මගේ බ්රියත් උපන්දින තෑග්ගක්

  • 22-10-2021
  • Views 284

මෙවර ‘‘සුභ උපන්දිනයක්’’ විශේෂාංගයෙන් සඳැල්ල හා එකතුවන්නේ ලංකාවෙ ජනප්‍රියම සංගීත කණ්ඩායමක් වූ ‘‘මේරියන්ස්’’ හි නියමුවා වූ ඒ ප්‍රතිභාපූර්ණ කලා තරුවයි. ලාංකික ගායන ක්ෂේත්‍රයට නවමු අනන්‍යතාවයක් එක් කළ ඒ ආදරණීය චරිතය නලීන් පෙරේරා. 

උපන්දිනයක් ලබනවා කිවවම ඔබේ හිතට දැනෙන්නෙ මොන වගේ හැඟීමක් ද? 

මගේ ජීවිතේ මෙතෙක් ලබපු හැම උපන්දිනයකම වගේ විශේෂත්වයක් තිබුණා. කොහොමත් මගේ බිරිඳ ඒ දවස උදාවෙන්නට පෙරම කල්යල් තියලාම යම්කිසි දෙයක් සූදානම් කරගෙන මාව පුදුමයට පත් කරනවා. ඇයව මට ජීවිතේට මුණගැහිලාත් දැන් අවුරුදු 33 ක්. මට අවුරුදු 19 දී තමයි ඇයව මුණ ගැහෙන්නෙ. ඒ මුණ ගැහෙන්නෙත් මගේ උපන් දිනය දවසකම තමයි. ඉතින් ඒකත් ජීවිතේ විශේෂ හමුවීමක්. ඊට පෙර සිටත් උපන් දිනය කියන දේ පුංචි කාලෙ ඉඳන් අපේ ගෙවල්වල පුංචියට හෝ සැමරිමක් සිදුවුණා. මොකද අපි පුංචි කාලෙ ඉඳන් ජීවත් වුණේ හලාවත ප්‍රදේශයේ. ඒ පැත්තෙ ඉන්නෙ විනෝදයෙන් ජීවත්වෙන මිනිස්සුනෙ. ඉතින් අපේ පවුල් පසුබිමත් ඒ විනෝදකාමී ජීවිතය හොඳින්ම භුක්ති වින්ඳ පිරිසක්. ඉතින් එක එක කාලවල දී ජීවිතේ අතරින් පතර විශේෂ දවස් එනවනෙ. උපන් දින, විවාහ සංවත්සර, නත්තල්, අවුරුදු. වෙසක්, පොසොන් වගේ උත්සව සිරියන්. ඉතින් ඒ දවස් ඇත්තටම අපිට උදාවෙන්නෙ එකාකාරී ජීවිතයෙන් මිදෙන්න. මම නම් ඒ විශේෂ දවස්වලට ගොඩක් ආසයි. උපන් දිනය ඇතුළු ඒ හැම දවසක්ම මම බොහොම සුභදායී විදියට තමයි ගන්නෙ. 

ඔබ පුංචි කාලෙ ඉඳලම උපන්දින සාද සැමරීම සිදුවුණා කිව්වනෙ? ඒ අතරින් මතකයේ රැඳෙනම දවස් තියෙනවද?

