මූ දෙයක් කරන්න උත්සාහ කරනවා ඇති කියලා එයාල හිතන්න ඇති



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මෙරට රියැලිටි වේදිකාව බිහිකළ අගනා මිණි කැටයක් ලෙස රවීන් කණිෂ්ක නම් කළ හැකියි. මිහිරි ගැයුමෙන් අද කාගේත් ආදරය දිනාගත් තරුවක් වී සිටින, රවීන්ගේ රැඟුම ගැන බොහෝ දෙනා කතා කිරීමට පටන් ගත්තේ දෙවැනි ඉනිම ටෙලි මාලාව ඔස්සේය. මේ වන විට තාරුණ්‍යයේ ඒ දක්‍ෂයා සිනමාව ද ආක්‍රමණය කර හමාරය. සිනමා රංගනයට ඔහු මොන තරම් නම් දක්‍ෂ ද යන්න, වග මැන ගැනීමට මේ දිනවල තිරගත කෙරෙන මහාචාර්ය සුනිල් ආරියරත්නයන් නිර්මාණය කළ ‘ක්ෂීර සාගරය කැළඹිණ’ සිනමා පටය නැරඹිය යුතු යැයි මම සඳහන් කරමි. 

රවින්, අපි මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ නවතම සිනමා කෘතිය ගැන කතා කරමු? මේ ඔබගේ ප්‍රථම සිනමා රංගනය ද?

මගේ සිනමා රංගනයේ ප්‍රථම සිනමා රංගනය. 

හැබැයි, ඒ ලැබුණු අවස්ථාව ඔබ හරි අපූරුවට ඉදිරිපත් කර තිබෙන බව තමයි විචාරකයන් කියන්නේ. ඔබ ක්‍ෂීර සාගරය කළඹලා?

අනේ මම මගේ පළමු අත්දැකීම් බොහෝ දෙනාගේ උදවු ඇතිව උපරිමයෙන් ඉදිරිපත් කරන්න උත්සාහ ගත්තා. මහාචාර්ය සුනිල් ආරියරත්න සර් සහ මහා රංගවේදී ජැක්සන් ඇන්තනි මහතාගේ ගුරුහරුකම් උදව් පදව් සහ ඒ කණ්ඩායමේ සියලු දෙනාගේ සහයෝගය ඇතිව ඒ චරිතය ඉදිරිපත් කළේ. ඉතින් මේ ෆිල්ම් එක නරඹන්න කියලා මම බොහෝම ගෞරවයෙන් හැමෝටම ආරාධනා කරනවා. මගේ චරිතයේ අඩු පාඩු ගැන අවංක විචාරයක් දෙනවා නම් මම හරිම ආසයි. 

මෙම ෆිල්ම් එකේ, අධිරාජ්‍යයාට ඉන්නේ ජැක්සන් ඇන්තනි, ඔබ හිරිමලා නම් වූ කොලු ගැටයෙක්. වතාවක මේ අධිරාජ්‍යයාට ඔබට උඹ කියලා කතා කරන්න වෙනවා. ජැක්සන් ඇන්තනි මහා රංගධරයා ඉදිරියේ ඒ විදියට රඟපාන්න වුනාම ඇති වූ හැඟීම මොන වගේද?

මට මේ චරිතයට ආරාධනා ලැබුණාම, සැරින් සැරේ මාවම කොනිත්තලා බැලුවා මම මේ දකින්නේ හීනයක් නෙවේ නේද කියලා. පාසල් කාලයේදි පාසල් දර්ශන තිබුණනෙ. ඉතින් ‘සූරිය අරණ’ හය හත්වතාවක් නැරඹූ කෙනෙක් මම. ඒ වගේ එතුමාගේ ෆිල්ම්ස් ගණනාවක් නැරඹූ කෙනෙක්. කොහොමටත් එදා මම පිචර් පිස්සෙක්. රඟපෑමේ ආසාව එදා නොතිබුණත්, ලොකු කටවුට් එකක සිනමා වීරයකු ලෙස පෙනී සිටීමේ හීනයක් යටි හිතේ තිබුණා. එදා මම දැක්කෙ ජැක්සන් ඇන්තනි වගේ පතාක යෝධයන්ගේ කටවුට්. ඉතින් පසු කාලයක ඒ යෝධයන් එක්ක රඟපෑමට ලැබීම, මම ලැබූ මහා භාග්‍යයක්. සුනිල් ආරියරත්න සර් කියන්නේ මේ රටේ පුරා වෘත්තයක්. එතුමා යටතේ රඟපෑමට ලැබීම එක්ක ඒ දේවල් ඇත්තමද කියලා ඇත්තටම පියවි සිහියට එන්න මම උත්සාහ ගත්තා. හේමාල් අයියා, උදාරි අක්කා එහෙමත් මට උදවු කළා. ඒ දුන්න සහයෝගය එක්ක, මට යම්තාක් දුරට මේ චරිතය කරගන්න පුළුවන් වුණා. ප්‍රථම වතාවට ඒ ෆිල්ම් නරඹද්දි, සතුටට මට ඉබේටම ඇඬුණා. සයිමන් නවගත්තේගම ශූරින්ගේ කතාව ඇතුළේ හිරිමලා කියලා චරිතයක් නැහැ. මේක ජැක්සන් ඇන්තනි මහතාගේ තිර රචනයේ දී ඇතුළත් කළ චරිතයක්. ඉතින් එතුමාට ඒ වගේ චරිතයක් නිර්මාණය කිරීම වගේම මාව ඒ චරිතයට ගැනීම ගැන මහාචාර්යතුමා ඇතුළු ඒ සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා. 

