ගැහැනු ඇඳුම් පැලඳුම් ඇන්දට හැමෝටම ගැහැනු චරිත කරන්න බෑ
මේ දිනවල වැඩ කටයුතු මොනවද?
හිරු නාළිකාවේ 3 sisters වැඩසටහන ඉදිරිපත් කරනවා.
වේදිකාවේ කටයුතු ගැන මතක් කළොත්?
කොරෝනා අර්බුදයත් සමඟ වේදිකාව නම් මේ දවස්වල කඩන් වැටිලානේ තිබෙන්නේ. “අල්ලයි වල්ගෙ” නම් මගෙ වේදිකා නිර්මාණය ඉතාම හොඳින් තිරගත වෙමින් පැවැතුණා. කොරෝනා නිසා එය සම්පූර්ණයෙන්ම ඇනහිටියා.
ත්‍රී සිස්ටර්ස් වැඩසටහන ගැන යමක් කීවොත්?
ඇත්තටම එය ටිකක් අභියෝගාත්මක වැඩක්. 3 sisters වැඩසටහනේදී මට රුවුල සම්පූර්ණයෙන්ම කපන්නට සිදුවුණා. මෙතෙක් කල් මාව මිනිසුන් හඳුනා ගත්තේ මගෙ රුවුල නිසයි.
කාන්තා චරිත නිරූපණයේදී අභියෝගාත්මක රංගනයක යෙදිය යුතුයි නේද?
මෙහෙමයි, එදා ටවර්හෝල් නාට්‍ය පදනම පටන්ගත් මුල් අවධියේ රංගනයට කාන්තාවන් සිටියේ නැහැ. එදා එය සංස්කෘතියට පටහැනි දෙයක් ලෙසින් සැලකුවා. අපේ තාත්තා හෙන්ද්‍රික් අප්පුහාමි එකල ටවර් හෝල් පදනමේ රංගනය කළ කලා ශිල්පියෙක්. ඔහුත් එකල කාන්තා චරිත ඉදිරිපත් කළා. නමුත් ඇඳුම් පැලඳුම් ඇන්ද පමණින් කාන්තා චරිතයන් කළ නොහැකියි. එහිදී කටහඬ පවත්වාගෙන යෑම අභියෝගාත්මකයි.
එක් එක් භාවයන් නිරූපණය කිරීමේදී සැබෑ කටහඬ භාවිත කළ නොහැකියි. එලෙස කටහඬ වෙනස් කරගත්තද එය චරිතය පුරාවටම නොවෙනස්ව එකම ලෙසින් පවත්වාගෙන යෑම තමයි සැබෑවටම අසීරුම දේ. එය නිසි පුහුණුවක් ඇතිව කළ යුතු දෙයක්. 3 sisters වැඩසටහනේ අනික් දෙදෙනාත් එසේමයි. ඉතින් අප එය සාර්ථකව සිදු කළා කියා සිතනවා.
ප්‍රහසන කාර්යය තුළ ඔබ අත්දකින අභියෝගතා කවරේද?
ඇත්තටම එය අසීරු දෙයක්. නමුත් ප්‍රහසන නළුවකුට චරිතාංග නළුවෙක් බවටත් පත්විය හැකියි කියා මා විශ්වාස කරනවා. අසීරුම දේ අප සාර්ථකව සිදු කොට තිබෙනවා නම් ඊට වඩා පහසුවෙන් ස්වාභාවික නිර්මාණයක චරිතාංග නළුවෙක් විදිහට චරිතයන්ට පණ පෙවිය හැකියි. නමුත් ලංකාව තුළ අභාග්‍යසම්පන්නම දේ නම් ප්‍රහසනය තුළින් දක්ෂතා පෙන්වූ විට අපිව ප්‍රහසනයටම කොටු කරනවා. එනිසා අපට චරිතාංග නළුවකුගේ භූමිකාව කරන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. අප තුළත් චරිතාංග නළුවා කියන කෙනා සිටිනවා. ඔහුව පිටතට ගැනීමට අධ්‍යක්ෂවරුන් උත්සුක නොවීම ගැන කනගාටුවක් තිබෙනවා.
ලංකාව තුළ ප්‍රහසන රංගන ශිල්පීන්ට නිසි ඇගැයීමක් ලැබෙනවාද?
අගය කිරීම පැත්තෙන් නම් ප්‍රහසන ශිල්පීන්ට ලැබෙන්නේ හරිම අඩු සැලකිල්ලක්. සම්මාන උළෙලක විකට නළුවන්ට සම්මානයක්වත් නොලැබෙන තත්ත්වයක් තමයි තිබෙන්නේ. අවසන් කාලයේදී තමයි ටෙනිසන් කුරේ මහතාට වුණත් සම්මානයක් ලැබුණේ. ප්‍රහසනය කියන දේ අවර ගණයට, බාල තත්ත්වයට පත්වෙලා. බටහිර රටවල නම් චාලි චැප්ලීන් වැනි ප්‍රහසන නිර්මාණ ශිල්පීන්ව ලෝකයේ ප්‍රබලතම ශිල්පීන් ලෙසින් ප්‍රසිද්ධයි. එවැනි අගේ කිරීමක් අපට කෙදිනකවත් ලැබෙන්නේ නැතිවෙයි. එනිසා නිහඬවම මේ යන විදිහ දිහා බලා සිටිනවා.
ගුවන් විදුලියෙන් ආරම්භ කළ ඔබේ කලා ගමනට දැන් දශක 04 කටත් වැඩියි?
