රඟහල දැන් ඇත අඩ අඳුරේ
“ඒ කාලේ අපි මාසෙකට දවස් විස්සක් විතර ඉන්නේ නාට්‍ය බස් එකේ. ‘තාරාවෝ ඉගිලෙති’ නාට්‍යයෙන් මම ඒ අත්දැකීම ලබලා තිබෙනවා. සති අන්ත දවස්වල විතරක් නෙවෙයි සතියේ මැද දවස්වලත් එහෙම නාට්‍ය බස් එකේම තමයි ගතවුණේ. ඒ කාලේ නාට්‍යයක මංගල දර්ශනයක් බලන්න රටේ හතරදිග්භාගයෙන් නාට්‍ය සංවිධායකවරු එනවා. එතකොට ප්‍රධාන නගරවල හිටියා නාට්‍යවලටම කැපවෙච්ච සංවිධායකවරු පිරිසක්. එයාලා ඇවිත් නාට්‍ය බලලා හොඳයි නම් එදාම එයාගෙ නගරෙට දර්ශනයක් වෙන්කරගන්නවා.”
(ප්‍රවීණ රංගන ශිල්පී රොඩ්නි වර්ණකුල)
එහෙම තිබුණු වේදිකා නාට්‍ය කලාවට අද මොකද වුණේ? අපි මේ කතා කරන්නේ වේදිකා නාට්‍ය කලාවට අද වෙලා තියෙන ශෝචනීය තත්ත්වය ගැනයි. වේදිකාවේ ස්වර්ණමය කාලයක සිට මේ තාක් දුර පැමිණි ආකාරයත්, පසුගිය වසරවල සිදුවුණු සිදුවීම් සමග ඉදිරියේදී වේදිකා නාට්‍ය කලාවට සිදුවන්නේ කුමක්ද යන්නත් පිළිබඳව මෙහිදී වැඩිදුරටත් සොයා බැලීමට අදහස් කළෙමු.
1981 ලූෂන් බුලත්සිංහලයන්ගේ‘තාරාවෝ ඉගිලෙති’ වේදිකා නාට්‍යයෙන් ප්‍රසිද්ධ වේදිකාවට පිවිසෙන රොඩ්නි වර්ණකුල මහතා, වසර හතළිහක් පුරාවට වේදිකාවේ කටයුතු කරයි.වේදිකාවේ සුන්දර මතකයන් සමග රොඩ්නි වර්ණකුල මහතා සිය අත්දැකීම් අප හමුවේ මෙලෙස දොඩමලු විය.
“ඒ කාලේ එකදිගටම නාට්‍ය බස් ගම් නගරවලට යනවා. මට මතකයි අපි ‘තාරාවෝ ඉගිලෙති’ එක්ක බදුල්ල, බණ්ඩාරවෙල, පස්සර නගරවලට එක දිගට දවස් තුනක් යනවා. ගාල්ල, මාතර, හම්බන්තොට තව දවස් තුනක් යනවා. අනුරාධපුර, පොළොන්නරුවට තව දවස් තුනක් යනවා. එහෙම තමයි ඒ කාලේ නාට්‍ය ගියේ. ඒක ඒ කාලේ හිටපු සංවිධායකවරුන්ටත් පහසුයි. අසූ ගණන්වල එහෙම ලස්සන කාලයක් තිබුණා. ‘තාරාවෝ ඉගිලෙති’, ‘සුභ සහ යස’ බලන්න ඒ කාලේ දොරවල් කඩාගෙන තමයි මිනිස්සු ආවේ. පාලනය කරන්න බැරි සෙනඟක් ඒ නාට්‍ය බලන්න ආවනේ. අසූ ගණන්වල අපේ ජීවිතේ ගත වුණේම නාට්‍ය බස්වල.*
නාට්‍ය ප්‍රේක්ෂකාගාරය එවැනි ඉහළ මට්ටමක තිබුණු නමුත්, ඉන්පසු යුගවලදී ක්‍රමයෙන් ප්‍රේක්ෂකාගාරය අඩු වෙයි. වසර හතළිහක් පුරාවට ඔහු එය අත්දැකීමෙන් දැක තිබේ. මේ ආකාරයට ප්‍රේක්ෂකාගාරය අඩු වූයේ ඇයි? සංවිධායකවරු හිඟ වූයේ ඇයි? රොඩ්නි වර්ණකුල මහතා ඒ සඳහා පැවසුවේ මෙවැන්නක්.
