යාළුකම නැති වේවිදෝ බයට ආදරෙයි කියලා කියන්නෙ නෑ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

Q දුලාන්... ඔයාගේ අලුත් නිර්මාණය වන "මන්දිරේ හදේ" ගී පද  නිර්මාණය වුණේ කොහොමද?

ඒ ගීතය මම මීට මාස හයකට විතර කලින් ලියපු ගීතයක්. මට හිතුණු අදහසකට අනුව මම ඒ ගීතය ලිව්වා. ගීතයේ තේමාව වෙන්නේ අපේ බොහෝ දෙනෙක්ගේ ජීවිතවල තියෙන පොදු සිදුවීමක්. අද වෙද්දී ඒකට ලැබෙන ප්‍රතිචාරත් එක්ක බොහෝ දෙනෙක් ඒ අත්දැකීම ජීවිතයේ අත්විඳලා තියෙනවා කියලා මට හිතෙනවා. ගෑනු ළමයෙක් සහ පිරිමි ළමයෙක් යාළුවො දෙන්නෙක් විදියට ඉන්න අතරෙදි පිරිමි ළමයාට ගෑනු ළමයා කෙරෙහි ආදරයක් ඇතිවෙනවා. නමුත් ඒ යාළුකම නැති වේවිදෝ කියන බයට ඔහු ඒ ආදරේ ප්‍රකාශ කරන්නේ නැහැ. අවසානයේදී ගෑනු ළමයාට ශිෂ්‍යත්වයක් ලැබිලා ඇය විදෙස්ගත වෙන්න තීරණය කරනවා. ඒ සම්පූර්ණ හැඟීම ඔහු සිංදුවක් විදිහට පොතක ලියලා ඒක ඒ ගෑනු  ළමයාට දෙනවා. ඒ කතාව තමයි සිංදුවක් වුණේ. ඒ අදහස හිතේ තියාගෙන මම මේ ගීතය ලිව්වා.

Q “මන්දිරේ හදේ" ගී පද ගීතයක් වුණේ කොහොමද?

මගේ හිතේ ඇඳුණු ඒ කතාව මම මුලින්ම පදවලට එකතු කළා. ඒ ගීතය සංගීතවත් කළේ සංජුල හිමාල. පසුබිම් ගායනයෙන් සයුමි මුල්ලේගම සහභාගි වුණා. මැන්ඩලින් වාදනයෙන් නතාෂා නිර්මාණි සම්බන්ධ වුණා. අපි මේකට රෑප රචනාවක් කළා. ඒක අධ්‍යක්ෂණය කළේ ප්‍රවීන් සමරතුංගයි. කැමරාකරණය ඉරුෂ්‍ක බෝගොඩයි. සංස්කරණයෙන් Nick Leoz එකතු වුණා. මේ හැමෝගෙම සහයෝගයෙන් අපි මේ නිර්මාණය කළා. නුවර Karma by Hila කියන ලස්සන තැන ඉඳන් අපි මෙහි රෑගත කිරීම් කළා. දින දෙකක් තුළදී මේ වීඩියෝව රෑගත කිරීම් කරලා අවසන් කළා.

Q මේ දුලාන් හෝ දන්න කියන කෙනෙක් හෝ සැබෑ ලෙස වින්ඳ අත්දැකීමක්ද?

ඔව්... මගේ යාළුවෙක්ට මේ හා සමාන අත්දැකීමක් වෙලා තියෙනවා. ගීතයක් ලියද්දී සාමාන්‍යයෙන් ඒ වගේ සැබෑ ඇත්දැකීම් එක්ක එකතු වුණු මාතෘකාවකින් ලියන්න ලේසියි. මම සමහර ගීතවලට මට වුණු අත්දැකීම් ලිව්වා. මගේ යාළුවන්ට වුණු අත්දැකීම් ලිව්වා. ඉතින් "මන්දිරේ හදේ" ගීතයත් මගේ යාළුවෙක්ට වුණු අත්දැකීමක්.

Q “මන්දිරේ හදේ" යූටියුබ් ඔස්සේ ඉතා කෙටි කාලයකින් trending වුණා. මොකද හිතෙන්නේ?

ඇත්තටම ඒ ගැන ගොඩක් සතුටුයි. මේ ගීතයේ පොඩි කොටසක් අපි මුලින්ම ටික් ටොක් මාධ්‍යයට මුදා හැරියා. ඒ කොටස ටික් ටොක් එකෙන් බොහෝ දෙනා නරඹලා තිබුණා. බොහෝ දෙනා සින්දුව ප්‍රචාරය කරන්නත් කලින් ඒ පොඩි කොටසට වීඩියෝ විසි දහසක් පමණ හදලා තිබුණා. ඒ නිසාම ගීතයට හොඳ ප්‍රතිචාරයක් ලැබෙයි කියලා අපි හිතුවා. මම මුලින්ම කරපු "රුප් මල්සරා" ගීතයටත් කෙටි කාලයක් ඇතුළත හොඳ ප්‍රතිචාරයක් ලැබුණා. ඒ නිසාම මන්දිරේ හදේ ගීතය ප්‍රචාරය කරන්න පටන් අරගෙන මුල් දවසෙම Trending no 2 වුණා. මේ වෙද්දිත් එහෙමමයි. මේ වෙද්දි ගීතය ලක්ෂ හතකට ආසන්න ප්‍රමාණයක් නරඹලා තියෙනවා.

Q “මන්දිරේ හදේ" ඔයාගේ කීවෙනි ගීතයද?

