සඳ කුමාරි මගෙ මනාලි

  • 13-08-2021
  • Views 567

සඳ කුමාරි මගෙ මනාලි
තරු වරල උනා දමාවි
රෑ කවුළු දොරින් එබේවි
මට එන්න කියා කියාවි
සඳ කුමාරි මගෙ මනාලි

මං කවුළුව හැර තබාවි
ඇය සේල පලස එළාවි
පිනි බිංදු බිමට වැටේවි
මුතු මැණික් වගේ පෙනේවි
සඳ කුමාරි මගෙ මනාලි

කළු වලාකුළක් ඇදේවි
සඳ මුහුණු මුවා කරාවි
මට හොඳටම දුක හිතේවි
රැය එළිවෙනකන් හඬාවි
සඳ කුමාරි මගෙ මනාලි

වලා පොටට මුවා වෙලා මුකුළු කරනවා
මුදා වරල මල් ගලවා විදා හරිනවා
කලා කොමල බඳ සොලවා සේල මුදනවා
සඳේ කුමාරි සඳ තුළ සලුව උනනවා

ආචාර්ය ගුණදාස අමරසේකර ලියූ සඳේ මායම් නමැති මේ කවිපෙල උසස් පෙළ පංතියේ දී සිංහල උගනිද්දී අපට හමුවිය. සිංහල විෂයට නිර්දේශිත වූ නව කවි සරණිය පොතේ වූ මේ කවි පෙළට ධම්මික බණ්ඩාර බොහෝ සේ පෙම් කළේ සරසවි නේවාසිකාගාරයේ වූ ඔහුගේ කුටියෙහි සඳ පෙනෙන්නට වූ දවස්වලය. එකල ඔහුට සිතුණේ ද ඒ අජීවී අප්‍රාණික ගෝලාකාර වස්තුවක් නොව, කොමල පානා, ඇස් නටවන සජීවී සුන්දර යුවතියක කියාය. එසේ සිතමින්ම ඔහු මේ සඳ යුවතියට අප්‍රමාණව පෙම් බැන්දේය.
ඒ හැම විටෙකම ඔහුට සිහිපත් වූයේ සඳේ මායම් කවි පෙළයි.
ධම්මික බණ්ඩාර ‘‘ටියුෂන්’’ පටන් ගත්තේ ද සරසවි විද්‍යාර්ථියකුව සිටි සමයේදීමය. ඔහු කවියට පෙම් බැන්දේ ද එසමයෙදීමය. ‘‘අහෝ මිත්‍රවරුනි, නමින් සිය කුළුඳුල් කාව්‍ය සංග්‍රහය ලියා පළ කළේද ඒ කාලයේදීමය. මේ නිසාම නව කවි සරණියේ වූ හැම කවියක් දෙසම වෙනස් දෘෂ්ටිකෝණයකින් බලන්නට ඔහු පෙළඹිණි. සිය සිසුවන්ට සිසුවියන්ට ඔහු නව කවි සරණයේ වූ හැම කවියක්ම විස්තර කළේ රස වින්දේ ඒ කවිවල ගැඹුරු පත්ල අතපත ගාමිනි.
හඳ දන්නෙ නෑ හවසට පායලා උදේට බැහැලා යන බව. හඳ දන්නෙ නෑ සඳේ රැස් කැරලි සෞම්‍ය බව. හඳ දන්නෙ නෑ ගස්වලට හඳ එළිය වැටිලා පොළවෙ මැවෙන සෙවණැලිවල ලස්සනක් තියෙන බව. හඳ දන්නෙ නෑ අපේ රටේ විතරක් නෙවෙයි, මුළු ලෝකෙම ඉන්න කවි ලියන එවුන් සඳට පිස්සුවෙන් වගේ ආදරේ කරන බව. හඳ දන්නෙ නෑ තරු කැට හඳට පෙම් කරන බව. ප්‍රේමයක් කියලා දෙයක් තියෙන බවවත් ඔය හඳ දන්නෙ නෑ. හඳ කියන්නෙ පෘථිවියට තනි රකින ග්‍රහ වස්තුවක් විතරයි. ඔය හඳෙත් පස් තියෙනවා, ආවාට තියෙනවා. ඉරේ එළිය වැටුණාම ඒ එළිය පරාවර්තනය කරනවා. භ්‍රමණය වෙනවා. එච්චරයි. ඒත් අපි ඔය හඳ ගැන හීන මවනවා. හඳ දිහා බලා ඉන්නවා. හඳට පණ දෙනවා. හඳට ගැහැණු බව ආරෝපණය කරනවා. සඳ දෙව්දුව සඳ කුමරි කියලා අපි හඳට ආදරෙන් කතා කරනවා.
ධම්මික බණ්ඩාර කියන්නේ සිය සිසුන් සිසුවියන් සිනාසෙද්දීය. එහෙත් රාත්‍රියේ දී හුදෙකලා කුටියේ සිට ඔහුද හඳට පෙම් කවි ලීවේය.