“ඊටපස්සේ ක්‍රම ක්‍රමයෙන් රූපවාහිනිය නිසා අපේ අය ආලින්දයටම කොටු වුණා. ඒ එක්කම මාධ්‍යවලින් එළිමහන් සංගීත කලාව ප්‍රවර්ධනය කළානේ. ඒවාට බොහෝදෙනෙක් යොමු වුණා. ඒ නිසා නාට්‍ය සංවිධායකවරුත් අඩුවුණා. රසිකාගාරයත් හිස් වෙන්න පටන්ගත්තා. ඒ වගේම තව කාලෙකදි සරල විනෝදාස්වාදය දෙන නාට්‍යවලට සෙනඟ එකතු වෙන්න පටන්ගත්තා. එතකොට යම් ප්‍රමිතියකින් යුතු නාට්‍යයකට සෙනඟ එන එක අඩුවුණා. ඊටපස්සේ හැමෝම නාට්‍යයක් බලන්න කලින් අහන්න ගත්තා ‘මේකෙ විහිළු තියෙනවද, හිනා යනවද?’කියලා. එහෙම විහිළු හොයන්න තරම් අපේ ප්‍රේක්ෂකයෝ තල්ලු වුණේ කොහොමද කියන එක ප්‍රශ්නයක්. ඒක මාධ්‍යවලින් ඇතිවුණා කියල තමයි මට හිතෙන්නේ. එදා නාට්‍යයකට සංවිධායකවරු ඇති තරම් හිටියේ නාට්‍යයක් පෙන්වාගන්න අවශ්‍ය ප්‍රතිපාදන හදාගන්න වටපිටාවකුත් ඔවුන්ට තියෙන්න ඇති. රූපවාහිනිය වෙළෙඳ ප්‍රචාරණ සමග ඇවිත් සංදර්ශන පවත්වද්දී, අර්ථපතියෝ එතැනට යොමුවුණා. කෝවිඩ් පළවෙනි රැල්ල එද්දි මාධ්‍යවලින් මහල් නිවාසවලට ගිහිල්ලා සංගීත සංදර්ශන පැවැත්වුවා. වාහනවල ඉඳලා බලන්න සංදර්ශන සංවිධානය කළා. ඒ වෙලාවේ මම මගේ මාධ්‍ය හිතවතුන්ට කිව්වා මාසෙකට හරි එක නාට්‍යයක් ස්ටූඩියෝවක රූගත කරලා හරි, තෝරාගත්තු ශාලාවක සජීවීව හෝ විකාශය කරන්න උත්සාහ කරන්න කියලා. මොකද ඒකෙන් නාට්‍යකරුවාටත් මුදලක් ලැබෙනවා, ප්‍රේක්ෂකයන්ටත් උසස් රසවින්දනයක් ලැබෙනවා. ඒක කෙරුණෙත් නැහැ.
ඒ වගේම අපේ නාට්‍යශාලාවල තත්ත්වයත් මේකට බලපාන්න ඇති. අවුරුදු හතළිහකට කලින් තිබුණු නාට්‍ය රඟහල්ම තමයි අදටත් තියෙන්නේ. ඔය නගරවල තියෙන ‘නගර ශාලා’ අසූව දශකයේ ඉඳලා තිබුණ ඒවා. අද ඒවා ගරාවැටිලත් තියෙනවා. දාඩිය දාගෙන, අමාරුවෙන් ඉඳගෙන, වේදිකාව හරියට පේන්නෙ නැති, පහසුකම් නැති තැනක් වුණාම නාට්‍ය බලන්න කැමති රසිකයෝ පවා එන්නෙ නැහැ. අද ගමක මොකක් හරි සංවිධානයකින් නාට්‍යයක් සංවිධානය කළොත් යන්තම් ගොඩ යන්න පුළුවන්. තනි මනුස්සයෙක්ට නාට්‍යයක් සංවිධානය කරලා ගොඩයන්න බැහැ.”
වේදිකා නාට්‍යවලින් සමාජයට ගෙනයෑමට උත්සාහ කළ පණිවුඩය බොහෝ ප්‍රේක්ෂකයන් නිසි පරිදි ලබා නොගත්තේ යැයි රොඩ්නි වර්ණකුලයන්ගේ අදහසයි. එම පණිවුඩ ජනතාව නිවැරදිව ඥාණනය කරගත්තේ නම් අද රටේ තත්ත්වයද බොහෝ වෙනස් වීමට ඉඩ තිබුණේ යැයි ඔහු පැවසුවේ ශෝකයකිනි.
