වියෝ දුක දරා ගත්තෙත් තාත්තාගේ ඒ සින්දුවෙන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජීවිතය යනු අනපේක්ෂිතව ලැබී එලෙසම අහිමිවන දෙයක් වග දැනෙන්නේ ජීවත් වන විටය. එය තේරුම් ගනිමින් ජීවත් වීමය වඩාත්ම අවැසි දෙය. අද හදසර තුළින් අප හමුවන්නේ පියාගේ අඩි පාරේ සීරුවට පය තබමින් යන පුතෙක්වය. හිමිවීම් අහිමිවීම්  පිළිබඳ කතාවේදී හරියටම පසුගිය වසරේ දෙසැම්බර් 8 වැනිදා රටක් ආදරය කළ, ඔහුට ලොවක් වූ ආදරණීය පියාගේ වියෝව දරා ගැනීමට අද අප හමුවන අමුත්තාට සිදුවිය. ගීත කලාවට සංගීතයට අමතක නොවන දායකත්වයක් ලබා දුන් මෙරට චිත්‍රපට පසුබිම් ගී ගැයූ ගායන ශිල්පී ලැයිස්තුවේ ඉදිරියෙන්ම නම සටහන්ව ඇති අප අතරින් සමුගත් ගායන ශිල්පී නුවන් ගුණවර්ධනයන් ගැන අද අප හදසර තුළින් මතක අවදි කරන්නට හමුවන්නේ ගායන ශිල්පියකු හා රංගන ශිල්පියකු වන ගයාන් ගුණවර්ධනය. 

“මගේ තාත්තා හරිම සරල සුන්දර පුද්ගලයෙක්. කලාවේ රැඳී සිටිය නිර්මාණ  වේදියෙකු ලෙස ඔහුට විශාල පිරිසකගේ ආදරය ලැබුණා. හැබැයි ඔහු එයින් උදම් වුණේ නැහැ. ඒ වගේම ජනප්‍රියත්වය ගැන ඔහු හොඳින් අවබෝධ කරගෙන සිටියා. ඉස්සර මගේ මුල්ම කාලයේදී මට කිසිම පුවත්පතකින් රූපවාහිනී හෝ ගුවන්විදුලි නාලිකාවකින් කතා කළේ නැහැ. කවරයක එක පින්තූරයකටවත්  අවස්ථාවක් ලැබුණේ නැහැ. මාව ගණන් ගන්නේ නැහැ කියලා මට දැනුණා. මේ දේවල් මට හරිම දුකක් වුණා. ඒත් තාත්තා මට කිව්වේ ඕවා ගැන හිතන්න එපා. ඔයා වැඩ ටික හරියට කරගෙන යන්න. ඕවා ඉබේම ඔයාට ලැබෙයි කියලා. ඒ විතරක් නෙවෙයි නිර්මාණ කරලා ඒවා ජනප්‍රිය වෙද්දිත් ජනප්‍රියත්වය කියන්නේ කොයි තරම් තාවකාලික දෙයක්ද කියන දේ තාත්තා මට පැහැදිලි කරලා දුන්නා. කලාව විතරක් නෙවෙයි ජීවිතය තුළ පවා මගේ තීරණ ගැනීම්වලදී තාත්තා කවදාවත් බාධා කළේ නැහැ. ආදරය ප්‍රේමය වැනි කාරණාවලදීත් එසේමයි. එසේම ඔහු මට අනාගතය පිළිබඳව, නිර්මාණ පිළිබඳව පැහැදිලි කර දුන්නා මිසක මගේ තීරණවලට කවදාවත් බලපෑම් කළේ නැහැ. තාත්තා හරි ආදරණීය චරිතයක්."  

ගයාන් තම ආදරණීය පියා පිළිබඳ මතකය අවදි කළේ එලෙසින්ය. පියාගේ වියෝව නිසාම හද නැඟුණ සුසුමන්ද ඊට එක්ව තිබිණි යැයි මට සිතිණි. චිත්‍රපට  ගණනාවක පසුබිම් ගී ගායනයට එක් වූ නුවන් ගුණවර්ධන හින්දි ගීතය මෙරට රසික ප්‍රජාවට සමීප කරවන්නට තම හඬ දායකත්වය මනා ලෙස ලබා දුන් ශිල්පියෙකි. ඔහු ගැයූ ගී අතර "කිරිමූදු වෙරළේ, කඳුළින්ම ගැයූ පෙම් ගීතේ, පාවි ගියාවේ ළඳේ වැනි ගීත ගණනාවක් රසිකයින් අතර අතිශයින් ජනප්‍රිය විය. නුවන් ගුණවර්ධන යනු ප්‍රසංග වේදිකාවේදී රසිකයින් නිරන්තරයෙන් අපේක්ෂා කළ ශිල්පියෙකි. තම ආදරණීය පියාගේ මතකයන් සමඟ තම සිත් ගත් ගීතය කුමක්දැයි අපි ගයාන් ගෙන් විමසුවෙමු. 