ජැක්සන් ඇන්තනි ප්‍රවීණයා එක්ක රඟපාද්දි ඔබට දැණුන දේ?

ඒක ඇත්තටම රංගන පාසලකට ගියා වගේ හැඟීමක්. එතුමා සමග ගත කළ විනාඩි පහක කතාබහක පවා තිබුණේ දැනුම. මම හරි නරක වැඩකුත් කළා. එතුමා තව කා එක්ක හරි කතා කර කර ඉඳිද්දිත් මම ඒක අහගෙන හිටියා. ඒ කතා ඇතුළේ තිබුණේ දැනුම සහ අත්දැකීම්. මට පෞද්ගලිකව යම් - යම් දේ ගැන කියා දුන්නා, ඒ වගේම වැඩේ කරගෙන යද්දි යම් යම් ටෙක්නික්ස් ගැන පවා කියා දුන්නා. දර්ශන තලයට ආ පළමු අවස්ථාවේ හත් ඉලව්වේ මේක කොහොමද කරන්නේ කියන තැති ගැනීමෙන් මම හිටියේ. ඉතින් ඒ ස්වරූපය එතුමට තේරරෙන්න ඇති. 

එතකොට මුලදි මාව සන්සුන් වෙන්න ඉඩදීල එතුමා ඈතට වෙලා මා දිහා බලා හිටියා. මාව රේල් පීල්ලට දාලා යන්න දීලා හරි පුතා දැං උඹ පලයං ඉදිරියට වගේ හැඟීමකින් ඈත සිට මා දිහා බලද්දි මට ඒක තේරුණා. මහාචාර්යතුමා ගැනත් යමක් කියන්නම ඕනෑ.

මොනවගේ දෙයක් ගැන ද?

මම රඟපෑවේ බොහොම විනෝදකාමී චරිතයක්නේ. ඉතින් එහෙම පැන - පැන, දුව – දුව මම දර්ශන තලයේ හැසිරුණේ හරියට පොඩි එකෙක් විදියට. ඒ හැසිරීමට මහාචාර්යතුමා මට බැණ්නේ නැහැ. මගේ චරිතය ගොඩනගා ගන්න පුදුමාකාර නිදහසක් දීලා තිබුණේ. 
රිහසල් එකේදි මම එක එක දේ කරල බැලුවා. ඒත් කිසිම වෙලාවක, ඉක්මනින් කරන්න, කාලය යනවා. ඒ මොනවත් කිව්වේ නැහැ. මට මගේ නිදහස උපරිමයෙන් ලබා දුන්නා. මූ දෙයක් කරන්න උත්සාහ කරනවා ඇති කියලා එයාල හිතන්න ඇති. 

ෆිල්ම් එකේ ෂූටිං ඉවර වුණාම, ක්‍ෂීර සාගරය කැළඹිණ, නිර්මාණ කණ්ඩායම මොන වගේ ප්‍රතිචාර ද දැක්වූවේ?

බොහෝ දෙනෙක් මට ආශිර්වාද කළා. සුබ පැතුවා. ජැක්සන් සර් කීප දෙනෙක් එක්කම වගේ හොඳ කියලා තිබුණා. ඒවා ආරංචි වෙද්දි ඇතිවූ සතුට කියා නිම කළ නොහැකියි. 

ෆිල්ම් එක එළියට එන්නට පෙර ඒ වගේ ලැබුණු ප්‍රතිචාර එක්ක මට සම්මාන ලැබුවාක් වැනි හැඟීමක් ඇති වුණේ. මේ චරිතයේ මගේ අඩුපාඩු දහසකුත් ඇති. ඒත් ඒ විදියට ලැබුණු ප්‍රතිචාර ඇත්තටම මට ලැබුණු ලොකුම සම්මානයි. සිනමාවේ මම තැබූ පළමු පියවර විතරනේ. 

‘හිරිමලා’ ට එක එක විදියේ අමුතු කවි කියන්න තියෙනවා. කොහොමද ඒවා මතක තියාගෙන චරිතය රඟපෑවේ?

මහාචාර්යතුමා සහ ජැක්සන් සර් ඒ චරිතයේ හැඩතල ගැන මට කියා දීලානේ තිබුණෙ. ඉතින් ඒ සියල්ල ඉදිරිපත් කරන්න මම උපරිම උත්සාහ ගත්තා. ලංකාවේ ප්‍රේක්‍ෂකයන් මාව දැකලා තිබුණේ අවුරුදු ගණනාවක් පුංචි තිරයකින් අහිංසක අම්මෙකුගෙ බොහොම හොඳ පුතෙක් විදියට. ඒ විදියට අවුරුදු කීපයක් එකම විදියට මාව දුටු ප්‍රේක්‍ෂකයන්ට මේ චරිතය වෙතින් මගේ වෙනස්ම විදියක් දැක ගන්න පුළුවන් වේවි. ඒ වෙනස ලොකු තිරයෙන් දැක ගන්නට ලැබීම සහ ඒ අවස්ථාව මට ලැබීම ලොකු භාග්‍යයක්. අයෙත් මම කියන්නේ හැමෝම ඇවිත් මේ ෆිල්ම් එක නරඹන්න කියලයි. 

සඳුන් ගමගේ