ඔව්. ඇත්තටම මගේ ජීවිතේ අමතක නොවනම උපන්දින සැමරීම් දෙකක් තියෙනවා. ඒ මගේ 19 වැනි උපන් දිනයත්, 50 වැනි උපන් දිනයත්. මම පාසල් ගිහින් අවසානයේ තමයි මගේ සංගීත කණ්ඩායම ආරම්භ කළේ. ඒ 1988 අවුරුද්දෙ. මම A/L කරපු අවුරුද්ද. ඒ දවස්වල තදින් JVP කලබල තිබුණ කාලවකවානුවක්. පාසල්වල නිවාඩුත් දීලා තිබුණෙ. ඉතින් ඒ අවුරුද්දෙ 1988 ඔක්තෝබර් 15 වැනිදාට අපි සාදයක් පවත්වන්න තීරණය කරලා තිබුණා. ඉතින් දැන් මගේ බිරිඳ එකල පෙම්වතිය. ඒ සාදයට සහභාගි වෙලා තිබුණා. ඒ අපේ මාමාගේ දැන හැඳිනීමක් එක්ක. ඇයගේ පවුලේ අයත් එක්ක මගේ මාමාගේ ලොකු හිතවත්කමක් තිබුණා. ඒ නිසාම ඇයගෙ පවුලෙ අයටත් මේ වෙනුවෙන් ආරාධනා කරලා තිබුණෙ. ඉතින් එදා තමයි ඇයව මට මුලින්ම ඇහැට ගැටුණෙ. එතැන් පටන් තමයි ඒ ආදර කතන්දරේ ආරම්භ කරන්නෙ. ඉතින් මට ඒ 19 අවුරුද්ද ලැබීම ලොකුම විශේෂයක් වුණා. එතැනින් පසුව ඒ හැම උපන් දිනයක්ම සැමරුණා. මඟ ඇරුණෙම නැහැ. ඒ උපන්දින සැමරීමත් එක්ක මගේ ජීවිතේ මතකයෙ රැඳෙනම උපන් දිනයක් වුණේ මගේ 50 වැනි උපන් දිනය. ඒ උපන් දිනය ලබද්දී මම ඇත්තටම බිරිඳට කියලාත් තිබුණා ඒ දවසට කිසිම සැමරුමක් සිද්ධ වෙන්නෙ නැහැ කියලා. ඇයත් ඒ ගැන වැඩි තැකීමක් කළෙත් නැහැ. මට ඒ දවසට කරන්න ඕනැ වුණේ සාදයකට වඩා ලොකු පුණ්‍යකර්මයක්. ඒ දවසෙ උදෙන්ම පල්ලියේ පූජාවක් තිබිලා මම ඒ වෙනුවෙන් සම්බන්ධ වුණා මුලින්ම. ඉන්පසුව මම කාලයක් තිස්සෙ කරන්න බලාපොරොත්තු වුණු මගේ පුණ්‍ය කටයුත්ත සිදු කළා. ඒ තමයි අවුරුදු 50 ලබද්දී මට ඕනැ වුණා වහළක් නැති පවුලකට ගෙයක් හදලා දෙන්න. මම ඒ දේ වෙනුවෙන් කාලයක්ම සල්ලි එකතු කළා. ඉතින් ඒ කටයුත්ත කරලා අවසානයේ මම ගියේ ස්ටුඩියෝ එකට. ඒ අපේ කණ්ඩායමේ පුහුණුවීම්වලට, මොකද එදා දවසෙත් අපි පුහුණුවීම් යොදාගෙන තිබුණා. එදා ඉතින් මට හිතට දැනෙන අවශ්‍යම දේ කළ නිසා සාද පවත්වන අදහසක් තිබුණෙම නැහැ. අපි සාමාන්‍ය විදියට පුහුණුවීම් කරගෙන ගියා. අපි පුහුණුවීම් පටන් ගත්තම සාමාන්‍යයෙන් හවස පහ, හය වගේ වනතුරු පුහුණුවීම්වල යෙදෙනවා. නමුත් එදා අපේ සංගීත කණ්ඩායමේ ‘‘රෝසා’’ එක පාරටම කිව්වා ඔහුගේ දියණියගෙ වැඩ කටයුත්තකට ටිකක් කලින් යන්න ඕනා. ඒ නිසා පුහුණුවීම් ටිකක් කලින් අවසන් කරමු