මගේ තනි නිර්මාණ විදිහට ගත්තොත් මේ මගේ අටවැනි ගීතයයි. මම මුලින්ම රුප් සංගීතය පැත්තෙන් ගීත පහක් පමණ කරලා තියෙනවා. මගේ තනි ගීතයක් විදියට මුලින්ම "රුප් මල්සරා" ගීතය ජනප්‍රිය වුණා. ඒක මේ වෙද්දි යූටියුබ් ඔස්සේ මිලියන 8ක් පමණක් නරඹලා තියෙනවා. ඊට පස්සේ මම යුරේනි නොෂිකා එක්ක "drama queen” නමින් ගීතයක් කළා. ඒකත් මිලියනයකට අධික සංඛ්‍යාවක් නරඹලා තියෙනවා. මීට අමතරව මම වෙනත් නිර්මාණකරුවන්ට ගී පද රචනා  කරලා තියෙනවා. එවැනි ගීත දහයක් පමණ ඉදිරියේදී අසන්නට ලැබේවි. ඔයා අතරේ අනික් ගායක ගායිකාවන්ගේ ගීත ඇතුළේ මම රුප් කරන කොටස් ගායනා කරන ගීත කිහිපයක්ම තියෙනවා.

Q දුලාන්ගේ ඊළඟ ගීතයත් සූදානම් කියලයි ආරංචිය?

ඔව්... ඒක ඇත්ත. මගේ ඊළඟ ගීතයටත් දැන් මම සූදානම්. නොබෝ දිනකින් ඒකත් අහන්න දකින්න පුළුවන් වේවි. අපි ඒ ගැන විස්තර ගීතය අහන්න දීලම කතා කරමු. ඒකත් වෙනස්ම ගීතයක් වේවි. "මන්දිරේ හදේ" ගීතයත් එක්ක සංගීත ප්‍රසංග කිහිපයකටම මේ වෙද්දි ආරාධනා ලැබිලා තියෙනවා.

Q “මන්දිරේ හදේ" ගීතයේ රෑප රචනාව කාගේ අදහසකට අනුව කරපු නිර්මාණයක්ද?

ඒ රෑප රචනාවේ මූලික අදහස මගෙයි. මම ඒ පද ලියද්දිම ඒ ගීතයට තිබුණු අදහස තමයි ප්‍රවීන්ට කිව්වේ. ඔහු ඒකට කතාවක් ලියලා වීඩියෝව හරි අපූරුවට අධ්‍යක්ෂණය කළා.

Q අද මොකද හිතෙන්නේ?

ඇත්තටම ගොඩක් සතුටුයි. මම හැමවෙලේම වෙනසක් කරන්න උත්සාහ කළා. මිනිසුන්ට දිගටම රස විඳින්න පුළුවන් ගීත කරන්න මම උත්සාහ කරනවා. මේ පාර ඒ උත්සාහය සෑහෙන දුරට සාර්ථකයි කියලා අද මට හිතෙනවා.

Q දුලාන් පුංචි කාලෙ ඉඳන් කැමැත්තෙන් හිටියේ මේ ක්ෂේත්‍රයට යොමු වෙන්නද?

ඔව්.. මම පාසලේදි සංගීතය කළේ නැහැ. පුංචි කාලේ මම චිත්‍ර විෂයක් විදියට කරපු කෙනෙක්. මම මූලික අධ්‍යාපනය ලැබුවේ මහරගම බුවනෙකබා මහා විදුහලෙන්. ශිෂත්වය සමත් වෙලා මම පන්නිපිටිය ධර්මපාල විදුහලට ඇතුළත්  වුණා. විද්‍යා අංශයෙන් උසස් පෙළ හැදෑරුවා. පසුව වෛද්‍ය බලකායට සම්බන්ධ වුණා. මම වසර පහක් 'Male Nurse' (පිරිමි හෙද) ලෙස සේවය කළා. ඒ වෙද්දිත් මට සංගීතය කරන්න ලොකු අවශ්‍යතාවයක් තිබුණා. ඒ නිසාම මම  රස්සාවෙන් අයින් වුණා. ඒ අතරතුරේ වෙනත් රැකියා කිහිපයක්ම කළා. අවසානයේදී අද වෙද්දී මම පූර්ණ කාලීනව සංගීත ක්ෂේත්‍රයට යොමුවෙලා ඉන්නවා.

Q උසස් පෙළ විද්‍යා අංශයෙන් ඉගෙන ගත්ත ඔයා සංගීත ක්ෂේත්‍රයට යොමුවෙනවට ගෙදරින්  අකමැත්තක් තිබුණේ නැද්ද?

නැහැ... ඒ වෙනුවෙන් මම මගේ පවුලේ අයට ස්තූති කරන්නම ඕනෑ. කිසිම දවසක මට කිසිම දේකට ගෙදරින් බල කිරීමක් කළේ නැහැ. මට මම කැමති දෙයක් කරන්න නිදහස දීලයි තිබුණේ. මම ගැන විශ්වාසය ඔවුන්ට හැම මොහොතකම තිබුණා. හොඳ රැකියාවක් කරලා ඒකෙන් අයින් වෙලා, අවිනිශ්චිත දේකට යොමුවෙද්දී ඔවුන්ට මම ගැන ලොකු විශ්වාසයක් තිබුණා. ලංකාව වගේ රටක රැකියාවක් විදියට සංගීතය පමණක් කිරීම ලෙහෙසි වෙන්නේ නැහැ. නමුත් මම සංගීතයට ආසයි.

I දිශානි ජයමාලි