මට කියලා කෙනෙක් ලෝකෙ කොහේ හරි ඇති



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පුංචි තිරය මෙන්ම රිදී තිරය තුළ විවිධ වූ චරිත තුළින් හමුවන  පියුමි බොතේජු කියන්නේ වේදිකාවට මෙන්ම ප්‍රහසන මුසු අංග සඳහා නැතුවම බැරි  චරිතයක්. එකිනෙකට වෙනස් චරිත තුළින් ඕනෑම චරිතයකට හරි අපූරුවට පණ දෙමින් ටෙලි කලාව තුළ  තමන්ට ආවේණික වූ රංගන කෞෂල්‍යයක් ගොඩ නගා ගනිමින් වැඩි වශයෙන් ප්‍රහසන චරිත තුළින් ප්‍රේක්ෂකාරයේ මුණ ගැහෙන  ඇය "කියා දෙන්න ආදරේ තරම්" ටෙලි නාට්‍යයේ සීසර් වසන්තගේ බිරිඳ වින්ද්‍යා ගේ චරිතය හරහා උපයා ගත් ප්‍රේක්ෂක ආදරය අතිමහත්ය. චණ්ඩි වින්ද්‍යාට සහ අකුරට යන වෙලාවේ ලලිතාට ලැබෙන ආදරය ,ප්‍රතිචාර එක්ක ජීවිතේ දුක සතුට බෙදා හදාගන්න ඇය වෙනුවෙන් ඉඩකඩ වෙන් වුණේ මේ විදිහට.      

මේ දවස් වල මොකද වෙන්නේ?

මේ දවස් වල නත්තල නිසා වැඩසටහන්  වලට ටිකක් වැඩිපුර ආරාධනා ලැබිලා තියෙනවා. ඊට අමතරව සුපුරැදු පරිදි කරගෙන ආපු ටෙලි නාට්‍ය දෙකේ වැඩ කරගෙන යනවා. මේ දිනවල මම දායක වන වින්ද්‍යා  සීරියස් චරිතයක්  සහ ලලිතා කියන්නේ ප්‍රහසන චරිතයක්.  මට ලැබෙන ප්‍රතිචාර වලින් ඒ දෙකේදිම මම සාර්ථකයි කියලා හිතෙනවා.  ඇත්තටම ඒ දක්ෂතාවය මට දෙවියෝ දීපු දෙයක්. 
ඊට අමතරව බුද්ධිනි ජයවර්ධනගේ කවිතා ඉදිරියේදී එන්න තියෙනවා.  ඒ වගේම මම දැන් වසර 12 ඉදලා ප්‍රහසන මුසු අංග සඳහා ප්‍රියන්ත අයියා සහ ගිරිරාජ් අයියා එක්ක සම්බන්ධ වෙලා වැඩ කරනවා ඒවත් සුපුරුදු විදිහට කරගෙන යනවා. සිනමාව පැත්තෙන් කතුරු මිතුරු චිත්‍රපටයට දායක වෙන්නත් අවස්ථාව ලැබුණා. 

ප්‍රහසන චරිත වලින්ම දැකපු පියුමිව හාත්පසින්ම වෙනස් විදිහට දකින්න ලැබෙන චරිතයක් තමයි වින්ද්‍යා. ඒ වෙනස ඔබට දැණුනේ කොහොමද?

සීරියස් චරිත කරන අය ප්‍රහසන චරිත කරන්න ගිහින් ෆේල් වෙන අවස්ථා තියෙනවා. ප්‍රහසන කරන අය සීරියස් චරිත කරන්න ගිහින් ෆේල් වෙන අවස්ථා තියෙනවා. මුලදි මාවත් ප්‍රහසන චරිත වලටම කොටුවෙලා වගේ එකක් දැණුනා. ඒ නිසා වෙනස් චරිත වලට මගේ නම යෝජනා වුණේම නැහැ.  

හැබැයි මහේෂ් සත්සර මද්දුමආරච්චි අයියා පබා ටෙලි නාට්‍යයේ ඉඳලාම මට වෙනස් වෙනස් අභියෝග දුන්නා.  ඔහු හැමදාම මට චරිතයක් දීලා බැලුවා ඒ තුළ කොයිතරම් දුරට මම සාර්ථක වෙනවද කියලා. මුලින්ම පබා ටෙලි නාට්‍යයට කතා කරද්දිත් මට කිව්වේ සීන් 14 යි තියෙන්නේ කියලා. නමුත් චරිතය මම හොඳට කරපු නිසා කතාව අවසාන වෙනතෙක්ම මගේ චරිතය ගෙනිච්චා. ඒ වගේම මශේෂ් අයියා මගේ අතට දෙන හැම තුවක්කුවකින්ම  සාර්ථකව ඉලක්කයට වෙඩි තිවීමේ ආත්ම විශ්වාසය මට තිබුණා. ඒ හැම එකක්ම සාර්ථක වුණා. ඔහොම චරිත ගණාවකට පස්සේ මහේෂ් අයියා දවසක් මගෙන් ඇහුවා සීසර් වසන්තගේ වයිෆ්ගේ චරිතයක් තියෙනවා නංගි කරමුද කියලා.මම ඉතින් චරිතය ගැන  හාර හාර ඇහුවා. “මොන චණ්ඩියා වුණත් ගැණිට බයයිනේ...වින්ද්‍යාත් ඒ වගේ චරිතයක් කියලා කිව්වා.  වින්ද්‍යා කියන්නෙත් මහේෂ් අයියා මගේ අතට දුන්න වෙපන් එකෙන්  ඉලක්කයට වෙඩි තියපු සාර්ථක චරිතයක්. 