කියලා. මමත් ඉතින් දියණියගේ වැඩක් කියපු නිසා ඉක්මණින් එදා වැඩ හවස තුන, හතර වගේ වෙද්දි අවසන් කළා. ඉතින් ඒ මොහොතේ මගේ දුව කතා කරලා කිව්වා තාත්තෙ අද අපි හතර දෙනා එළියට ගිහින් කෑම කමු තාත්තාගේ උපන් දිනෙත් තියෙනවනෙ කියලා. සාමාන්‍යයෙන් ඒ දවසට අපි සමහර වෙලාවට පවුලෙ අයත් එක්ක එළියට ගිහින් කෑම ගන්නවා. එදත් ඉතින් දුවගෙ කැමැත්තට ඉඩ දීලා ගෙදර ගියා. ඒ මොහොතෙ දුව කිව්වා අපි හතර දෙනගේ ෆොටෝ ෂූට් එකකුත් කරමු කියලා. ඉතින් මමත් එයාගේ කැමැත්තට ඉඩ දීලා ෆොටෝ ෂූට් එක ගැන කතා කරද්දි කොහෙද කරන්නෙ කියලා. ‘‘අවෙන්රා ගාර්ඩ්න් හොටෙල්’’ එකේ කරමු කියලායි කතා වුණේ. එහි අයිතිකරු ධනෙෂ් මගේ හොඳම මිතුරෙක්. මම ඔහුට කතා කරලා කිව්වා ෆොටෝ ෂූට් එකක් කරගන්න ඕනෑ ඒ වෙනුවෙන් ෆ්‍රී හෝල් එකක් ගන්න පුළුවන් ද කියලා. ඔහු මට කිව්වෙ රෑ අටට, නමයට වගේ සාදයක් නම් තියෙනවා. නමුත් ඊට කලින් ආවොත් ෆොටෝ ෂූට් එක කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් බිරිඳත්. මමත්, දරුවො දෙන්නත් ඒ තැනට යන්න සූදානම් වුණා. බිරිඳ මට ඒ මොහොතෙ අලුත්ම ලස්සන ෂර්ට් එකකුත් දීලා මාව ලස්සනට අන්ඳගෙන ඒ තැනට ගියා. ඉතින් ඒ තැනට ගියාට පසුව එතැන ඉන්න කෙනෙක් අපිව උත්සව ශාලාව තියෙන තැනට අරගෙන ගියා. ඒ ගියේ ෆොටෝ අරගන්න. ඉතින් ශාලාවෙ දොර ඇරගෙන යද්දි දෙවියනේ මට පපුවෙ අමාරුව හැදුණෙ නැති ටික විතරයි. මොකද ඒ ශාලාව ඇතුලෙ මගෙ නෑදැයො. යාළුවො, සහෝදර සහෝදරියො, අම්මා, තාත්තා ඔක්කොම. ඉතින් ඒ දේ දැක්කම මට වාවගන්න බැරි වුණා. ඇත්තටම මට ඇඬුණා. ජපන්වල ඉන්නව මගේ හොඳම මිතුරෙක් රොෂාන් කියලා. ඔහු මගේ උපන් දිනයට දවස් දෙක තුනකට කලින් ජපන්වලදී කතා කළා. ඉතින් ඒ මොහොතෙ දී ඔහු කිව්වෙ මේ උපන් දිනයට සම්බන්ධ වෙන්න තියෙනවා නම් කොච්චර හොඳද කියලා. ඉතින් එදා බලද්දි ඔහුත්, බිරිඳත් එතැන. ඒ වගේම මේ මොහොතේ විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනැ ආදරණීය සුනිල් පෙරේරා අයියා. ඔහුත් එදා මේ වෙනුවෙන් සම්බන්ධ වෙලා උපරිම සතුටක් වින්ඳා. ඒ වගේම මගේ සංගීත කණ්ඩායමේ පිරිසත්, මගේ දුව, පුතා මේ හැමෝම එකතුව ගීතයක් පවා නිර්මාණය කරලා තිබුණා. ඇත්තටම මගේ පපුවට දරාගන්න බැරි දේවල් ඒ දවසෙ සිදුවුණේ. 

