‘සිංදු නදිය’ට අලුත් ගී මල්

  • 02-11-2021
  • Views 80

‘සිංදු නදිය’ ටී.එන්.එල්. රූපවාහිනී නාලිකාව ඔස්සේ සෑම සෙනසුරාදා දිනකම සවස 6.30 සිට 7.00 දක්වා විකාශය වන වැඩසටහනකි. එය වෛද්‍ය සැපැයුම් අංශයේ අධ්‍යක්ෂ, වෛද්‍ය තුසිත සුදර්ශන ගේ ගී ඇතුළත් වැඩසටහනකි. 

ඔහු ලියූ ගී විශාරද නවරත්න ගමගේ ගේ සංගීතයෙන් රසගැන්වී ආචාර්ය නන්දා මාලිනී, දීපිකා ප්‍රියදර්ශනී, උරේෂා රවිහාරි, ශෂිකා නිසංසලා, නෙළු අධිකාරී, සුභානි හර්ෂනී හා ජනනි මිහිරානි සමඟ වෛද්‍ය තුසිත සුදර්ශන ගැයූ යුග ගී කිහිපයක් මෙම වැඩසටහනින් විකාශය වේ. ඒ හැර තවත් අලුත් ගී මල් කිහිපයකට ද සිංදු නදියේ පාවෙන්නට වෛද්‍ය තුසිත සුදර්ශන අවකාශ සපයයි. ඔහු ඒ ගැන සඳැල්ලට කීවේ මෙසේය. 

“සිංදු නදිය වැඩසටහන පටන් ගත්තේ මා ගැයූ යුග ගී රසිකයන්ට තිළිණ කිරීමටයි. නමුත් ඒ අතරේදී මට හිතුණා ගීතයක් විකාශනය කරගන්න බැරිව සිටින නවක නිර්මාණ ශිල්පීන්ටත් සිංදු නදියෙන් පුංචි ඉඩක් දිය යුතුයි කියා. මොකද මේ වනවිට ඉතාම හරවත් රසවත් ගීත නිර්මාණය කරන බොහෝ දෙනෙක් අප අතර ඉන්නවා. ඔවුන් මුදල් වියදම් කරලා සිංදු නිර්මාණය කරනවා. රූපගත කරනවා. 
නමුත් ඔවුන්ට ඒ ගීත විකාශය කරගන්න මාධ්‍යයක් නැහැ. අපේ රටේ රූපවාහිනී නාලිකා කොච්චර තිබුණත් ආධුනිකයන්ගේ හරවත් ගුණවත් ගීත විකාශය වෙන්නේ නෑ. 

ඉතින් මා තීරණය කළා මෙවැනි නවක ශිල්පීන්ගේ ගීයකට දෙකකට සිංදු නදියේ අවකාශ සලසන්න. මේ වනවිටත් සිංදු මහ ගොඩක් මට ලැබී තිබෙනවා. මේ ගීත විකාශය ගැන වැඩිදුර තොරතුරුත් සිංදු නදිය නැරැඹීමෙන්ම ලබාගන්න පුළුවනි.”