“නාට්‍යකරුවෝ කියන්නේ අනාගතය දුටු පිරිසක්. ඒ කාලේ නාට්‍යකරුවෝ එදා නාට්‍ය පෙළෙහි සඳහන් කරපු දෙබස් අද පැහැදිලිවම වෙනවා. දශක තුන හතරකට කලින් ඒ මිනිස්සු නාට්‍යයෙන් කතා කරපු දේවල් අද සිද්ධ වෙනවා. ගොඩක් ප්‍රේක්ෂකයෝ නාට්‍ය බලලා ‘ෂා මරු නියමෙට තිබුණා’ කියල ගියා මිසක්, ඒකෙන් කතා කරපු දේ කල්පනා කරලා බැලුවෙ ඉතා සුළු පිරිසක්. එහෙම වුණා නම් අද මේ රටට මෙහෙම වෙන්නෙ නැහැ.”

අසූව දශයකට පෙර පටන්ම මහාචාර්ය සරච්චන්ද්‍රයන්, දයානන්ද ගුණවර්ධනයන්, හෙන්රි ජයසේනයන් ඇතුළු විශිෂ්ට නාට්‍යකරුවන්ගේ නාට්‍යයන් තුළින් පෝෂණය වුණු මෙරට වේදිකා නාට්‍ය කලාව පසුකාලීනව විවිධ හේතූන් නිසා කඩාවැටීමට ලක්වේ. කෙසේවෙතත් වර්තමානයේ ඇතිවී තිබෙන කෝවිඩ් තත්ත්වය නිසා මේ වනවිට රඟහලවල් වැසී ගොස් තිබේ. නාට්‍යකරුවන්ට නාට්‍ය කිරීමට ඇති ඉඩකඩ ඇහිරී තිබේ. නමුත් වේදිකා නාට්‍යයට කැමති ප්‍රේක්ෂකාගාරයක් තවමත් ඉතිරිව ඇති බව රොඩ්නි වර්ණකුලයන්ගේ මතයයි. කෙසේ නමුත් නාට්‍ය කලාවට පැමිණි බාධක ඉදිරියේදීද තිබෙන බව ඔහු පැවසීය.
“යුද්දෙ කාලෙදි බෝම්බ පිපිරෙද්දි මිනිස්සු එකතු වෙන්න බය වුණා. එහෙම කාලයකුත් පසු කරගෙන ඇවිත් දැන් අපි වසංගතයකට කොටු වෙලා. මට නිකන් හිතුණා ඉදිරි කාලෙදි නාට්‍ය කියන දේත් නැතිවෙයිදෝ කියලා. නාට්‍ය කලාව පවතින්න නාට්‍යකරුවෝ වගේම ප්‍රේක්ෂකයොත් ඉන්න එපැයි. තවමත් නාට්‍යවලට කැමති ප්‍රේක්ෂකයෝ පිරිසක් ඉන්නවා. මට මතකයි ගිය අවුරුද්දේ ටවර් හෝල් රඟහල පදනමෙන් සංවිධානය කරපු ‘ප්‍රේක්ෂා’ නාට්‍ය උළෙලට විශාල ප්‍රේක්ෂකාගාරයක් ආවා. ඒ නාට්‍ය උළෙල මාසයක් ටවර් රඟහලේත්, එල්ෆින්ස්ටන් රඟහලේත් පැවැත්වූවා. පාසල් ගුරුවරු බස් පිටින් ළමයි අරගෙන ඇවිත් එක හෝල් එකක තුනයි තිහ බලලා, අනිත් හෝල් එකේ හයයි තිහත් බලලා ගියේ. නාට්‍ය ලෝකේ සුවිශේෂී මාධ්‍යයක්. ඒක අපේ රටේ ඉදිරියටත් පවතින්න ඕනේ. ඉතින් ඉදිරියේදී කෝවිඩ් ඉවර වෙච්ච කාලෙකදි වේදිකා නාට්‍ය කියල දෙයක් තිබුණා කියන තැනට පත්නොවේවා කියන දේ තමයි මගේ ප්‍රාර්ථනය වෙන්නේ.