ඔව්. 1976 වසරේදී රජරට ප්‍රදේශයේ ‘ජන නළු කැළ’ නමින් කලා සංගමයක් පවත්වාගෙන ගියා. එහිදී 1976 වසරේ ප්‍රාදේශීය නොහොත් ගම් මට්ටමින් අප වේදිකා නාට්‍යය කළා. පසුව අපි ‘රාජකීය වෙන්දේසියක්’ නමින් නාට්‍යයක් කොළඹට රැගෙන ආවා. එය රට වටේම ගෙන ගිය ප්‍රසිද්ධ ප්‍රාදේශීය නාට්‍යයක් බවටත් පත් වුණා. එහි රචකයා නැතිනම් අධ්‍යක්ෂවරයා වූයේ ප්‍රසිද්ධ රචකයෙක් වන සුනන්ද සිල්වා මහතා. තවද එම වසරේදීම අනුරාධපුරයේදී ශ්‍රී ලංකා ගුවන්විදුලි සේවයේ ‘රජරට සේවය’ ආරම්භය සිදු වුණා.
ඒ හරහා මාගේ ස්ථිර කලාකරුවකු නැති නම් ශිල්පියෙක් වශයෙන් කලාව තුළ අත්තිවාරම් දැමීම සිදුවුණා. එදා එලෙසින් මා ගුවන්විදුලියට ඇතුළත් වුණේ ඔඩිෂන් එකකින් සමත්වීමෙන් පසුවයි. මගේ අතිජාත මිත්‍ර ගුණදාස මදුරසිංහ මට මුණගැහුණේත් එහි ප්‍රතිඵලයක් ලෙසයි. පසු කලෙක ‘රාජ සභාව’ වැනි නිර්මාණ බිහි වුණේ ඔහුත් සමඟ අද දක්වා පැමිණි දීර්ඝ ගමනේ ප්‍රතිඵලයක් වශයෙනුයි.
ඔබ ටෙලි නාට්‍යයන් සඳහා සම්බන්ධ වුණේ අඩුවෙන් කීවොත් නිවැරදිද?
ඔව්. මා වඩාත්ම කැමැති සිනමාවට සහ වේදිකාවටයි. ටෙලි නාට්‍යවලට දායකත්වය අඩු වීමට හේතුව නම් ලැබුණු චරිතවල තිබූ ඒකාකාරී බවයි. චරිතයක් තුළ මට කළ හැක්කේ කුමක්ද යන්න පිළිබඳව මා නිතරම සොයා බලනවා. මා ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙන්නේම තෝරා බේරා ගැනීමක් ඇතිවයි.
අද සිටින නවකයන්ට ඔබගේ රංගන ජීවිතයෙන් ලබාගත හැකි හොඳම ආදර්ශය කුමක්ද?
මගේ කලා ඉතිහාසය තුළදී මා ගැන කියනවා නම්, 1979 ගුවන්විදුලියට ඇතුළත් වූ මා 2000 වසරේදී තමයි ජාතික රූපවාහිනිය තුළට පිවිසුණේ. අවුරුදු 20 ගණනකට පසුවයි රූපවාහිනිය තුළින් මගේ රූපය දකින්නේ. එදා සිට අද දක්වාම මා කලාව අත් නොහැර ඉදිරියට පැමිණ තිබෙනවා. මේක එක රැයින් පැමිණිය හැකි ගමනක් නෙමෙයි. කට්ට කාගෙන යන්න ඕන ගමනක් මේක. අන්න එහෙම ඕනකමක්, ඒ කැපවීම අද ඉන්න නව පරපුර අහලකවත් නැහැ. ප්‍රවීණයන් සමඟ සහයෝගයෙන් වැඩ කිරීම කියන දේත් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි.
ඔබ ඉතාම දක්ෂ චිත්‍ර ශිල්පියෙක්. ඒ ගැනත් කියමු?
මගේ කලා ජීවිතය පටන් ගන්නේම 1976දී චිත්‍ර ශිල්පියකු විදිහටයි. ඒ සිනමා නිර්මාණවල ප්‍රචාරක පුවරු සිත්තම් කරන්නෙක් ලෙස. 1976දී ලස්සන දවසක් කියන චිත්‍රපටයට මුලින්ම ප්‍රචාරක පුවරුවක් ඇන්දා. ඉන්පසුව නිර්මාණ රැසකට සිත්තම්කරණයෙන් දායක වුණා. නමුත් පසුකාලීනව මේ කලාව ඩිජිටල්කරණයට ලක්වීම මත ක්‍රමයෙන් එම අවස්ථාවන් අඩු වුණා.
පවුලේ විස්තර මතක් කළොත්?
මගේ බිරිය ගායිකාවක්. ඇය විශාරද කුමුදුනී ගුණවර්ධන, දුව ශාරදා පතිරගේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක්. එමෙන්ම ඇය අශෝක හඳගම මහතාගේ සින්තටික් සිහින ටෙලිනාට්‍යයේත්, ඇන්ටික් කඩයක මරණයක් වේදිකා නාට්‍යයේ ප්‍රධාන කාන්තා චරිතයත්, ජයලත් මනෝරත්න මහතාගේ සමනලී ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයත් ඇය නිරූපණය කළා. පුතා නදුන් පතිරගේ 3D animation නිර්මාණ ශිල්පියෙක්.
(උපුටා ගැනීමකි)



