ප්‍රේමාරාධනා වලින් කබඩ් එකක් පිරිලා තිබුණා

  • 03-11-2021
  • Views 84

ශ්‍රී ලාංකීය සිංහල සිනමා වංශ කතාව උඩු යටිකුරු කළ කලාත්මක සිනමා රූපයන්ගෙන් පොහොසත් නිර්මාණ රැසක් දායාද කළ අග්‍ර ගණයේ සිනමා වේදියෙක්, ලෙස මෙන්ම ඔහුට ම ආවේණික වූ රංගන පෞරුෂයකින් රඟපෑමේ නිරත වූ අසහාය ගණයේ රංගධරයකු ලෙස ඔහුව හඳුන්වා දිය හැක. ඔහු ධර්මසිරි බණ්ඩාරනායක නම් ජ්‍යෙෂ්ඨ කලාකරුවනන්ය.  අපි අද සුවිශේෂී කතා බහ ඔහු සමග ආරම්භ කළෙමු.

ආයුබෝවන්! ඔබට බොහොම ආදරණීය කතාබහක මේ ඇරයුම?

බොහොම ස්තූතියි ආරාධනයට. කාලයකින් මාධ්‍යයට කතා කිරීමට ලැබීම ගැන සතුටුයි .

මේ දිනවල මොනවද කෙරෙන වැඩ?

මොනවද කළ යුත්තේ කියලා හිතාගන්න බැරි, අඳුරෙන් අඳුරට යන වටපිටාවක ,පැහැදිලි අනාගතයක් නොපෙනෙන පසුබිමක, මම ඔබේ ප්‍රශ්නයට පිළිතුරු දිය යුත්තේ කොහොමද?

ඔබ කලකිරීමෙන් ද කතා කරන්නේ?

සැබෑවටම ඔව්.  මේ වගේ රටක කලාකරුවෙක් වීම ගැන දැඩි කලකිරීමකින් ඉන්නේ.

ඔබ දක්ෂ චිත්‍රපටි අධ්‍යක්ෂක වරයෙක්?

ඔව් .මාගේ සෑම චිත්‍රපටයක් ම  මම නිර්මාණය කළේ ප්‍රේක්ෂකාගාරය සතුටු කරන්න වත්, පිනවන්න වත් නෙවෙයි .මගේ ඒකායන පරමාර්ථය වුණේ සිනමා පටය නරඹන ප්‍රේක්ෂකාගාරය උගතුන් පිරිසක් කරන්න. මම ඒ දේ කළා .අදටත් ධර්මසිරි බණ්ඩාරනායක කියන චිත්‍රපට අධ්‍යක්ෂවරයා ගැන බොහෝ දෙනෙක් කතා කරන්නේ ඒ නිසයි .

ඔබ බොහෝ සම්මානයට පවා පාත්‍ර වුණු කෙනෙක්?

මගේ පළමු චිත්‍රපටයේ ඉඳලාම සම්මාන පිට සම්මාන ලබන්න තරම් මගේ නිර්මාණ අතිවිශිෂ්ට වුණා .හොඳම අධ්‍යක්ෂවරයා ලෙසට වගේම හොඳම චිත්‍රපටයට ලැබෙන සම්මාන බොහෝමයකුත්   මා ලැබුවා. ඊට අමතර ව  නළුවෙකු ලෙසින් රඟදැක්වූ සිනමා නිර්මාණ වලටත් මට බොහෝ සම්මාන ලැබී තිබෙනවා. අල්මාරි කිහිපයක් පිරෙන්න සම්මානත් තියෙනවා. නමුත් ලංකාව වැනි රටකට වටිනා මිනිස්සු නොවටිනා ගානට දමා තිබීම ගැටලුවක්.

පුංචි කාලෙ ඉඳලම ඔබ සිහින මැව්වා ද කලාවට සම්බන්ධ වෙන්න ඕනේ කියලා ?

කවදාවත් නැහැ... අනාගතයේ දී වෘත්තීය මට්ටමෙන් කවුරුන් විය යුතුද කියා කවදාවත් බලාපොරොත්තුවක් මගේ දෙමව්පියන් මට දීලා තිබුනේ  නැහැ .හැමදාම අම්මයි තාත්තයි මට කිව්වේ ” පුතේ උඹ කවද හරි  හොද මිනිහෙක් වෙයන් කියලා”

විතරයි. ඒ නිසා ලොකු ලොකු බලාපොරොත්තු ජීවිතේ තිබුණේම නැහැ. මගේ තාත්තා ඔරලෝසු කාර්මිකයෙක්. මමත් ඒ ශිල්පය එදා ඉගෙන ගත්තා. කලාවට සම්බන්ධ නොවුණා නම් සමහර වෙලාවට මමත් ඒ වෘත්තියෙ යෙදෙන්න තිබුණා .

කලාවට සම්බන්ධ වුන කාලේ ඔබ වඩාත් ජනප්‍රිය වන්නේ?

