ඇසුවේ විමතියෙනි.
‘ඔව්, ඒ කාලෙ සුජාතා අත්තනායක මහත්මිය ළමා සංගීත මණ්ඩපය ඉදිරිපත් කළා. අර ගීතයට සංගීතය නිර්මාණය කරල තිබ්බෙත් එතුමියමයි. ගීතය ගායනා කළේ කාන්ති ගුණලතා කියලා ළමයෙක්.’
‘ඊට පස්සෙ අපේ හාමුදුරුවෝ දිගටම ගීත ලියලා යැව්වාද ඉතිං?’
‘ඔව් මහත්තයො. මොකද සුජාතා අත්තනායක මහත්මිය මට නිතරම කිව්වා හාමුදුරුවො දිගටම ලියන්න කියලා. ඒ දිරිගැන්වීම හරිම වටිනවනෙ. ඉතින් මම දිගටම ලිව්වා.’
‘ඒ කාලේ රේඩියෝ එකෙන් ළමා ගී මහ ගොඩක් ප්‍රචාරය වෙන්න ඇති ඔය විදිහට.’
මගෙ නෙතඟ ප්‍රශ්නාර්ථයකි.
‘ඔව්. ඔය ළමා සංගීත මණ්ඩපය චන්ද්‍රිකා සිරිවර්ධන, ඩී.ඩී. ඩැනී එහෙමත් කළානෙ. ඒ අයත් මගෙ ගීතවලට ඉඩ දුන්නා. ඔය ගීත රචනා එකතු කරලා මම මගේ පළමු ගී පොත නිර්මාණය කළා. ඒකට නම දැම්මෙත් ‘අත්තික්කා මල්’ කියලා.
පාතේගම ඤාණිස්සර හිමි යනු ළමා ගී රචකයෙක් පමණක් නොවේ. උන්වහන්සේ ලියූ ගී අතර විවිධ තේමාවන්ගෙන් යුත් අපූරු ගී රාශියකි. ඉතින්, ළමා ගීතයෙන් සුභාවිත ගීතය තෙක් ගිය අයුරු ද රසවත් කතා පුවතක් විය යුතුය.
‘එතකොට හාමුදුරුවනේ ළමා ගීතයෙන් පස්සෙ?’
මම අසමි.
‘පිපීයන් මල් පිපීයන් කියලා ගීතයක් ඒ කාලෙ තිබුණු ගීත රචනා බැංකුවට යැව්වා. ඒ ගීතය මේරි කීර්තිපාල කුරේරා කියලා ගායකයෙක් කිව්වා. සංගීතවත් කරලා තිබුණේ ලාල් ආනන්ද අබේධීර.
ඉන්පස්සෙ මම මධුවන්ති වැඩසටහනට ගීත පහක් ලිව්වා. ඔය සිංදු ටික දැකපු මධුවන්ති නිෂ්පාදක මගෙන් ඇහුවෙ කා ලවාද තනු නිර්මාණය කරන්න ඕනෑ කියලා. මම කිව්වා විශාරද ගුණදාස කපුගේ ලවා කියලා. එතකොට නිෂ්පාදකගේ ඇස් උඩ ගියා.
අනේ හාමුදුරුවනේ කපුගේ මහත්තයා නම් ගුවන් විදුලියට එන්නෙ නෑ කියලා වෙන කෙනෙක් තෝරාගන්න කිව්වා.
එතකොට මම ඇහුවා මම කපුගේ මහත්තයට කතා කරලා බලන්නද කියලා.
පුළුවන්නම් කමක් නැහැ හාමුදුරුවනේ කතා කරල බලන්න කිව්වා.
ඉතින් ඒ වෙලාවෙ මම කපුගේ මහත්තයට කතා කළා. කතා කරලා කිව්වා මං ලියපු ගීත පහක් තියෙනවා. ඒ පහට මෙලඩි දාලා දෙන්න ඉන් එක් ගීතයක් ගායනා කරන්නත් ඕනෑ කියලා. එතකොට කපුගේ මහත්තයා කිව්වා, පුළුවන් හාමුදුරුවනේ මං වැඩේ කරලා දෙන්නම්. මට සිංදු ටික ගෙනත් දෙන්න කියලා. පස්සෙ මම මධුවන්ති නිෂ්පාදක මහත්තයටත් කියලා, කපුගේ මහත්තයට ගී පද රචනා ටික දුන්නා.