වේදිකා නාට්‍ය කලාවට රජයෙන් නොලැබුණු නිසි අනුග්‍රහයත්, කෝවිඩ් වසංගතය සහ ඊටපෙර සිදුවුණු පාස්කු ප්‍රහාරයත් නිසා නාට්‍ය කලාවේ වර්තමාන තත්ත්වය පිළිබඳවත් නාට්‍යකරුවන් කිහිප දෙනෙකුගෙන් අපි අදහස් විමසුවෙමු. එහිදී නාට්‍ය සංවිධායක ජූඩ් ශ්‍රීමාල් මහතා පැවසුවේවේදිකා නාට්‍ය කලාව යනුවෙන් දෙයක් තිබෙන බවට දැනීමක්වත් පාලකයන්ට නොතිබුණු බවයි.
“මේ වසංගතය පටන්ගත්තු දවසේ ඉඳලා මේ වෙනකල් හැම ක්ෂේත්‍රයකටම හානි සිදුවුණා. ඒ ඒ වෘත්තීන්ට වුණු හානිය හැමෝටම පේනවනේ. නමුත් අපේ වෘත්තියට වෙච්ච හානිය හෝ මෙහෙම කලාවක් තිබෙනවා කියලවත් රජයට පේන්නෙ නැහැ. ගැසට්වලින් මේ දක්වාම ආවේ සිනමාහල් විවෘත කරනවා කියලයි. කොතැනකවත් රංග ශාලා කියල සඳහනක්වත් තිබුණෙ නැහැ. මම ඊටපස්සෙ ලංකාදීප පුවත්පතට ලිපියක් ලිව්වා වේදිකාව යන්නෙන් යමක් ඇත කියලා. ඉන්පසුව තමයි ගැසට්වලට රංගශාලා කියන දේත් ආවේ. වේදිකා නාට්‍යකරුවන්ට හැරෙන්න වෙන කාටත් වේදිකාවට වෙච්ච හානිය දැනෙන්නේ නැහැ. මොකද වේදිකා නාට්‍ය කියන්නේ සජීවී මාධ්‍යයක්. නළුවෝ වේදිකාවේ රඟපාන්නේ සජීවීව. සංගීත ප්‍රසංග සූම් තාක්ෂණයෙන්, කාර්වල ඉඳලා බලන්න පුළුවන් වුණා. නමුත් වේදිකා නාට්‍ය එහෙම කරන්න බැහැ. වේදිකාවත් එක්ක ගනුදෙනුවේදී ප්‍රේක්ෂකයා රංගශාලාවට එන්නම ඕනේ.මමත් අලුත් නාට්‍ය තුන හතරක් නිෂ්පාදනය කරන්න පටන්ගත්තා. ඒවාට වේදිකා පසුතල හදලා, සංගීත නිර්මාණය කරලා, දර්ශනවාර සංවිධානය කරලා, පත්තරවල ඇඩ් දාලා, පෝස්ටර් ගැහුවට පස්සේ ආයෙත් වසංගතයට අහුවුණා. රජය කිසියම් තැනක ඉඳලා එක්තරා කාලවකවානුකදී රුපියල් පන්දාහ, දෙදාහ වගේ සහන දුන්නා. නමුත් ඒ කිසිම අංශයකට මේ වේදිකා නාට්‍යකරුවෝ අයත් වුණේ නැහැ. ඔවුන් මේ අවස්ථාවේදී සම්පූර්ණයෙන් අසරණ වෙලා ඉන්නේ. නාට්‍ය අනුමණ්ඩලය, ටවර් හෝල් රඟහල පදනම වැනි ආයතන තිබෙනවා. ඔවුන් මූලික වෙලා මේ ගැන සාකච්ඡාවක් පවත්වලා නාට්‍යකරුවන්ට යමක් කරනවා නම් හොඳයි. නමුත් ඒ ගැන විශ්වාසයක් තියාගන්න බැහැ. මොකද මේ රට යන හැටියට කිසිම ක්‍රියාමාර්ගයක් ගනීවි කියලා බලාපොරොත්තු තියාගන්න බැහැ. නාට්‍යකරුවන්ව පාලකයන්ට ඕන වෙන්නේ ඡන්ද කාලෙදි. මේ අවස්ථාවේදී මතක් වෙන්නෙ නැහැ.”

වේදිකාව තුළ නිරන්තරයෙන් දක්නට ලැබෙන රංගන ශිල්පී ජයනාත් බණ්ඩාර වේදිකාවේ අනාගතය පිළිබඳව පවසන්නේ මෙවැන්නකි.