හැබැයි ඔහුට සඳ කුමරිය මනාලියක වූයේ සරසවියෙන් පිටමංව පූර්ණ කාලීනව ගුරුවරයකු ලෙස සේවය කළ සමයේදීය. ඒ සිරසේ ඉල්ලීමක් වෙනුවෙනි. සිරස නිර්මාණය කළ ගීතයක් වෙනුවෙන් ධම්මික සඳ කුමාරි මගෙ මනාලි ලියා ඩෙනිස්ටර් පෙරේරා ලවා සංගීතවත් කර ගත්තේය. ගීතයට හඬ දුන්නේ චන්දන ලියනආරච්චි ප්‍රවීණයාය.
ඔහු මේ ගීතය ලිව්වේ යුවතියකට සිතින් පෙම් බැන්ද ගැටවරයකුගේ හැඟීම්වලිනි. තාමත් ඇයට ආදරය ප්‍රකාශ කරවත් නැති ඒ ගැටවරයා ඇගේ රුව සඳේ කැලුම්වලින් නිර්මාණය කර ගත්තේය. ඒ සඳ යුවතිය ඔහුට ආදරය දෙතැයි යන්න ඔහුගේ අපේක්ෂාව විය.
තම හුදෙකලා පාළු කුටියේ කවුළුව ඔහු ඇර තබයි. යටලීයෙන් පවා නාරිලතා මල් පූදින ඒ කාමරයට අර කවුළුවෙන් එබී සඳ බලනු ඇත. ඉනික්බිති සේල පලස කාමරය වෙත එලන සඳ හෙමින් හෙමින් හොර ගමනින් ඔහුගේ කුටියට පාළු හුදෙකලා තනි යහනට පිවිසෙනු ඇත.
තරුණ සිතේ එබඳු අනුරාගී ප්‍රාර්ථනාවක් පිළිසිඳෙද්දීම සිදුවෙන්නේ සඳ එළිය මැකී යාමය. තම සුන්දර ආදරණීය ප්‍රාර්ථනා ගොන්න සිඳී බිඳී යද්දී ඔහු අහස බැලුවේය. සඳ වලාකුලක ග්‍රහණයට අසුව තිබේ.
ඉතින් තවදුරටත් ඒ සඳ මනාලිය ඔහුගේ නොවේ. වලාකුළු නපුරා ඇය පැහැරගෙන ගොසිනි. ඉතින් ඔහුට හඬන්නට සිදුවේ.
ධම්මික අතින් ලියැවුණ මේ ගී පදවැල් වෙනස් හැඩයක් විය. වෙනස් හැඟුමක් ද විය ඒ හැඟුම, ඒ හැඩය රසිකයන් ආදරයෙන් වැළඳ ගත්හ. චන්දන ද ඔහුගේ ප්‍රසංගවල දී මේ ගීතය ගැයුවේය. කෙසේ වෙතත් මීට මාස දෙකකට තරම් පෙර නදී සෙනෙවිරත්න නම් යුවතියක මේ ගීතය ‘‘කවර්’’ ගීතයක් සේ ගායනා කළාය. ඒ නිසා යළිත් ඉස්මතු වූ සඳ කුමාරි මගෙ මනාලි ගීතය යළිත් රසික මනදොල මෝහනයට පත් කළේය.
නදී සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ උපාධි අධ්‍යාපනය ලබයි. සඳ කුමාරි මගෙ මනාලී ගීතයට ඇය එක් කළ නැවුම් හඬ අද එය ජනප්‍රියම ගීතයක් බවට පත් කර තිබේ. 
‘‘මේ දවස්වල ඒ ගීතය උන්මාදයක් වෙලා තියෙන්නේ. මේ වෙනකොට ලක්ෂ හතළිහක් විතර බලලා.’’ 
ධම්මික බණ්ඩාර කීවේ ආඩම්බරයෙනි. හන්තානෙට පායන සඳ, මගේ පුංචි රෝසමලේ, ඔබ ආයෙමත් ඇවිදින් වැනි ගී ලියා රසිකයන් උමතු කළ ධම්මික බණ්ඩාර, අද ප්‍රසිද්ධව ඇත්තේ ගී රස හාරා අවුස්සා, රසිකයන් ළඟ තබා, රසිකයන් රසවතුන් බවට පත් කරන ගී රස පරීක්ෂකයකු ලෙසිනි. බොහෝ ගුවන් විදුලි නාලිකාවල ද රූපවාහිනී නාලිකාවල ද ධම්මික බණ්ඩාරගේ ‘‘ගී රස වින්දන’’ වැඩසටහන් ප්‍රචාරය වේ. ගුරු භූමිකාවටත් වඩා ‘‘ගී රස පරීක්ෂක’’ භූමිකාව ඔහුට ගැලපේ යැයි සිතමි. එවිට ඔහු අතින් ලියැවෙන ගීතයක වුවද ඇති රසය, කලතා මිරිකා ලෙව කා බලා රසිකයාට තිළිණ කළ හැකි නිසාය.

සඳ කුමාරි මගෙ මනාලි මේ තරම් ජනප්‍රිය වමේ රහස ද එයම විය යුතුය.

ශාන්ත කුමාර විතාන