සාරංගගෙන් ලැබෙන ආදරය - රැකවරණය - හයිය මට වචනවලින් කියන්න බැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

Q සාරංගයි ඔයයි - කොහොමද ජීවිතය දැනෙන්නෙ?

එයත් එක්ක මගේ ජීවිතය පටන්ගෙන මේ ගෙවිලා යන්නෙ තුන්වැනි අවුරුද්ද. ඇත්තටම මට දැනෙනවා ඒ අවුරුදු තුන මාව හුඟක් වෙනස් කරලා කියලා. දුවක් විදිහට අම්මා තාත්තා එක්ක ගෙවපු ජීවිතයෙදි ඇත්තටම මම එයාලගෙ ජීවිත අස්සෙ හැමදාම හිටියෙ බබෙක් විදිහට. සාරංග ළඟට ආවට පස්සෙ ඒ බබා හුඟක් වෙනස් වුණා. අම්මා තාත්තා එක්ක ජීවත් වුණේ සැප සම්පත් හැමදේම පිරිච්ච ජීවිතයක්. හැම තැනකදිම මාව එක්ක යන්න, එක්ක එන්න, මම ඉල්ලන හැමදේම අරන් දෙන්න ඒ අම්මට තාත්තට පුළුවන් වුණා. ඒ සැප සම්පත්, ඒ ජීවිතය, ඒ ආදරය රැකවරණය හැමදේම සාංරගත් මට දුන්නා. ඒත් දුවක් බිරිඳක් බවට පත්වෙන භූමිකාවෙදී ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා කියලා මට තේරුණා. මට දැනුණෙ ඒ ජීවිතය මම මුහුණ දෙන්න ඕනෑ ලොකු අභියෝගයක් විදිහට. අපි දෙන්නා විවාහ වෙලා ටික කාලෙකින් කොවිඩ් ප්‍රශ්නෙට මුහුණ දෙන්න වුණා. මටයි අම්මටයි තාත්තටයි අපි ඔක්කොටම කොවිඩ් හැදුණා. ඉතින් හැම දේකදිම මම විතරක් නෙවෙයි, මගේ අම්මා තාත්තත් බලාගත්තෙ සාරංග. හැමදේම මැද්දෙ ජීවිතය සුන්දරයි කියන එක තමයි මට දැනෙන්නෙ.  

Q සාරංගගෙන් ලැබෙන සහයෝගය ඔයාගේ ජීවිතයට හයියක් විදිහට දැනෙන්නෙ කොහොමද? 

මට සාරංගගෙයි ලැබෙන සහයෝගය මෙච්චරක් කියලා වචනවලින් කියන්න බෑ. එහෙම කියන එක එයාට කරන අසාධාරණයක්. මට වඩා අවුරුදු හතරක් එයා වයසින් වැඩිමහල්. අත්දැකීම්වලින් පරිණතයි. ඒ නිසා ජීවිතය ගැන මුහුකුරා ගිය අවබෝධයකින් ජීවිතේ සමහර තැන් මට කියලා දෙන්න, මට පාර පෙන්නන්න සාරංගට පුළුවන්. අපි බැඳලා මාස ගණනකින් මගේ තාත්තා අසනීප වුණා. ඒක ජීවිතේ මුහුණ දුන්න පුදුමාකාර හිත් වේදනාවක් සහ ගැටලුවක්. ඒ වෙලාවෙ සාරංග මගේ තාත්තට සැලකුවේ එයාගෙම තාත්තට වගේ. හැමදේම බැලුවෙ එයා. මම ජීවිතේ දැන් මොන තීරණයක් ගත්තත් ඒ ගන්නෙ සාරංගත් එක්ක කතා කරලා. සාරංගගෙන් අහලා. අනිත් එක එයාට සෞඛ්‍ය ගැන, බෙහෙත් ගැන හරි ගැඹුරු අවබෝධයක් තියෙනවා. තාත්තට අසනීපයක් වුණත්, මගේ ගෙදර කෙනෙකුට අසනීපයක් වුණත් මොකද කරන්නෙ කියලා සාරංගගෙන් අහලා බලන පුරුද්දක් තියෙනවා. ඇත්තටම මගේ සැමියා සාරංග කළුගලගේ කියන්නෙ වයසට වඩා හුඟක් පරිණත කෙනෙක් කියලයි මට දැනෙන්නෙ. 

