තෙම්පරාදු සුවඳටත් ‘හස්බන්ඩ්’ කැමතියි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කෑම කියන්නේ අම්මා කෙනෙකුට දරුවෙකුට ආදරේ පෙන්වන්න පුළුවන් තවත් ලස්සන දෙයක් ඒ වගේම ඕනෑම කෙනෙක් එක්ක සතුට බෙදාගන්න පුළුවන් හරි ලස්සන දෙයක් තමයි කෑම කියන්නේ. ඒ නිසාම බොහෝ දෙනා ආහාර වල රස ගුණ ගැන සිතා බලා කටයුතු කරනවා ඒ වගේම ලස්සන මතක තම ආදරණීයයන් සමඟ බෙදාගන්න බොහෝ දෙනා මේ රසවත් කෑම එකතු කරගන්නවා. ඒ නිසාම කෑම කියන්නෙත් එක්තරා රසවත් මතකයක් වෙනවා එවැනිම රස මතක බෙදාගන්න ජනප්‍රිය ගායන ශිල්පිනී අමිලා නදීෂානි මෙවර සඳැල්ල අපිත් එක්ක එකතු වුණා.

අමිලා වැඩිපුරම කෑම ගන්නේ ගෙදරින්ද එළියෙන්ද ?

වැඩිපුරම කෑම ගන්නේ ගෙදරින් එළියෙන් කන්නේම නැති තරම් හැබැයි එළියෙන් කෑම කනව නම් මම කැමතිම ඉදියාප්ප කොත්තු ආප්ප වගේම තව පොඩි පොඩි කඩවලින් රොටී කන්න. ගොඩක් වෙලාවට රෑට ෂෝ එකක් එහෙම ඉවර වෙලා එද්දී ඒ වගේ කඩ තිබුණොත් අනිවාර්යයෙන්ම මම පොල් රොටී කනවා.

එතකොට කන්න බොන්න කැමති සහ අකමැති කෑම බීම තියනවද ?

මම වැඩිපුරම කැමති බත් එක්ක මාලු ඇඹුල් තියල් සහ පොළොස් කන්න. නමුත් හැමදාම කන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැනේ. තව කේක් කන්න, ලැවරියා කන්න හරිම කැමතියි. බොන්න කැමතිම ඇරෝමා කොෆී එකක් තමයි. මම චව් චව් කියලා තියෙන කෑම කන්න කැමතිත් නැහැ. ඒ කෑම එක හදන්න දන්නේත් නැහැ. ඒ හැරුණම මම අකැමතියි කියලා විශේෂ කෑමක් නැහැ. අපේ අම්මා හදන කෑම කන්නත් හරි ආසයි. අම්මා හදනවා කෙසෙල් මුව බැදුමක් ඒක හරිම රසයි. 

අමිලා ගෙදර කෑම හදනවද ? 

ඔව් මම තමයි ගෙදර කෑම හදන්නේ. මම සාමාන්‍යයෙන් උනන්දුවෙන් කෑම හදනවා. විශේෂයෙන් ගෙදර අනික් වැඩ කරන්නේ කෑම හදලා ඉවර වෙලා තමයි. එතකොට හරිම පහසුයි. ගොඩක් වෙලාවට රයිස් ඇන්ඩ් කරි හදනවා. ඊට අමතරව ෆ්රයිඩ් රයිස් පැස්ටා හදනවා මංඤොක්කා බතල තම්බලා කනවා උදේට කිරිබත් හදනවා අපේ ගෙදර නම් පොල්සම්බෝල, බිත්තර, පරිප්පු වගේ කෑම නිතරම හදනවා. මොකද දුව පරිප්පු එහෙම කන්න ගොඩක් කැමතියි. 

කන්න කැමති රස කෑම එකක් හදන විදිය රෙසිපි එකක් කියමුද ?