“තාත්තාගේ ගීත අතරින් වචන, තනුව හරියටම මතක තබාගෙන අදහස තේරුම් අරගෙන මුල්ම වරට මා ගැයූ ගීතය තමයි තාත්තාගෙ ගීත අතරින් මා කැමතිම ගීතය. මේ ගීතය ලිව්වේ ආචාර්ය අජන්තා රණසිංහ මහතා. හින්දී තනුවකට අනුව මෙහි සංගීත සංයෝජනය කළේ සරත් ද අල්විස් මහතා. ඒ ගීතය තමයි 

කඳුළින්ම ගැයූ පෙම් ගීතේ
ඇසුවා ඔයා සිනාසී සිනාසී ඒ මා හද ගිනි ජාලාවෝ
ඔබ හිනැහුණි
මා හැඬු වේලේ
ඇයි ඔබ මට පෙම් නොකළාදෝ
මේ දුක ඔබටත් නොදැනේදෝ...  

මේක විරහ ගීතයක්. මම වැඩසටහන් සඳහා, එතෙර මෙතෙර ප්‍රසංග සඳහා විතරක් නෙවෙයි විවාහ මංගල උත්සවවල පවා වැඩියෙන්ම ගැයුවේ මේ ගීතය. කොටින්ම ප්‍රසංගයක ඇරඹුමකදී හඬ පරීක්ෂා කරන්න (sound balance) මම අනිවාර් යෙන්ම ගැයුවේ මේ ගීතය. මගේ සැබෑ ජීවිතය තුළ ප්‍රේමයෙන් ආදරයෙන් වියෝවක් වුණාම ඒ හිතට දැනෙන වේදනාව දුක පාලනය කර ගන්න පවා මා ඇහුවේ ගැයුවේ මේ ගීතය. ගායනය අනුව ගත්තත් ජීවිතයේ හැඟීම් අනුව ගත්තත් "කඳුළින්ම ගැයූ පෙම් ගීතේ" ගීතය තමයි තාත්තාගේ ගීත අතරින් මා වඩාත්ම කැමති ගීතය. ගයාන් සිය පියාගේ තමන් ප්‍රියතම ගීතය පිළිබඳ මතකය අප සමඟ දිගහැරියේ එලෙසින්ය. පියාගේ ජනප්‍රියත්වය දරුවන්ට ආභරණයක් වීම සාමාන්‍යයෙන් දැකිය හැකි දෙයකි. එහෙත් පාසල් කාලය තුළ ගයාන්ගේ අත්දැකීම මීට හාත්පසින් වෙනස්ය. 

“මම ඉගෙන ගත්තෙ ජාත්‍යන්තර පාසලක. විදේශීය සිසුන් එහෙම ගොඩක් හිටියා. ඒ වගේම මගේ පාසල් මිතුරන් ගත්තම ඔවුන් වැඩිපුර ඇහුවෙ මයිකල් ජැක්සන්, එමිනෙම් ආදී ශිල්පීන්ගෙ ගීත. කතා කළෙත් ඔවුන් ගැන. ඔවුන් මගේ පියා ගැන එතරම් දැන සිටියේ නැහැ. මම පැහැදිලි කරන්න උත්සාහ කළෙත් නැහැ. ගුරුවරුන් නම් දැන සිටියා. මාත් කලාවට අවතීර්ණ වෙන්නේ යම් කාලයක් ගතවෙලා. හැබැයි ඒ වෙද්දි තාත්තගේ ජනප්‍රියත්වය ගැන මට හොඳින් වැටහෙනවා. මුල් කාලෙදි මම දැක්කේ තාත්තා රූට ගෙදරින් යනවා. පාන්දරට ගෙදර එනවා. උදේ වරුවේ නිදාගන්නවා පමණයි. කාලයේ ඇවෑමෙන් තමයි ඔහු කවුද කියන දේ සහ ඔහුගේ කලාව ගැන මට තේරුම් ගන්න හැකි වුණේ. ඔහු රසික ප්‍රසාදය දිනූ කලාවේදියෙකු මෙන්ම සහෝදරියට මට හා අම්මාට ආදරය කළ ආදරණීය පියෙක් සහ ආදරණීය සැමියෙක් කියන දේ තමයි මට හැමදාම ඔහු ගැන කියන්න තියෙන්නේ. මගේ රංගනය ගායනය දැකලා ඔහු සතුටු වුණා. ඒ විතරක් නෙවෙයි නිර්මාණයක් මුලින්ම තාත්තට පෙන්නුවම අඩුපාඩු දැක්කොත් ඒකත් කෙළින්ම කියනවා. මට මතකයි "පාර දිගේ" නාට්‍ය එහෙම බලලා කෑගහලා හයියෙන් හිනා වෙනවා. ඔහු ඒවා වින්ඳේ මුළු හදවතින්මයි. තාත්තා තමයි මගේ පළමු සහ හොඳම රසිකයා වුණේ  කියන දේ මම හොඳටම දැන සිටියා." 

ගයාන් ගුණවර්ධන සිය ආදරණීය පියා ප්‍රවීණ ගායන ශිල්පී නුවන් ගුණවර්ධන පිළිබඳ මතකය හදසරට හදවතින්ම කිව්වේ එලෙසය. කවර ක්ෂේත්‍රයක වුවද එතුළ හදවතින්ම යෙදේ නම් සාර්ථකත්වයට ළං වීම අසීරු කරුණක් නොවනු ඇති බව අප විශ්වාස කරන දෙයකි. නුවන් ගුණවර්ධන ගායන ශිල්පියා අපෙන් සමුගෙන ගියද ඔහුගේ නිර්මාණ ඔස්සේ ඔහු තවත් චිරාත් කාලයක් රසික සිත්හි ජීවත් වනු ඇත.

මොනිකා සේරසිංහ
සේයාරුව I සුමුදු හේවාපතිරණ