Q එයා දිහා බලපුවාම හිතෙන්නෙ වැඩිපුර නිශ්ශබ්ද කෙනෙක් වගේ. ඒක ඇත්තටම එහෙමද?

නිශ්ශබ්ද කෙනෙක් වගේ පෙනුණට මාත් එක්ක ඉද්දි නම් එහෙම නිශ්ශබ්ද නෑ. එයාට හුඟක් සමීප අයත් එක්ක හරි සරල විදිහට කතා කරලා විනෝදයෙන් ඉන්න කෙනෙක් එයා. හිටපු ගමන් කේන්ති යන වෙලාවලුත් තියෙනවා. සාරංගගෙ මම දැක්ක හොඳම ලක්ෂණයක් තමයි එයා සතුන්ට හරිම කරුණාවන්ත කෙනෙක්. මම සත්තුන්ට ආදරෙයි. ඒත් මම අතගාන්න එහෙම බයයි ඉස්සර. ඒ වගේම වැඩිය ළඟට ගන්න කැමතිත් නෑ. ඒත් සාරංග සත්තුන්ට දක්වන ආදරය දැක්කම ඇත්තටම මම පුදුම වුණා. දැන් අපේ ගේ වටේට ඉන්න බල්ලො එහෙම සාරංග ගැන තියෙන ඉවට වෙන්න ඇති මම පාරේ ගියත් මගේ වටේට එනවා. අපි වාහනේ කොහෙ හරි ගිහිල්ලා ආවත් වාහනය පස්සෙ එයාලා දුවගෙන එනවා. සත්තු මිනිස්සුන්ට දක්වන ඒ ආදරය හරිම අවංකයි. 

Q කලාවත් එක්ක ජීවිතේ ඔයා යන ගමනක් තියෙනවා. ඒ ගමන වෙනුවෙන් එයාගෙන් ලැබෙන සහයෝගයයි ආශිර්වාදයයි කොයි වගේද?

ඇත්තටම එයා කසාද බඳිද්දි මම එහෙම හුඟක් ජනප්‍රිය නෑ. මාව දැක්කට මිනිස්සු අඳුනන්නෙත් නෑ. අපි නිදහසේ අත් අල්ලගෙන ගමන් ගියා. ඒත් දැන් එහෙම නිදහසේ යන්න බැහැ. මාව අඳුරගෙන ළඟට ඇවිත් කතා කරනවා. ඇත්තටම මම හුඟක් ජනප්‍රිය වුණේ මගේ විවාහයෙන් පස්සෙ. මම එහෙම ජනප්‍රිය වෙද්දි සාරංග ඒ දිහා බලලා හුඟක් සතුටු වුණා. මම රැජිනට ඇන්දා ප්‍රසංගය කරද්දි එයා දුන්න සහාය වචනවලින් කියන්න තේරෙන්නෙ නෑ. එයා මට හැම තිස්සෙම කිව්වෙ ඔයාට හැකියාවන් ගොඩක් තියෙනවා. ඒ දේවල්වලින් ඔයා උපරිම තලයකට එන්න ඕනෑ කියන එක. මම ගායිකාවක් විදිහටත් නර්තන ශිල්පිනියක් විදිහටත් නිළියක් විදිහටත් මගේ කලා ජීවිතේ ගෙනියද්දි මම සංගීත සංදර්ශනයකට ගියත්, ෂූටිං ගියත් පුළුවන් හැම තැනකදිම රුයක් දවාලක් මහන්සියක් බලන්නෙ නැතුව සාරංග මගෙත් එක්ක එනවා. එයා එහෙම එන එක මට හරිම පහසුවක්. මොකද ඒක පුදුම රුකවරණයක්. මම වෙනුවෙන් මාව බලාගන්න කෙනෙක් ඉන්නවා කියන හැඟීම එයා ළඟ ඉද්දි මගේ පපුවටම දැනෙනවා. 