කොහොම වුනත් වින්ද්‍යා කරලියට එන්නේ සීසර් වසන්තගේ මරණයත් එක්ක ? 

ඔව් වින්ද්‍යාගේ වපසරිය වැඩිවෙන්නේ සීසර් වසන්තගේ මරණයත් එක්ක.මහේෂ් අයියා සමහර වෙලාවට අපිව දැනුවත් කරනවා මේවගේ දේවල් ටිකක් ඉදිරියේදි වෙනවා කියලා. ඒත් සීසර් වසන්තගේ මරණයක් ගැන ලොකුවට අපට කියලා තිබුණේ නැහැ. දවසක් මම මහේෂ් අයියාගෙන් ඇහුවාම සීසර් වසන්ත මැරෙන එක ගැන ඔහු කිව්වේ මීට කලින් තමයි සීසර් වසන්ත නැති වෙන්නේ ඒත් ඒ චරිතයට තියෙන ඉල්ලුමත් එක්ක හිතුවට වඩා කාලයක් තියාගන්න වුණා කියලා මට කිව්වා. ඒ මරණය ඒ සිදුවීම් ටිකට මට ඇත්තටම මුහුණ දෙන්න වුණේ නොසිතපු වෙලාවක. සීසර් වසන්ත මැරෙන සීන් එකට යන්න වාහනයට නැග්ග වෙලාවේ ඉඳලා මම මතක් කරගත්තේ මගේ තාත්තාව. තාත්තාගේ හුස්ම යද්දිත් මම තාත්තා එක්ක ලගින්ම හිටියා.  ඒ වගේ සීසර් වසන්ත නැති වුණ මොහොතට මම මතක් කරගත්තේ  මගේ  තාත්තා නැතිවුණ මොහොත. මම කවදාවත් අඩන්න ග්ලිසරින් පාවිච්චි කරන කෙනෙක් නෙමෙයි. මාත් එක්ක වැඩ කරන අය ඒ ගැන සාක්ෂි දරනවා.  

ලලිතා කියන්නේ වින්ද්‍යාට වඩා හාත්පසින්ම වෙනස්ම චරිතයක්? 

අකුරට යන වෙලාවේ ටෙලි නාට්‍යයේ ලලිතා ගේ චරිතයට මට කතා කරන්නේ සුදත් දේවප්‍රිය මහත්මයා . ලලිතා කියන්නේ ඉංග්‍රිසි ගුරුවරියක්. ලලිතාගේ චරිතයට නිදහසේ ගොඩනගන්න සුදත් අයියා මට අවස්ථාව දුන්නා. ලලිතාට පොඩි දරුවන්ගෙන් විතරක් නෙමෙයි ආච්චිලා සීයලා අතර පවා හොඳ ප්‍රතිචාරයක් ලැබෙනවා. ලලිතාගේ තියෙන කෝලම් වලට ගොඩක් අය කැමතියි. පොඩි දරුවෝ මට කතා කරන්නේ අපේ ඉංග්‍රිසි ටීචර් කියලා. 

ඇත්තටම කලාකරුවකුට ප්‍රේක්ෂක ආදරය තරම් වටින තවත් දෙයක් නැහැ. වින්ද්‍යාගේ චරිතය ගැන ලලිතාගේ චරිතය ගැන මට මුණ ගැහෙන ප්‍රෙක්ෂකයෝ ඇවිත් කතා කරනකොට මට ගොඩක් සතුටුයි. . එවන් ප්‍රේක්ෂක ආදරයක් ලබන්න මාරම පිනක් කරලා තියෙන්න ඕන. 

ජීවිතේ ලැබුණු ඇගයීම් මොනවද?

ඇත්තටම මම වාසනාවන්ත නිළියක්.මට ලැබුණ ලොකුම ඇගයීම තමයි ප්‍රේක්ෂක ආදරය. ඒ ආදරය මම හැම තැනකදිම උපරිමයෙන්ම ලබනවා. ජනයාට ප්‍රිය වෙන එක ලේසි දෙයක් නෙමෙයි . මැරෙන තාක් ඒ ආදරය නැති වෙන්න එපා කියන එක විතරයි මගේ ප්‍රාර්ථනය.

ජීවිතේ හරුවුම් ලක්ෂ්‍යය මොකක්ද ? 

හොඳ හෝ නරක.