බක් මහ දීගේ”ප්‍රේමදාසගේ” චරිතයට එදා  ගොඩක් ප්‍රේක්ෂකයන් ආදරය කරන්න ගත්තා.ඊට පස්සේ ඉතින් මම කළ සෑම චිත්‍රපටියකට ම බොහෝ ආදරණීය ගෞරවයක් මට ප්‍රේක්ෂකාගාරයෙන් නිරතුරුවම ලැබුණා.

තරුණ කාලයේදී කඩවසම් රංගධරයකු ට ලැබෙන ප්‍රේක්ෂක ආදරයක් ඔබටත් නොඅඩුව ලැබෙන්න ඇති?

අපොයි ඔව්. විවාහ වෙලා දරුවන් දෙන්නෙක් ඉද්දිත් ආදරය ප්‍රකාශ කරලා ලියුම් බොහොමයක්  ලැබී තිබුනා. විවාහ යෝජනා පවා ආවා .ඇතැම් තරුණියන් මගේ රූපයට  කැමති වී තිබුණා .සමහර තරුණියන් මගේ කතාබහට කැමැත්තෙන් හිටියා. ඒ අය ඒ දේවල් ඒ විදිහටම ප්‍රකාශ කරල ලියුම් බොහොමයක් එවලා තිබුණා .ප්‍රේක්ෂකයන් ආදරය ප්‍රකාශ කරලා, අගය කිරීම් ප්‍රකාශ කරල එවපු ලියුං පත් වලින් ඉස්සර කබඩ් පිරිලා තිබුණා.

ආදරේ ගැන මොකද හිතෙන්නේ?

කවදාවත් හංගන්න බැරි, හදවතට සමීප වෙච්ච මහා උත්තරීතර හැඟීමක් තමයි ආදරය කියන්නේ. කෙනෙකුට ආදරය කරන්න වයස් බේදයක් නැහැ. කියලයි මට නම් හිතෙන්නේ .

දැන් ඔබේ වයස කීයද?

පසුගිය ඔක්තෝබර් 6 වැනිදා සැමරුවේ 75 වන  උපන් දිනය .

ජීවිතය ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම සතුටුයි. වෘත්තිය මට්ටමෙන් වගේම පෞද්ගලික ජීවිතයේදිත් මා පසු කළ කඩඉම් වල දී දුක සතුට ජය පරාජය අඩුවැඩි විදිහට  තිබුනා. සමහර තැන් වැරදුනා කියලත් හිතුණා. වරදක් උනාමයි අපිට බොහෝ විට ඒක වරදක් විදියට පේන්න ගන්නේ. ඒක මිනිස් ස්වභාවය .මිනිසුන් අතර ඉන්න තවත් එක්තරා මිනිසෙක් මමත්. වැරදි අතපසුවීම්  මා අතිනුත් වෙලා තියෙනවා .ඒ ගැන කලකිරීමක් ,කනගාටුවක් නැතුවාම නොවේ .

පිය සෙනෙහස ගැන මොකද හිතෙන්නේ?

මනුෂ්‍යයෙක් විදියට විඳින්න ලැබෙන උත්තරීතරම හැඟීමක්. පිය සෙනෙහස ගැන විස්තර කරන්න මේ ලෝකෙ වචන මදි කියලයි මට හිතෙන්නේ. සමහර වෙලාවට පිය සෙනෙහස කියන්නේ මොකක්ද කියන එක  බොහෝ දරුවන් ට  ඇත්තටම දැනෙන්න පටන් ගන්නේ පියවරුන් නැති වුණු දවසටයි ...

දක්ෂ කලාකරුවෙක් වීම ගැන ආඩම්බරයක් දැනිලා නැද්ද?

කවදාවත් නැහැ .දක්ෂතා වලින් ,දැන උගත්කම් වලින් ආඩම්බර වෙන ගතියක් කවදාවත් අපේ ලේ වල තිබුණෙ නැහැ. අදටත් එහෙම දෙයක් දැනෙන්නේ වත් නැහැ. නිහතමානි වීම තමයි ජීවිතේ අපි හැමදාම දැක්ක දේ . 

විලාසිතා කරන්න කැමතිද?

කවදාවත් මම  විලාසිතා  කරලා නැහැ .ඉස්සර කලාවට සම්බන්ධ වුණු මුල් කාලයේදී  බෙල් බොටම් ඇඳලා, කොණ්ඩ මෝස්තර කරන්න  එදා තරුණ රංගන ශිල්පින් උනන්දු වුණා .නමුත් කවදාවත් මම අනුකරණ වාදියෙක් වුණේ නැහැ. එන එන විලාසිතා කරන්න පුරුද්දක් තිබුණෙත් නැහැ.  අදටත් මම කලිසමයි කමිසෙයි අඳිනවා ඇරෙන්න  තමන්ගේ වටිනාකම් පෙන්නන්න ඇඳුම් අඳින්න ,විලාසිතා කියලා  කරන දේවල් ගැන  කොහෙත්ම දැනගෙන හිටියේ නැහැ .

විනෝදාංශ විදියට මොනවද කරන්නේ?