Q තාත්තා කෙනෙක්ගෙ ආදරය දුවකට දැනෙන්නෙ කොහොමද?

තාත්තා කෙනෙක් කියන්නෙ දුවකගෙ ජීවිතේ වටිනාම චරිතය කියලා හිතෙන කාලයක් තියෙනවා. ඒ වටිනාකම කවදාවත් අඩු වෙන්නෙවත් වෙනස් වෙන්නෙවත් නෑ. කවුරු ජීවිතේට ආවත් තාත්තා හිටපු තැන ගන්නත් කෙනෙකුට බැහැ කියලා මට හිතෙනවා. මටත් මගේ අක්කටත් පිරිමි හිතන දේවල්, පිරිමියෙක්ගෙ පොදු ගතිගුණ, පිරිමියෙක් එක්ක ගැහැනියක් කටයුතු කරන්න ඕනෑ විදිහ, මේ හැමදේම කියලා දුන්නෙ තාත්තා. දුවකට හොඳ තාත්තා කෙනෙක් ඉන්නවා නම් ඒ දුව කවදා හරි ප්‍රාර්ථනා කරන්නෙ ඒ තාත්තගෙ ගතිගුණ තියෙන පිරිමියෙක් ජීවිතේට එකතු කර ගන්න. තාත්තා වගේම අම්මත් අපිව උස් මහත් කළේ පුදුමාකාර ආදරයක් මැද්දෙ. අපිට කියලා දුන්නෙ ආදරය, මනුෂ්‍යත්වය, සාරධර්ම එක්ක දුවේ හැදියන් කියන කතාන්දරය. මගේ වාසනාවකට මට හුඟාක් හොඳ, ගුණවත් මව්පියන් වගේම මහත්තයෙකුත් හම්බවුණා. ඇත්තටම මම තාත්තා කෙනෙක්ගේ ආදරය උපරිමයට වින්ද සහ විඳින දුවක්. 

Q තාත්තා කෙනෙක්ගෙ අම්මා කෙනෙක්ගෙ ආදරය නොලබන දරුවො මේ ලෝකෙ ඉන්නවා. ඒ පසුබිම තුළ ජීවිතය වරද්දගන්න වගේම ඕනෑම දෙයක් දරාගෙන තමන්ට ඕනෑ ජීවිතය හොයාගන්න දරුවොත් ඉන්නවා. එහෙම දරුවන් ගැන අමන්ද්‍යාට මොකද හිතෙන්නෙ?

මට හිතෙනවා අම්මා තාත්තා නැති දරුවො ජීවිතේ වරද්දගන්න තැන් වැඩියි කියලා. දරුවෙකුට අවශ්‍ය ආදරය, රුකවරණය නැතිවුණාම දරුවෙක් සමහරවිට සමාජයට වෛර කරන කෙනෙක් වෙන්න පුළුවන්. තමන්ට ආදරය නොලබන කෙනෙක් පෙරළා ලෝකයට ආදරය කරන්නෙ කොහොමද කියලා මට හිතෙනවා. හැබැයි ඒ වගේම උත්සාහය, අරමුණ, පෙර වාසනාව, ආත්ම ශක්තියත් එක්ක තමන්ට කාත් කවුරුත් නැතිවුණත්, මොන දේ නැතිවුණත් තමන්ගෙ ජීවිතේ අත් නොහරින, ජීවිතේ ජය ගන්න දරුවොත් ඕනෑ තරම් මේ ලෝකෙ ඉන්නවා. 