මගේ ජීවිතේ පළමු හැරවුම් ලක්ෂ්‍යය වෙන්නේ එක්තරා නාළිකාවකින් මම ලංකාවෙන්ම අවුරුදු කුමාරි වෙන එක. මගේ තුන් හිතකවත් තිබුණ දෙයක් නෙමෙයි රංගනයට එන එක. මගේ එකම ආසාව වුණේ ගුවන් සේවිකාවක් වෙන එක. ඒත් ඒ හැම දේම වෙනස් වෙනවා අවුරුදු කුමරිය වීමත් එක්ක එහි ත්‍යාගය විදිහට මට ලැබෙන්නේ නිවේදනයට අවස්ථාවක්. එතනින් තමයි මම රඟපෑමට එන්නේ. ඊට පස්සේ මගේ ජීවිතේ වෙනස් වෙන්නේ පබා නාට්‍යයෙන්.  

අනිත් පැත්ත ගත්තොත් මම ජීවිතේ වැටෙන පරක්කුවට නැගිටින කෙනෙක්. හැබැයි තාත්ති නැති වීම මගේ ජීවිතේ ලොකු කඩාවැටීමක් වුණා. එයා තමයි මගේ ජීවිතේ හිටපු හයිය. තාත්තාගේ නැති වීම නිසා මම කොයි තරම් කඩා වැටුනද කියනවනම් මට මගේ ජීවිතේ ආයේ නැති වෙන්න දෙයක් නැහැ. අනිත් එක මම කෙලින් කතා කරන හිතේ කුණු පුරවගෙන ඉන්න කෙනෙක් නෙමෙයි.  මගේ ජීවිතේ වැරදුන එකම තැන විවාහය. හැබැයි මම ගිනිපෙනෙල්ලෙන් බැට කාපු නිසා කණාමැදිරි එළියටත් දැන් හරි බයයි. ඒත් බැඳීම් නැතුව ජිවත් වෙන්න අමාරුයි . ඒත් පාළුව තනිකම කියන එක මට අනන්ත අප්‍රමාණව දැනිලා තියෙනවා. ඉස්සර මම ෂූටිං ඉවර වෙලා ඉද්දි මම එනකම් තාත්තා බලාගෙන ඉන්නවා. කතා කරන්න දුක කියන්න හිනාවෙන්න මට එයා හිටියා. අද එයත් නැහැ. ජීවිතේට බැඳිමක් තියෙන්න ඕන. පැළයකට පෝර විතරක් නෙමෙයි. අනිවාර් යෙන් වතුරත් ඕන. 

නැවතත් විශ්වාසයෙන් දැනෙන තැනක් ලැබුනොත්     

අම්මා නම් දැන් මට විවාහ යෝජනා ගේනවා. මටත් ලෝකේ කොහේ හරි ලියවුන කෙනෙක් ඇති කියලා  හිතනවා. අම්මා  මම  තනියෙන් ඉන්න එක ගැන හරියට වද වෙනවා.  

අද ජීවිතේ සතුටින්ද?

මාව රැජිනක් කරන්න කියලා හිතපු එකම පිරිමියා තමයි මගේ තාත්තා. එයා මාව රැජිනක් කළා.  හැල හැප්පීම් ගොඩක් තිබුණා මගේ ජීවිතේ.  පුංචි කාලේ ඉඳලා අපි හිටියේ කුලී ගෙවල් වල .මට තිබුන ලොකුම හීනය තමයි මගේම කියලා ගෙයක් හදන එක. ඒ හීනය මම සැබෑ කරගත්තා. අපේ තාත්තාට වාහනයක් තිබුනේ නැහැ තිබුනේ බයිසිකලයක්. ඊලග හීනය වුණේ වාහනයක් ගන්න එක. ඒ හීනයත් මම සැබැ කරගත්තා. දෙවියෝ හැමදේම අංග සම්පූර්ණ කරලා අපට දෙන්නේ නැහැ. තනිකම ඇරෙන්න අනිත් හැම පැත්තකින්ම මම ජිවිතේ දිනපු ගැහැණියක්. 
ඒ වගේම මගේ තාත්තාට ජීවත්ව ඉන්න කාලේ ලොකු ආසාවක් තිබුණා කඨින පිංකමක් කරන්න. ඒත් ඒකට අවස්ථාව ලැබුණේ නැහැ. තාත්තා ඊට කලින් අපිව දාලා ගියා. තාත්තා නැති වෙලා අවුරුද්දක් වෙන මොහොතේ මම එයා වෙනුවෙන් ගමේ පන්සලේ මෛත්‍රි බෝසතාණන්ගේ පිළිමයක් ස්ථාපනය කරලා කඨින පිංකම සිදු කළා. මම ජීවත්ව ඉන්නකාලෙත් උපරිමයෙන් ආදරයෙන් රැකබලා ගත්තා. දැන් අම්මායි මායි විතරයි ඉන්නේ අම්මාවත් මම ඒ වගේම බලාගන්නවා.මම ණය නැති දුවෙක් කියලා අවංකව සතුටු වෙන්න පුළුවන් දේවල් මම එයාලා දෙන්නාට කරලා තියෙනවා. 

නදීශා අතුකෝරළ

ඡායාරූප - NeXus Photography