මම හදනවා පරිප්පු තෙම්පරාදුවක්. ඒක ඉක්මනට හදාගන්න පුලුවන් හරිම රසයි. ඉස්සෙල්ලාම පරිප්පු මිරිසට හදාගන්න ඕන. ඒකට මම මිරිස් එකතු කරන්නේ නැහැ. තුනපහ කහ කුඩු, කුරුදු, උලුහාල්, ගම්මිරිස් සහ උම්බලකඩ චුට්ට්ක් දාලා ලිපේ තියලා ඒ භාජනේ පැත්තකින් තියලා වෙන භාජනයක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා රත් වුණාම සුදුළූණු කරපිංචා, රම්පේ, රතුළූණු, අමු මිරිස් තෙලට දාලා ඒ ටික බැදීගෙන එනකොට ඒකට කෑළි මිරිස් ටිකක් දානවා. ඒකත් බැදෙද්දී කලින් මිරිසට හදාගත්ත පරිප්පු ටික එකතු කරගන්නවා. ඒ විදියට හදන පරිප්පු එක කන්න හැමෝම කැමතියි. සමහර අවස්ථාවල උදේ හදපු කරවල කිරිහොද්දක් හරි මොනවහරි දෙයක් තියනවා නම් ඒකත් එක්ක මම හදන පරිප්පු තෙම්පරාදුව හදලා ගත්තම හැමෝම අසාවෙන් කනවා. ඒ වගේම කාර්යබහුල අවස්ථාවල ලේසියෙන් මේ පරිප්පු තෙම්පරාදුව හදාගන්න පුළුවන්. 

අමිලා හදන කෑම වලින් හස්බන්ඩ් කන්න කැමතිම කෑම මොනවද ?

හස්බන්ඩ් මම හදන ඕනෑම කෑමක් කන්න කැමතියි. කොයිම වෙලාවකවත් මේවා කන්න පුලුවන්ද කියලා අහලා නැහැ. ඒ වගේම මොනවහරි තෙම්පරාදු කරන සුවඳක් හස්බන්ඩ් ස්ටුඩියෝ එකේ වැඩ කරන අතරතුර දැනුනොත් ඉක්මණින් පහළට එනවා. මොනවහරි තෙම්පරාදු කරලා තියනව නම් හරිම කැමතියි. ඒ වගේම විශේෂ කෑමක් එහෙම හැදුවොත් මම කෑම එක කොහොමද කියලා අහලා කමෙන්ට් එකක් ගන්නවා. කෑම එක ගැන ප්‍රතිචාරයක් ලැබෙනකන් වද දෙනවා, ඊට පස්සේ හොදයි කියලා කියනවා ඉතින්. 

දුව කන්න කැමති කෑම මොනවද ?

දුවට ඉස්කෝලේ යනකොට නම් මම වෙනම කෑම හදනවා. එයා මම හදන බිත්තර සැන්ඩ්විච් එකට පැස්ටා, මැකරෝනි වගේ දේවල් වලට හරිම කැමතියි. එයාට මම හදන බිත්තර සැන්ඩ්විච් එක විශේෂයි. ඒකට බිත්තර තම්බලා සුද්ද කරලා අරගෙන හොඳට පොඩි කරනවා, ඒකට චීස් හරි බටර් හරි එක්ක ලුණු, ගම්මිරිස් කුඩු ස්වල්පයක් දාලා කළවම් කරගන්නවා. ඊට පස්සේ හදිස්සිම නම් ඒ ක්‍රීම් එක එක්ක සැන්ඩ්විච එක හදලා දෙනවා. වෙලාව තිබුනොත් ඒකට කැරටි තම්බලා හෝ බීට් තම්බලා පොඩි කරලා අමු මිරිස් කරලක් හීනිවට කපලා කලවම් කරනවා. ඒ මිශ්‍රණ ය එක්ක සැන්ඩ්විච් හදලා දෙනවා මොකද එතකොට ඒ සැන්ඩ්විච් එක වර්ණවත් ගතියක් තියන නිසා. දුවත් මම හදන කෑම හරිම ආසාවෙන් කැමැත්තෙන් තමයි කන්නේ.  

අමිලා ගෙදර විශේෂ අවස්ථා වල හදන කෑම මොනවද ? කට්ටියගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද ?