මගේ යාළුවො බොහෝ දෙනෙක්ගේ සුභ පැතුම් අරගෙන ලස්සන වීඩියෝවක් පවා සකස් කරලා තිබුණා. ඉතින් එදා දවසෙ අපි ඔක්කොම එකතුවෙලා කාලා, බීලා, සින්දු කියලා, නටලා අප්‍රමාණ සතුටක් වින්ඳා. මගේ බිරිඳ ඇතුළු මගේ ආදරණීයයන් තමයි මේ දේ කරලා තිබුණෙ. ඉතින් මම මගේ 50 වැනි උපන් දිනය ආරම්භ කළෙත් ලොකු සතුටකින් පුණ්‍යකර්මයකින්. ඒ සතුට දෙගුණ, තෙගුණ වුණා හවස වුණු සිදුවීමත් එක්ක. 

ඒ දවසට ඔබට ආදරය කරන පිරිසගෙන් ලැබෙන සුබ පැතුම් කොහොම ද? 

පුංචි කාලෙ ඉඳන් දුවයි, පුතයි ඒ දෙන්නාගෙ අතින්ම සුබ පැතුම් පත් ලස්සනට නිර්මාණය කරලා දුන්නා. එයාලගේ ඒ නිර්මාණ එක්ක හිතට දැනෙන දේ හරි ලස්සනට අකුරු කරලා තිබුණා. ඉතින් ඒ දේවල් දරුවන්ට පුංචි කාලෙ ඉඳන්ම ඉගැන්නුවෙ බිරිඳ තමයි. ඇයට ඒ පිළිබඳ මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෑ. මොකද යහපත් ගතිගුණ හොඳ පුරුදු ලස්සනට කියලා දීලා තියෙනවා. ඒ දේ මම උපන් දිනය දවසේ මුලින්ම අගය කරන දෙයක් අද දක්වාම. 
ඒ සුබපැතුම්වලින් දවස ආරම්භ කළාම ඔක්තෝබර් 15 කියන දවසෙ මගේ ජංගම දුරකථනයට නිවනක් නැති තරම් මොකද දුරකතන ඇමතුම්, කෙටි පණිවිඩ හතර අතින්ම ගලාගෙන එනවා. ඊට අමතරව සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සුභපැතුම් එකතු වෙනවා. ඒ ප්‍රතිචාරවලට මම හරිම කැමතියි. ඒ ආදරය, ආශිර්වාදය ලොකු ශක්තියක්, ඉස්සර තාක්ෂණය එතරම් දියුණු නැති කාලෙදී උපන් දිනය දවසට හෝ පෙර පසුත් ලියුම් ගණුදෙනු තියෙන කාලෙ ආදරණීය රසික රසිකාවියන්ගෙන් දවසට ලියුම් 100, 200 වගේ එන තත්ත්වයක් තිබුණේ. ඒ හරිම සුන්දුර දෙයක්. මොකද ඒවා ඇහැට දැකලා කියවද්දී ඒ ලැබෙන ආශ්වාදය හරිම වෙනස්. ඒ වගේම එදත් අදත් ලැබෙන තෑගි, නිර්මාණ, මල් පොකුරු, කේක් වලින් එහෙම අඩුවක් නැහැ. ඒ පිළිබඳව ඇත්තටම අහිංසක සතුටක් තියෙනවා. 

නලින් පෙරේරා කියන්නෙ රූපයෙන්‍් වයසට නොයන කෙනෙක් වගේ. ඔබට අවුරුදු 50 ඉක්මවා ගිහින් කියලා නම් පේන්නෙත් නැති තරම්. නමුත් දවසින් දවස වයසට යාම නවත්වන්න බැහැනෙ? ඒක කාටත් පොදුයි ඒ වයස ගතවීම ගැන ඔබට දුකක් නැද්ද?

