යෝග ශාස්ත්‍රය කියන්නෙත් එක්තරා කලාවක් තමයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දශකයකට අධික කාලයක් තිස්සේ තමන් සතු යෝග දැනුම ජනතාවට බෙදා දෙමින් සමාජයට ඉමහත් සේවයක් ඉටු කළ වඩාත් පළපුරුදු යෝග ආචාර්යවරියක් සමගින් මෙවර අප කතා කළා. ඇය නමින් මහේශ්‍රී ගංගා කුමාරි ලියනගේ මහත්මිය. දැනට පන්නිපිටියේ පිහිටි මහේශ්‍රී යෝගාශ්‍රමයේ නිර්මාතෘවරිය වන්නේද ඇයයි.

මේ වැඩේට ඔබ මුල පිරුවේ කොහොමද?

මගේ පවුල ගත්තොත් කලාවට ලැදි පවුලක්. මගේ පියා දක්ෂ සංගීතඥයෙක්. ඒ වගේම අම්මා කථක් නර්තන ශිල්පිණියක්. ඔවුන් ගුරුවරු. මගේ දරුවෝ වුණත් අද කලා ක්ෂේත්‍රයට සම්බන්ධ  අය. ඒ නිසා මගේ ඇඟේ කලාව කියන දේ තිබුණා. මම සංගීත විශාරදවරියක්. ඒ වගේම නර්තන ශිල්පිණියක්. මම මේ හැම අංශයකින්ම ගොඩක් දුර ආපු කෙනෙක්. සංගීතය, ගායන, නර්තන ශිල්පිණියක් විදිහට වැඩ කරද්දි මට හිතුනා මේ යෝග සම්බන්ධවත් ඉගෙන ගන්න. පොතපතින් ගත් දැනුමෙන් මම මුලින් මේ වැඩේ කරන්න පටන්ගත්තා. විවිධ ගුරුවරුන්ගේ උපදෙස් ගත්තා. තනියම පුහුණුවීම් කළා. ටික ටික ඒ දැනුම බෙදා දුන්නා. පස්සේ ඉන්දියාවට ගිහින් උත්තර් ප්‍රදේශ්වල හරිද්වාර්වල තියෙන රිෂිකේෂ් හි පරමානන්ද යුනිවර්සිටියේ මේ සම්බන්ධව විභාගයට මුහුණදීලා ඉන් සමත්වුණා. ඊට පස්සේ තමයි මම පූර්ණකාලීනව මේ වැඩේ  කරන්න පටන් ගත්තේ.

ආචාර්යතුමියගේ යෝගාශ්‍රමය ගැන කතා කළොත්?

මේක තියෙන්නේ පන්නිපිටියේ. ඕනෑම කෙනෙකුට ගුගල් සෙවිමක් කළොත් මේ ආයතනය ගැන තොරතුරු දැනගන්න පුළුවන්. ඒ වගේම ෆේස්බුක් තුළත් අපි මේ සම්බන්ධ තොරතුරු පළ කරලා තියෙනවා. දැනට මේ යෝගාශ්‍රමයට විශාල පිරිසක් සම්බන්ධ වෙලා ඉන්නවා. මෙහි කෙරෙන කාර්යය ගැන ගොඩක් අයට ලොකු පැහැදීමක් තියෙනවා. ගොඩක් අයට යෝග කිව්වාම හිතෙන්නේ රෝගබාධා වලින් තොරව නිරෝගීව තම ජීවිතය පවත්වා ගෙන යාමට මෙය ඉවහල් වෙනවා කියලා. නැහැ. ඊට වඩා වැඩි දෙයක් මේ යෝග පුහුණුව මගින් සිදුවෙනවා. මානසික සුවයක් මේ හරහා ලැබෙනවා. ගොඩක් අය අද ඉන්නේ ප්‍රශ්න වලින් පිඩිතවෙලා. ඒ අයගේ මනස නිරවුල් කරන්න මේක ලොකු පිටුවහලක් වෙනවා. ඒ වගේම මිනිස්සු අද ගොඩක් කළබලයි. හදිසි තිරණ ගන්නවා. ඉවසීම අඩුයි. මේ යෝග ක්‍රියාකාරකම්වලින් මම කරන්නේ ඒ තියෙන පීඩනය ඔවුන්ගෙන් ඉවත් කරන එක. ඒ වගේම ඔවුන්ගේ මනස සන්සුන් කරනවා. සිත පිළිබඳ මනා අවබෝධයක් ලබා දී සිත ශක්තිමත් කරනවා. ලස්සනට නිරෝගීව ජීවත් වෙන්න ඕනි ක්‍රම කියල දෙනවා. මම ප්‍රායෝගිකව ලබපු අත්දැකීම් මෙහිදී හුඟක් වැදගත් වෙනවා.  බාල තරුණ මහලු කාහටත් යෝග පුහුණුව හරිම වැදගත්.