Q අමන්ද්‍යා ඔයා ආදරය නිර්වචනය කරන්නෙ කොහොමද?

මෙහෙමයි. ජීවිතේ එක එක අවධිවලදි අපි ආදරේ විඳින හැටි සහ ආදරේ බාරගන්න හැටි වෙනස්. වගකීම් එක්ක ජීවිතේ තේරෙන්න තේරෙන්න ආදරේ දිහා පරිණත විදිහට බලන්න හිත පුරුදු වෙනවා. දැන් මම ආදරේ කියලා හිතන්නෙ සම්පූර්ණ අවබෝධයත් එක්ක එකිනෙකා හා ජීවිතේ බෙදා ගැනීමට. අවබෝධය නැති තැන ආදරය ගිලිහී යනවා කියලා තමයි මට හිතෙන්නෙ. 

Q ඒ කාලෙ තාත්තයි අම්මයි අක්කයි එක්ක ගෙදර වෙසක් සමරපු හැටියි අද සාරංග එක්ක වෙසක් සමරන හැටියි දකිද්දි ඒ හැඟීම්, මතක දැනෙන්නෙ කොහොමද?

ඉස්සර පුංචි කාලෙ මම හරි ආසයි වෙසක්වලට. කොහොමත් අපේ ගෙදර අවුරුදු, වෙසක් වගේ දේවල් සමරන්න අපි හැමෝම හරිම ආසාවෙන් බලන් ඉන්නෙ. චාරිත්‍ර කරන්න අපි කොහොමත් හරි ආසයි. මායි අක්කයි කූඩු හදන්න දන්නෙ නෑ. අපි කරන්නෙ කූඩු ගෙනල්ලා අලවලා ලස්සන කැටයම් කපලා ඒවා ලෑස්ති කරන එක. තාත්තගෙ වැඩේ ලයිට් වැල් දාලා ඒවා ලස්සනට එල්ලන එක. අපි පුංචි කාලෙ හරියට බකට් පත්තු කළා. වැස්සොත් ඒ බකට් තෙමිලා යනවා. ඉරෙනවා. සමහර වෙලාවට ගිනි ගන්නවා. ඒ දිහා බලන් ඉන්න එක වෙනම කතාන්දරයක්. ගිය අවුරුද්දෙ වෙසක් එකට මම තාත්තලටත් එක්ක අපේ ගෙදර කූඩු ඇලෙව්වා. ඉස්සර තාත්තා කරපු වැඩේ මේ සැරේ කළේ සාරංග. ඒ කියන්නෙ මම හදන කූඩු එල්ලුවෙ සාරංග.

Q ජූලි 19 වැනිදා ඔයා ආයෙමත් රැජිනට ඇන්දා ප්‍රසංගයක් වෙනුවෙන් ලෑස්ති වෙනවා. එහෙම නේද අමන්ද්‍යා?

ඔව් ජූලි 19 The Taprobane හි තමයි මගේ ප්‍රසංගය පැවැත්වෙන්නෙ. ජූනි මාසෙ මුල ඉඳන් ඒ ප්‍රසංගයේ ප්‍රවේශ පත්‍ර වෙන්කර ගන්න මගේ ප්‍රේක්ෂකයන්ට පුළුවන්. ගිය සැරේ ප්‍රසංගයට මම නොහිතුව විදිහට ප්‍රසංශනීය ප්‍රතිචාර මට ලැබුණා. මේ තරම් ඉක්මනින් තවත් ප්‍රසංගයක් කරන්නට සූදානම් වීමට මගේ ප්‍රේක්ෂකයන්ගෙන් ලැබුණු ඒ ප්‍රතිචාර, ආදරය, දිරිගැන්වීම් ඇත්තටම ලොකු හේතුවක්. ඒ වගේම මම යන ගමන දිහා බලාගෙන මගේ තාත්තා විඳින සතුට තාත්තට තව තවත් දෙන්න මම ආසයි. ඒ වගේම සාරංග මට දෙන ධෛර්ය සහයෝගය එක්ක මට තව තව දේවල් අලුතෙන් කරන්න හිතෙනවා. මේ සැරේ ප්‍රසංගයට තවත් අලුත් දේවල් හුඟක් එකතු වෙනවා. ගිය සැරේ ප්‍රසංගයේදි නොගයපු ගීත කිහිපයක් ගයනවා වගේම මමත් කතා කර කර දිගටම වේදිකාවෙ රැඳී ඉන්නවා. ඒ වගේ අලුත් අලුත් දේවල් ගොඩක් එක්ක තමයි ජූලි 19 රැජිනට ඇන්දා ප්‍රසංගය වේදිකාවට එන්නෙ.