විශේෂයෙන් ගෙදර දානයක් එහෙම තිබ්බොත් කෑම හදන්නේ මගේ අතින්මයි. හැම මාසෙකම පස්වෙනිදට දානයක් දෙනවා. ඒ හැරුණම කවුරුන් හෝ ගෙදරට එනවනම් එහෙම එන ප්‍රමාණය අනුව සමහර අවස්ථාවල කෑම ඕඩර් කරනවා. සුළු පිරිසක් නම් එන්නේ මම කෑම හදනවා. පිටරට යාලුවෝ එහෙම එනවනම් කඩ කෑම දෙන්නේ නැහැ. මොකද එයාල කැමති ගෙදර හදලා කෑම කන්නනේ. දානෙකට වගේ නම් මේ සැරේ දෙන දේ නෙමෙයි ඊළඟ සැරේ දෙන්නේ. ගොඩක් වෙලාවට ගොටුකොළ සම්බෝලයක්, කරවිල, බැදුමක්, බෝංචි, පොළොස්, මාළු ඇඹුල් තියල් වගේ වෙනස් කෑම වර්ග හදනවා. ඒ වගේම තමයි මගේ කෑම කන අයගෙන් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ක්ෂේත්‍රයේ ගොඩක් අයගෙන් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. 

ප්‍රධාන ආහාර වලට අමතරව කන්න කැමති පැණි රස ඩෙසර්ට් වර්ග එහෙම තියනවද ?

මම හරිම ආසයි කේක් කන්න. ඒ අතරින් චීස් කේක්වලට නම් ගොඩක් කැමතියි. ඊට අමතරව අතුරුපස ගැන කතා කළොත් අමතක කරන්නම බැරි දෙයක්. මම ඒ තරම්ම අතුරුපස වලට කැමතියි. කැරමල් පුඩින් වගේම ඕනෑම අතුරුපසක් මම මගාරින්නේ නැහැ. ඩිනර් එකකට හරි ලන්ච් එකකට හරි හොටෙල් එකකට ගියොත් අතුරුපස නම් වරදින්නේ නැහැ. 

කෑමත් එක්ක තියෙන අමතක නොවෙන සිදුවීම් මොනවද ?

විශේෂ දේවල් නම් නැහැ. ගොඩක් වෙලාවට කෑම හද හද ඉද්දී හස්බන්ඩ්ගේ හරි වෙන මොකක්හරි වැඩකට උදව් කරන්න ගියොත් කෑම එක කර වෙලා අලුතෙන්ම ආයේ කෑම එක හදන්න වෙන අවස්ථාවන් නම් තියෙනවා. 

විදේශ සංචාරයන්වලදී රසවිඳපු ආහාර එක්ක තියෙන අමතක නොවෙන සිදුවීම් මොනවද ?

මොන රටකට සංචාරයට ගියත් ඒ රටවල් වල විශේෂ කෑමක් කන්න තමයි කැමති. කොරියාවට එහෙම ගියොත් මම කැමති කොරියාවේ ඒ අයගේ සුප් එක සහ කෑම බීම කන්න බොන්න. ඒ රටවල් වල ඉන්න අපේ අය අපිට ලංකාවේ කෑම හදලා දෙනවා අපිට හුරු ඒ දේවල් නිසා. නමුත් ගොඩක් වෙලාවට මම නම් කැමති ඒ රටවලට ආවේණික කෑම කන්න. අරාබි රටවල් වලට එහෙම ගියාම මම සාමාන්‍යයෙන් කැමති එයාලගේ චට්නි එකක් හදනවා කඩල පිටි දාලා ඒකත් එක්ක කුබුස් කියලා ඒ රටේ බත් වගේම හදන රොටියක් තියනවා ඒ දෙක කන්න මම හරිම කැමැතියි. එයාලගේ විදියට ඒක ප්‍රධාන ආහාර වේලක්. 

අමිලා ඔය අතරේ සෞඛ්‍යය ගැන හිතනවද ? 

මම සෞඛ්‍යය ගැන හිතන කෙනෙක්. ඒ වගේම මම වර්ක් අවුට් කරනවා. ගොඩක් කෙට්ටු වුණොත් ඒක මට ගැලපෙන්නේ නැහැ කියලා මම හිතනවා. විශේෂයෙන් කෙට්ටු වෙනවා කියන දේට අමතරව ශරීර සෞඛ්‍ය නිරෝගිව තබා ගැනීම ගැන ගොඩක් හිතනවා. ඒ වගේම පුළුවන් විදියට කෑම පාලනයකුත් කරනවා.  

අමා අලහකෝන්