මේ යෝගාශ්‍රමය තුළ පන්ති පැවැත්වෙන්නේ කොහොමද?

සතියට දවස් කීපයක්ම මෙහි පන්ති පැවැත්වෙනවා. බ්‍රහස්පතින්දා දවසේ වරුවක් වගේම සෙනසුරාදා ඉරිදා දිනයන් හි උදෑසන සිට හවස්වනතුරු මෙහි පන්ති පැවැත්වෙනවා. එක පන්තියක් පැය දෙකකට ආසන්න කාලයක් පැවැත්වෙනවා. කණ්ඩායම් වශයෙනුත් තනි තනිව පැමිණ හෝ මීට සම්බන්ධ වෙන්න පුළුවන්.

දශකයකට වඩා වැඩි කාලයක් ඔබ මේ වැඩේ කරනවා?

ඔව්, මගේ ජිවීතේ හරි පුදුමාකාරයි. මම කලාවට සම්බන්ධ වෙලා වැඩ කරපු කෙනෙක්. ඒ වගේම තමා කලාවෙන් ලොකු දුරක් ආපු කෙනෙක්. නමුත්, අද මගේ ජීවිතේ මේ පැත්තට හැරිලා තියෙනවා. සමාජය වෙනුවෙන් යම් දායකත්වයක් දෙන්න මට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ ගැන ගොඩක් සතුටුයි මට. මොකද, මම අද මේ යෝග ශාස්ත්‍රයෙන් ඉහළ තැනකට ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන්ම විශාල පිරිසකගේ පිළිගැනීමට ලක්වෙලා තියෙනවා. අනික මම යම් දෙයක් හදාරද්දි එහි ඉහළටම යන්න උත්සාහ කරන කෙනෙක්. ඉතින් අද මට හිතෙනවා මම මේ ශාස්ත්‍රය තුළිනුත් ඉහළට ඇවිල්ලා තියෙනවා කියලා. ඔක්කොටම වඩා මට සතුටු මා යටතේ මේ දේ හදාරන්න පැමිණි සෑම දෙනාගේම මනස සුවපත් කරන්න ලැබුණ එක ගැන. ඒක ලොකු පුණ්‍ය කටයුත්තකකට හා සමාන දෙයක්. යෝග කියන්නේ විද්‍යාවක්. කෙනෙක් යෝග ඉගෙන ගන්නවා නම් ඒක වාසනාවක්. උගන්වන්න ලැබෙනවා නම් භාග්‍යයක්.

දැන් කලා කටයුතු ඔබතුමිය අත්හැරලද?

සංගීත කටයුතු කරනවා. යෝගාශ්‍රමයේ වැඩත් එක්ක ඒ වැඩවලට කාලය සොයා ගැනීමේ අපහසුවක් තියෙනවා. නමුත්, මේකත් එක්තරා කලාවක් තමා. නර්තනයට මේ යෝග කියන දේ වැදගත්. ඒ වගේම ගායනයට. විශේෂයෙන්ම කටහඬ හදාගන්න. ඉතින් යෝග ශාස්ත්‍රය ඉගැන්වුවාට මම හිතනවා මම කලාවත් එක්ක දිගටම රැඳිලා ඉන්නවා කියලා. මේ සියළු කලාවන් තුළින් සමාජයට බොහෝ වැඩ කරන්න අපට හැකියාව තියෙනවා.

බුද්ධික සේනාධීර