Q රැජිනට ඇන්දා ගීතය කියන්නෙ ඔයාගේ ජීවිතේ සුවිශේෂී සංධිස්ථානයක් කියලයි මට හිතෙන්නෙ. ඔයාගෙ ජීවිතේ වෙනස් කරන්න රැජිනට ඇන්දා ගීතයට පුළුවන් වුණා. කොහොමද අමන්ද්‍යා ඒ ගීතය ඔයාට දැනෙන්නෙ?

ඇත්තටම ඒ ගීතය මගේ ජීවිතේ ලොකු වෙනසක් ඇති කරපු ගීතයක්. මම හුඟාක් ජනප්‍රිය වුණේ නොහිතුව විදිහට මම මිනිස්සු අතරට ගියේ ඒ ගීතයෙන්. ඒ ගීතයට මට ලැබුණු ප්‍රතිචාර දිහා බලද්දි ආයෙත් ගීතයක් කරද්දි මට හුඟාක් සැරයක් හිතන්න වෙනවා. මොකද ඒ ප්‍රේක්ෂක ආදරයට මම හැමදාමත් මගේ ආදරය සහ ගෞරවය දිය යුතු නිසා. මට හිතන්න වෙනවා මිනිස්සු වැඩි දෙනෙක් ප්‍රශංසනීව බාරගන්න නිර්මාණ ඔවුන්ට දිය යුතුයි කියලා. රැජිනට ඇන්දා ගීතයට තියෙන මගේ ආදරය කවදාවත් වෙනස් වෙන්නෙ නෑ. මීට කලින් මිහිරි ගීත දෙකක් මම කළා. නමුත් මගේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන් වුණේ රැජිනට ඇන්දා ගීතයට. ඒ ගීතය ලිව්වෙ මගේ තාත්තා. නාද මාලාව නිර්මාණය කළේ මගේ ජීවිතේ හම්බවෙච්ච මගේ ජීවිතේ ළඟම ආදරණීයම ගුරුතුමෙක් වූ සහන් රන්වල සර්. ගීතය රෑප රචනය කළේ ශිවා අංකල්. ජයප්‍රකාශ් සිවගුරුනාදන් කියන්නෙ මාව චූටි කාලෙ ඉඳන්ම දන්න කෙනෙක්. පළමු වතාවට මට රංගන වරම් දුන්නෙත් ශිවා අංකල්. මගේ ජීවිතේ වැදගත්ම තුන් දෙනෙක්, ආදරණීයම තුන් දෙනෙක් එකතුවෙලා කරපු ගීතයක් දෛවෝපගත විදිහට මගේ ජීවිතේ වෙනස් කළා. මේ සියල්ල මැද ජීවිතේ කියන්නෙ කොච්චර සුන්දර අත්දැකීමක්ද කියලා දුක සතුට හැමදේම මැද මම හිතනවා සහ මට දැනෙනවා. 

I සංජීවිකා සමරතුංග
සේයාරූ I සුමුදු හේවාපතිරණ

(පසුතලය - ගංගාරාමය - කොළඹ)