ඊට සතියකට විතර පස්සෙ දවසක කපුගේ මහත්තයා මට කතා කළා. හාමුදුරුවන්ට පුළුවන්ද දවසක අපේ ගෙදරට වඩින්න කියලා ඇහුවා. මං පුළුවනි කිව්වා. ඊට පස්සෙ එන දවස ඇහුවා. මං නියමිත දවසෙදි කපුගේ මහත්තයාගෙ ගෙදරට වැඩම කළා. කපුගේ මහත්තයා ඉතා ආදරයෙන් කරුණාවෙන් මාව පිළිඅරගෙන අනම් මනම් කතා කර කර හිටියා. පස්සෙ දවල් දානෙත් පිළිගැන්නුවා.
හාමුදුරුවො වඩිනව කියපු නිසා අපේ ප්‍රේමා, වැඩට ගියේ දානෙ පිළියෙල කරලා.
කපුගේ මහත්තයා කිව්වා.
ඊට පස්සෙ කපුගේ මහත්තයා මගේ ගී පද රචනයක් අරන් ඇවිත් හාමුදුරුවනේ මෙන්න මේ වචනෙ වෙනස් කරගන්න ඕනෑ. මං මෙහෙම වෙනස් කළාට කමක් නැද්ද කියලා ඇහුවා.’
‘මොකක්ද හාමුදුරුවනේ ඒ සිංදුව?’
මම පාතේගම හාමුදුරුවන් දෙස බලා අසමි.
වැහි ලිහිණී
වැහි වලාවක් ගෙන එන්න
දරු පැටව් බඩගින්නේ
සිත සොවින් ලතැවෙන්නේ
වැහි වලාවක් ගෙන එන්න
වැහි ලිහිණී...
‘මහත්තයො, ඔය සිංදුව තමයි ගුණදාස කපුගේ මහත්තය ගායනා කළ අන්තිම ගුවන් විදුලි ගීතය. මේ ගීතය ගයන්න කපුගේ මහත්තයා ගුවන් විදුලියට යෑමත් ලොකු පුදුමයක් වුණා. එදා අන්න කපුගේ ඇවිත් කියන කතාව ප්‍රවෘත්තියක් වගේ ගුවන් විදුලිය පුරාම ප්‍රචාරය වුණා. මොකද ඒ වෙද්දි කපුගේ ගුවන් විදුලියට නොගිහින් අවුරුදු පහළොවක් විතරම ගතවෙලා තිබුණා.’
ගීත ගැන අහන්නට ගියායින් පාතේගම හාමුදුරුවන්ගේ ජීවන මතක සටහන් මඳක් මග හැරිණි. උසස් පෙළ සමත් වූ උන්වහන්සේ ශ්‍රී ජයවර්ධනපුර සරසවියට සුදුසුකම් ලැබූහ. ඉනික්බිති කැලණිය සරසවියෙන් දර්ශනපති පශ්චාත් උපාධිය ද ජ’පුර සරසවියෙන් ආචාර්ය උපාධිය ද ලැබූහ. ඊටත් කලින් අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය තනතුරක්ද ලද උන්වහන්සේ මේ වනවිට එහි මහාචාර්ය පදවියක් උසුලති.
‘මම ආචාර්ය උපාධියට ලිව්වෙ බුදුසමය සහ අපරාධ විද්‍යාව කියන නිබන්ධනය. ඒ නිබන්ධනයට2011 රාජ්‍ය සාහිත්‍ය සම්මානය පවා ලැබුණා.’
හාමුදුරුවෝ කීහ.
උන්වහන්සේ පොත් කිහිපයකම කතුවරයාද වෙති. රන්කරල් ගී පද සංග්‍රහය සේම නාගස් මණ්ඩිය ද ඒ අතර ඇත.