“මේ ගෝලීය වසංගතය නැති කාලේ වුණත් වේදිකාව නොසලකා හැරපු කලාවක් හැටියටනේ තිබුණේ. වේදිකාවේ වැඩ කරන සියලුම ශිල්පීන් (අධ්‍යක්ෂවරු, නළු නිළියෝ, ආලෝකකරණ ශිල්පීන්, වේදිකා පරිපාලකවරු, කාර්මික ශිල්පීන්) වසංගතය නැති කාලෙදිත් බලානොගත් රටක, වසංගතයක් වෙලාවේදී බලාගනී කියල හිතන්න බැහැ. මේ ලෙඩක් අස්සේ එන්ටර්ටේන්ට්මන් කියන්නේ ඕන නැති දෙයක් කියලනේ හිතන්නේ. කන්න බොන්න තියා හුස්ම ගන්නවත් බැරිව ඉන්න වෙලාවේ මොන එන්ටර්ටේන්ට්මන්ද කියලා හරි සුළුවෙන් පහළට මේක තල්ලු කරල දාන්නේ. මේ වසංගතය වේදිකාව තල්ලු කරල දාන්න අවශ්‍ය අයට ලොකු පිටිවහලක් වෙනවා. මේවායෙන් වැඩක් නැහැ, මොනවද හම්බවෙන්නේ, කිසිම ආයෝජනයක් නැහැ, රටකට මොකටද වේදිකා නාට්‍ය කියලයි ඔවුන් හිතන්නේ. ඇයි වසංගතයකදී වේදිකා නාට්‍ය, විනෝදාත්මක දේවල් ඕනෙ නැත්තේ කියන එකයි ප්‍රශ්නෙ තියෙන්නේ. මම එහෙම කියන්නේ සහේතුකව. නැව ගිලෙනකොට වීණා වාදනය කරන්න එපා කියලා අපි කතාවක් අහල තියෙනවනේ. ඇයි නැව ගිලෙද්දි වීණා වාදනය කරන්නෙ නැත්තේ කියන එකයි ප්‍රශ්නෙ. මිනිසුන්ට ප්‍රශ්න, අර්බුද එක්ක මානසික නිදහසක් කලාවෙන් ලබාදෙනවා නේද?
මේ හැමදේකටම රටේ කළමනාකරණය කියන දේ බලපානවා. නිසි කළමනාකරණයක් නැතිවුණාම ඒක හැම ආයතනයකටම බලපානවා. එතකොට ඒකෙන් වේදිකා නාට්‍යකරුවන්ට බේරිලා ඉන්න බැරි වෙනවා. අපි එකතුවෙලා හොඳ කළමනාකරණයක් රටේ හදාගත්තා නම් ඒක ඉදිරියේදී වේදිකාවටත් හොඳ විදිහට බලපායි. අපේ වගේ දුප්පත් ආර්ථිකයක් තිබෙන රටක මිනිස්සු කියන්නේම ‘Entertainment lost’කියලා. හැබැයි එතැනට නාට්‍ය කියන දේ ලඝු කරලා දාන්න බැහැ. ඊට වඩා ලොකු පොහොසත් දෙයක් වේදිකා නාට්‍ය තුළින් වෙනවා.”
ලෝකයේ බොහෝ කලා නිර්මාණවලට වස්තු විෂය වන්නේ විවිධ කාලවල පවතින දේශපාලනික, සාමාජීය තත්ත්වයන්. කෝවිඩ් වසංගතය බොහෝ ක්ෂේත්‍රවල සාමාන්‍ය තත්ත්වයට බාධාවක් ගෙන ආවත්, එයින් නාට්‍ය කලාවට සිදුවන්නේ යහපතක්ද? අයහපතක්ද? යන්න තීරණය කිරීමට තවමත් කල් වැඩි බව යොවුන් නාට්‍යවේදී සචිත්‍ර රාහුබද්ධ මහතා පවසයි.