ඇත්තටම වයසට යනවා කියන දේටනම් මට දුකක් කොහෙත්ම දැනෙන්නෙ නැහැ. මොකද මේ ලබපු ගෙවී ගිය හැම වයසකම ලස්සන මතකයන් තමයි තියෙන්නෙ. ඒ ගෙවෙන හැම කාල පරිච්ඡේදයක්ම ඉතා හොඳින් ගත කරන්න තමයි මම බලාපොරොත්තු වෙන්නෙ. ජීවිතේට මොන ප්‍රශ්න ආවත් ඒවා හිතට අරගෙන ජීවත් වෙන්නෙ නැහැ. හැම තිස්සෙම ප්‍රශ්න අතේ දුරින් තියාගෙන ඒවා විසඳගන්න තමයි උත්සාහ කරන්නෙ. අවුරුද්දෙන් අවුරුද්ද අපි දුක, සැප එක්ක යන ගමනෙදී ජීවිතේ පරිණත වීමක්නෙ සිදුවෙන්නෙ. ඒ පරිණත බව හොඳ ආභරණයක් විදියට ජීවිතේට ගන්නෙ. ඒ ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දෙ මට හොඳ යහපත් දේවල් කරන්න පුළුවන්, කියන දේ. ඒ වගේම මම මතක ඇති කාලෙම ජීවිතේ මම ගෙදර අයට පොරොන්දු කරගෙන තියෙනවා මගේ ජීවිතේ මම වැරදි වැඩ කරන්නෙ, බොරු කරන්නෙ, කිසි දෙයක් නැහැ. පළමුව බිරිඳට, දරුවන්ට දුකක්, සාංකාවක් නොදී ඒ අයව සතුටින් තියන එක. ඒ වගේම මගේ අම්මා, තාත්තා, සහෝදර සහෝදරියන් වගේම මේරියන්ස් සංගීත කණ්ඩායමේ මගේ පිරිස. මේ අයනෙ මගේ ළඟම හිතවත්තු. ඉතින් මම හැම තිස්සෙම විශ්වාස කරන දෙයක් තමයි මම සාර්ථක වෙනවා කියන්නෙ මට තියෙන මිල මුදලින්වත්, යාන වාහන, ගෙවල් දොරවල්වලින්වත් සතුටු වෙනවා නෙමෙයි. මගේ මේ වටපිටාවෙ ඉන්න පිරිසට යහපත් දෙයක් කරලා ඒ අය සතුටින් තියනව නම් මම සාර්ථක මිනිහෙක් කියන දේ. ඉතින් මේ දේවල් එක්ක මම සාර්ථක මිනිහෙක් වෙන්න තමයි උත්සාහ කරන්නෙ. මම කොයි විදියකට වයසට ගියත් ඒ සිතිවිලි එක්ක ඉන්නෙ.  

ඔබේ පුංචිම කාලෙ ගැන පොඩි විස්තරයක් කියමුකො? 

මගේ උපත සිදුවෙන්නෙ හලාවත. පවුලෙ වැඩිමල් දරුවා විදියට තමයි ගෙදරට මුලින්ම එකතු වෙන්නෙ. මගෙන් පසුව එක නංගි කෙනෙකුයි මල්ලිලා තුන්දෙනෙකුයි තමයි සම්බන්ධ වෙන්නෙ. ඉතින් අද වෙද්දී නම් මල්ලිලා දෙන්නෙක් විදෙස්ගත වෙලා ඉන්නෙ. අනිත් නංගියි, මල්ලියි දෙන්නා මීගමුවෙ ජීවත් වෙනවා. මමත් දැන් අවුරුදු 14 ක් වගේ ඉඳන් මීගමුවේ තමයි පදිංචි වෙලා ඉන්නෙ. අම්මා, තාත්තා දෙන්නත් ඉතා හොඳ ශරීර සුවයෙන් ඉන්නවා. ඉතින් අපි හැමෝගෙම පූර්ණ වගකීම ඒ දෙන්නාව ආදරෙන් බලාගැනීම තමයි. තාත්තාට මේ වෙද්දි අවුරුදු 84 යි. අම්මාට 75 ක් වෙනවා. ඉතින් ඒ දෙන්නා අපි පුංචි කාලෙ අපි වෙනුවෙන් කාපු කට්ට අපිට හොඳට මතකයි. ඒ නිසා අපෙත් දැන් ජීවිතේ එකම සතුට තියෙන්නෙ අපිට පුළුවන් කාලෙ උපරිම සතුටක් දීලා සුරැකිව බලාගැනීම තමයි. 

ධනු විජේරත්න