‘මේ නාගස් මණ්ඩිය කියන්නෙ ඔබ වහන්සේගෙ ජීවිත කතාව නේද හාමුදුරුවනේ.’
‘ළමා කාලෙ ඉඳල අවුරුදු විසිඑක වෙනතුරු ජීවිත කතාව.’
‘ඊට පස්සෙ ටික තාම ලියන්න ගත්තෙ නැද්ද?’
‘තාම නැහැ. නමුත් ඒ තොරතුරු ඉක්මණටම ලියන්නයි හිතාගෙන ඉන්නෙ.’
හාමුදුරුවෝ සැහැල්ලුවට සිනාසෙති.
‘එතකොට අපේ හාමුදුරුවනේ, මේ වෙද්දි ඔබ වහන්සේගෙ ලොකු හාමුදුරුවන්ගේ විරසකේ ඉවර වෙලාද?’
සමුගන්නට මොහොතකට මත්තෙන් මම පාතේගම හාමුදුරුවන්ගෙන් විමසීමි.
‘මම කැම්පස් එකේ ඉගෙන ගන්න කාලෙ නායක හාමුදුරුවෝ අසනීප වෙලා උඩුගම ඉස්පිරිතාලෙට ඇතුළත් කරලා හිටියා. එදා මම උන්වහන්සේව බලන්න ඉස්පිරිතාලෙට වැඩම කළා. ඒ වෙලාවෙ ලොකු හාමුදුරුවො මගෙ අතින් අල්ලා ගත්තා. පොඩිනම, දැන් මගෙ කාලෙ ඉවරයි වගේ. ඒත් මගෙ නම පවතින වැඩක් පොඩිනම කරයි කියලා මං බලාපොරොත්තු වෙනවා.
ලොකු හාමුදුරුවො එහෙම කිව්වාම මම එහෙමයි කියලා කිව්වෙ ඇස් දෙකේ කඳුළු පිරෙද්දි.
පොඩිනම කවියට කලාවට නැඹුරු වෙද්දි මං හිතුවෙ දවසක උපැවිදි වෙයි කියලා. ඒකයි මං ඒවට ඉඩ නොදුන්නෙ.
හාමුදුරුවො ඊට පස්සෙ එහෙම කිව්වා.
මම එදා ආපසු කැම්පස් එකට වැඩම කළේ බොහොම කනගාටුවෙන්. ඒ කනගාටුව සතියක් යන්න කලින් වැඩි වුණා. ලොකු හාමුදුරුවෝ අපවත් වුණු නිසා.’
පාතේගම හාමුදුරුවෝ මේසය මත වූ සීඩී රෙකෝඩරයට අලුත් සීඩී පටයක් ඇතුල් කළහ.
‘මේ සිංදුවත් චුට්ටක් අහන්න මහත්තයා.’
හාමුදුරුවෝ කීහ.
මම සවන් යොමු කළෙමි.
දොරින් දොර මතුවෙනා කඳුළැල්
ගමින් ගම මතුවෙනා ගිනිදැල්
නිවන්න ආයෙත් එකම වතාවක්
වඩින්න බුදු හාමුදුරුවනේ
‘මේ ශාලිත අබේවික්‍රම මහත්තයා කියන ගීතයක්. මම මේක ලිව්වේ 2004 සිදුවුණු සුනාමි ඛේදවාචකයට පස්සෙ.’
හාමුදුරුවෝ පැවසූහ.
‘අපේ හාමුදුරුවනේ, ඔය ගීතය අදටත් ගැලපෙනවනෙ. කොරෝනාවත් සුනාමියකට දෙවෙනි නැහැනෙ.’
මම වහා කීමි.
පාතේගම හාමුදුරුවෝ කිසිවක් නොකියා සිනාවක් පමණක් පෑහ. ඒ සිනාවේ වූයේ අප්‍රමාණ වූ උපේක්ෂාව දැයි මට මොහොතකට සිතිණි.
ශාන්ත කුමාර විතාන