“අපි මෙච්චර කල් හිතාගෙන හිටියනේ නාට්‍ය උළෙලවල් නැතුව නාට්‍ය කලාවක් නැහැ කියලා. ඒ මතයේ අපට එහෙමම ඉන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් මේ වසංගතයත් එක්ක ඇවිත් තිබෙනවා. මේ වසංගතය අපට ලැබුණු පොඩි විවේකයක්. අවුරුදු හැත්තෑවක් තිස්සේ නාට්‍යකරුවෝ නාට්‍ය කරගෙන, කරගෙන ආවානේ. නාට්‍ය හැදීම හැරෙන්න වෙන දෙයක් නැහැ. මේ වසංගතයේදී නාට්‍යකරුවෝ කල්පනා කළා අපි කරපු නාට්‍ය හරිද? අපි කරපු නාට්‍ය මිනිස්සු බැලුවෙ නැත්තේ ඇයි කියලා. ඒ වගේම මේ කාලය ඇතුළේ මිනිස්සු තමන්ගේ ජීවිතයට අලුත් දේවල් එකතු කරගත්තා. චින්තනමය වෙනසක් ඇති වුණා. ආගම්,ඇදහිලි පිළිබඳ විශ්වාසයන් වෙනස් වුණා. දේශපාලනය ගැන තිබෙන අදහස වෙනස් වුණා. හැම සංකල්පයක් පිළිබඳවම මිනිස්සු හිතන විදිහ වෙනස් වුණා. මොකද මිනිසුන්ට හිතන්න කාලයක් ඇතිවුණා. මේ චින්තනමය වෙනස එළියට එන්නේ කවදාහරි මේ වසංගතය ඉවරවුණු දවසක. මේ වසර දෙක තුන ඇතුළත නාට්‍යකරුවන්ට වෙච්ච දේවල් එදාට එළියට එන්න පටන්ගත්තට පස්සේ තිබුණාට වඩා හොඳ සාර්ථක නිර්මාණ එළියට එයි. මේ වගේ විවේකයක අවශ්‍යතාවයක් තිබුණා. දෙවන ලෝක යුද්ධය ගැන අදටත් හොඳ චිත්‍රපට හැදෙනවා. අසූ අට, අසූ නවය භීෂණය ගැන අදටත් බරපතළ නාට්‍ය, චිත්‍රපට කවි ලියවෙනවා. හැබැයි දෙවන ලෝක යුද්දෙ යන කාලේ නාට්‍ය හැදුණෙ නැහැ. ඒ වගේ තමයි මේකත්. මේ ලෝකෙ වසංගත, යුද්ධ, ප්‍රශ්න තිබුණෙ නැත්නම් අද අපි කතා කරන කලා නිර්මාණ සියයට අනූපහක්ම නැහැ. මේ වෙච්ච දෙයිනුත් කලාව පෝෂණය වෙන්න පුළුවන්.
අනිත් පැත්ත ගැන කතා කළොත් නාට්‍යකරුවන්ට සල්ලි නැහැ කියලා අපි කියනවා. නාට්‍යකරුවන්ට සල්ලි නැහැ කියන්නේ නාට්‍යකරුවෝ මෙච්චර කල් කරපු නිර්මාණ අසාර්ථක වෙලා. ඒ කියන්නේ ඒ නිර්මාණ බලන්න මෙච්චර කල් ප්‍රේක්ෂකයෝ ඇවිත් නැහැ. ප්‍රේක්ෂකයෝ ඇවිත් නැහැ කියන්නේ මෙච්චර කාලයක් හදපු නාට්‍යවලට ඔවුන් කැමති නැහැ. අපිට බැරිවෙලා තියෙනවා පහුගිය දශක ගණනාවටම මිනිසුන්ට බලන්න නාට්‍ය හදන්න. විනිශ්චය මණ්ඩලවලට බලන්න නාට්‍ය හදපු එකේ ප්‍රතිඵලය නිසා තමයි නාට්‍යකරුවෝ දුප්පත් වෙලා තියෙන්නේ. මිනිසුන්ට බලන්න නාට්‍ය හදපු කිසිකෙනෙක් දුප්පත් නැහැ. හැබැයි මම තවමත් විශ්වාස කරන්නේ නැහැ මේ වසංගතය හැම නාට්‍යකරුවෙක්ම ප්‍රයෝජනයට ගත්තා කියලා. ප්‍රයෝජන ගත්තු, පර්යේෂණ කරන පිරිසක් ඉන්නවා. හැබැයි හැමෝම මේක ප්‍රයෝජනයට ගත්තා කියලා හිතන්න බැහැ.”
වේදිකාවට ප්‍රේක්ෂකයන් රොද බඳින කාලයක් උදාවන්නට නම් කළ යුත්තේ කුමක්ද? තරුණ නාට්‍යවේදියෙක් වන අඛිල සපුමල්ගේ අදහස වන්නේ එය සිදුකළ හැක්කේ විකල්ප වේදිකාවන් තුළින් බවයි.