සිනමාව ,ටෙලි නාට්‍ය කලාව ගැන ලියැවුණු පොත්පත් කියවන්න මම අදටත් බොහොම ප්‍රියයි. දැන්  මම බොහොම වයසයි. නමුත් දැනුම සොයා යන  පොත්පත් කියවන එක නතර කරන්න කොහෙත්ම හිතලා නෑ .මම හිතෙනවා ඇස් දෙක පේන්නෙ නැති වෙනකම්ම මම පොත් කියවයි කියල .

ආදරෙන් එකතු කරපු දේවල් මොනවද තියෙන්නෙ?

කිසිම දෙයක් නැහැ.අඩුම තරමේ සල්ලි වත් මම  ආසාවෙන්  එකතු කරලා නැහැ.ඉස්සර පිටරටකට ගියත් ගොඩක් ආසාවෙන් හිටියේ ආයෙ ලංකාවට එන්නේ කොයි වෙලාවෙද කියන එක ...නමුත් දැන් නම් නිතරම හිතන්නේ ලංකාවෙන් කොයි වෙලාවේ ද යන්නෙ කියන එක .

ඔබ නියැළුණු වෘත්තියෙහි  ඔබ ප්‍රවීණයකු වුනේ කොහොමද?

තමා තෝරා ගන්නා කුමන හෝ වෘත්තියක  නිරත වන්න කුට හැදෑරීම ඉතාම වැදගත්. ආරම්භයේ දී නළුවෙකු ලෙස රඟපෑමට අවශ්‍ය ශිල්පීය ඥානය මම කිසිදු පැකිලීමක් නැතුව සොයා යනවා. පසුව සිනමා අධ්‍යක්ෂවරයෙක් විදියට අවතීර්ණ වීමත් සමග ඉතා වෙහෙසකර වූ හැදෑරීම්, සොයා යෑම්, අධ්‍යයනයන් බොහොමයක් එයට එකතු කරගන්නවා .....එයයි සාර්ථකත්වයක රහස.

ප්‍රේක්ෂකාගාරයෙන් ලැබෙන අගය කිරීම ගැන මොනවාද  දැනෙන්නේ ?

ජීවිත පරිත්‍යාගයෙන් ලබාගත් දෙයක් එය. අදටත්  දක්ෂ රංගධරයෙක්, දක්ෂ සිනමා වේදියෙක්, දක්ෂ සිනමා අධ්‍යක්ෂකවරයෙක් ලෙස ට මාව ගෞරවයෙන් ,ආදරයෙන් පිළිගන්න පිරිසක් ඉන්නවා.  සැබෑවට මේ ගැන ගෞරවනීය ආදරයක් හිතට දැනෙනවා ..එවැනි තත්ත්වයකට පත්වීමට භාග්‍යයක් තිබුණා කියලත් හිතට දැනෙනවා .

නිරෝගිකම  ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මොනවද කරන්නේ?

විශේෂයෙන්ම රංගධරයකු ට නිරෝගි කම කියන එක ගොඩක් වටිනවා, කායික නිරෝගී කම වගේම මානසික සෞඛ්‍යයත් ඉතා යහපත් මට්ටමෙන් තබා ගැනීම ඉතාම වැදගත් .නමුත් ලෙඩ වීම, වයසට යාම කියන පොදු ධර්මතාවයට මමත් අද මුහුණ දෙනවා. ඒ නිසා ඊට අවශ්‍ය විදිහට ඖෂධ ගන්න , කෑම පාලනය කරන්න  වගේ පුංචි පුංචි දේවල් ටිකක් මගේ අතිනුත් කෙරෙනවා ....ඒ හැරෙන්න ඉතින් හැමදාම ජීවත් වෙන්න ආවා කියලා හිතාගෙන  දවස ගානෙ ව්‍යායාම කරන, විටමින් පෙති ගිලින එවා  වගෙ දෙවල් නම් මගේ අතින් කෙරෙන්නේ නැහැ .

අනාගත බලාපොරොත්තුව මොකක්ද ?

අවුරුදු විස්සකින් විතර කලා නිර්මාණයක් කරල නැති මට කලාව ගැන නම් කිසිම  බලාපොරොත්තුවක් නැහැ. දුක්විඳින මිනිස්සු ආසයි ඒ දුකෙන් මිදෙන්න. මමත් හරිම ආසයි සතුටින් කවදා  හරි මියැදෙන්න. 

ඔබ වඩාත් සතුටු වන්නේ?

සීයා කෙනෙක් විදියට  අද මා ලබන ඒ  ආදරණීය අත්දැකීමට මම ගොඩක් සතුටුයි.

ඔබ වඩාත් සංවේදී වන්නේ?

හදවතේ තෙතමනයක් නැති ව ,මනුස්ස කමක් ගෑවිලාවත් නැති මිනිස්සු කරන වැඩ ගැන බොහෝ විට  සංවේදී වෙනවා . කලකිරිමට පත් වෙනවා .

අසුන්තා එදිරිසූරිය