“අපේ තරුණ නිර්මාණකරුවන්ට නාට්‍ය උළෙලවලින් ජයග්‍රහණ ලැබිලා ජනතාව වෙත ගෙනයන්න තිබුණු නාට්‍ය ගොඩකට පහුගිය කාලේ සිදුවුණු දේවල්වලින් විශාල පසුබෑමක් එල්ල වුණා. ඒ ප්‍රශ්න එක්ක නාට්‍යකරුවෝ කිහිපදෙනෙක් වේදිකාව ගොඩදාන්න නැවත නැවත උත්සාහ කළා. ජූඩ් ශ්‍රීමාල් මහත්මයා කෝවිඩ් වසංගතය මැද නාට්‍ය උළෙලක් සංවිධානය කළා. එතකොට ටවර් හෝල් රඟහල පදනම ‘ප්‍රේක්ෂා’ නමින් නාට්‍ය උළෙලක් පැවැත්වූවා. අපි ‘ප්‍රේක්ෂා’ නාට්‍ය උළෙලෙන් සෑහෙන ප්‍රේක්ෂකාගාරයක් නිර්මාණය වුණා කියලා දැක්කා. නමුත් එහි යම් දීර්ඝකාලීන දැක්මක්, දර්ශනයක් පෙනෙන්නට තිබුණේ නැහැ කියලා දැක්කා. දැන් වේදිකාවේ මකුළුදැල් බැඳිලා. ඒකට කවුරුත් යන්නෙ නැහැ සංවර්ධනය කරන්න. ඒ වුණත් අපේ නාට්‍ය රචනාවන්, නාට්‍ය පුහුණුවීම්, සංවාද ඔන්ලයින්හරහා කරනවා. නමුත් අපිට තවමත් අදහසක් නැහැ මේ කෝවිඩ් අර්බුදයත් එක්ක කොහොමද අපි ජයග්‍රහණය කරන්නේ කියලා. මොකද කෝවිඩ්වලට කලිනුත් ලංකාවේ වේදිකාවේ කිසිම දියුණුවක් තිබුණේ නැහැ. කිසිම ආණ්ඩුවක, අනුග්‍රාහකයෙක්ගේ මැදිහත්වීමකින් තොර වේදිකාවක් අපිට තිබුණේ. මේ ඒක තව තවත් පල්ලම් බැහිච්ච කාලයක්.
මේ මොහොතේදී වේදිකාව නැවත ගොඩනගන්නට වෙන්නේ විකල්ප වේදිකාවක්, විකල්ප නාට්‍යයන් තුළින්. ඒකේදි රංගශාලා කියන සංකල්පය තුළින් ඈත් වෙන්න ඕනේ. අපි අවුරුදු පනහක්, හැටක් තිස්සේ බලාගෙන හිටියා රංග ශාලා සංවර්ධනය කරයි කියලා. තියෙන රංග ශාලාත් මහා පරිමාණයෙන් හදන්න අවුරුදු දහය පහළොව යනවා. ඒ නිසා ඒවා ගැන විශ්වාසයක් තියන්න බැහැ. මගේ යෝජනාව අපි කුඩා ප්‍රේක්ෂකාගාරයකට නාට්‍ය පෙන්වන විකල්ප වේදිකාවක් ස්ථාපිත කරන්න ඕනේ කියලයි. ඒ සඳහා මම නම් අවුරුදු තුනකට විතර කලින් ඉඳලා ‘‘පුංචි එරීනා’ සංකල්පයත් සමග වැඩ පටන්ගත්තා.”
රංගාලෝක ශිල්පීන්, ඇඳුම් නිර්මාණ ශිල්පීන්, පසුතල නිර්මාණකරුවන්, වේදිකා පරිපාලකවරුන් සේම පෝස්ටර් නිර්මාණ ශිල්පීන්ද වේදිකාවේ තිරය පසුපස සිට විශාල කාර්යභාරයක නිරත වෙයි. ඔවුන්වද මේ මොහොතේ මතක් කළයුතු වන අතර, ඉතා ඉක්මනින් නැවතත් වේදිකාවේ තිරය විවෘත කළ හැකි වේවා යන්න අපගේද පැතුමයි.
කැඵම් දේවින්ද
