සහකරුවෙක් ඕනේ දරුවෙක් ඕනේ කියලා සමහර වෙලාවට හිතිලා තියෙනවා
වෙනස් චරිත නිරූපණයෙන් ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගත් රංගන ශිල්පිනියක් තමයි වොල්ගා කල්පනී කියන්නේ. ඇය නිතරම පුවත් මවන චරිතයක් කිව්වොත් නිවැරදියි. ඇයගේ ආදරය ගැන, විවාහය ගැන සතිඅන්ත පුවත්පතකට වොල්ගා මේ විදිහට කියලා තිබුණා.
ආදරය ඔබ විශ්වාස කරනවද?
ආදරය කියන දේ මම පිරිසිදු තැනක තියලා තියෙන්නේ. මගේ ආදරය කාටවත් උදුරාගන්න බෑ. ඒ වගේම මම ඒක විකුණන්නෙත් නෑ.
රංගන ශිල්පිනියක් වෙන්න ගත් තීරණය ගැන අද වොල්ගා සතුටු වෙනවද?
මම රංගනයට ආවේ ඒ ගැන හොඳට හිතලා බලලා. ඒ වගේම මේ ක්ෂේත්රයේ මම කැපවීමෙන් වැඩ කළා. සතිශ්චන්ද්‍ර මහත්මයා කියනවා වගේ මේ වෘත්තියෙදි අපිව ගෙදරින් එක්ක ගිහින් අපිට කෑම බීම දීලා මුදලුත් දීලා අපිව ගෙදරට පරෙස්සමට ගෙනත් ඇරලනවා. අපිට කොච්චර පිරිසකගේ ආදරය ලබන්න පුළුවන්ද. රංගනයේ යෙදීම මට නම් වාසනාවන්ත රැකියාවක් විදිහටයි දැනෙන්නේ.
ප්‍රේක්ෂක ආදරය වගේම ලැබෙන විවේචනත් ඔබට දරාගන්න පුළුවන්ද?
විවේචන ගැන මම ලොකුවට හිතන කෙනෙක් නෙමෙයි. කටකතාවකට වුණත් නිහඬ නොවි හරි දේ කියනවා. කිසිම දෙයකින් මාව වට්ටන්න බැහැ. මගේ නෑදෑයෝ පවා කියන්නේ මට මාර දරාගැනීමක් තියෙනවා කියලා. ලංකාවේ බොහෝ අය හොඳට වඩා ළං කරගන්නේ නරක. ඉක්මනින් වැලඳ ගන්නෙත් ඕපදූප. එය හරිම දුර්වලකමක්. නමුත් බුද්ධිමත් ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා අපේ වැඩ වලට ආදරය කරන.
රංගනය වෘත්තීය කරගෙන ජීව්ත්වීම පහසු නැති බව දැනිලා නැද්ද?
රංගනයට තිබෙන ආදරය නිසා රැඳිලා හිටියට දැන්නම් එහෙම දැනෙන්නේ නෑ කිව්වොත් බොරු. රංගනයට ආපු මුල් අවුරුදු පහේ අපි හම්බ කළා. වාහන පවා ගත්තේ ඒ හම්බ කරපු සල්ලිවලින්. දැන් තත්ත්වය එයට වඩා වෙනස්. සමහර වෙලාවට අපේ වටිනාකම කිව්වම නිර්මාණ නැතිවෙනවා. එයට වඩා ගොඩක් අඩුවෙන් රඟපාන්න කැමැති අය ඉන්නවා. නමුත් අපේ වටිනාකම තීරණය කරන්න ඕනේ අපි. කාටවත් එය තීරණය කරන්න දීම සුදුසු නැහැ. තමන්ගේ වටිනාකමක් තමන්ට හදාගන්න බැරිනම් ඒකත් ප්‍රශ්නයක්.
වොල්ගා සම්මානනීය හීනයක් සැබෑ කරගන්න මහන්සි වෙනවද?
මට හැමදාම ඕන වුණේ ජනප්‍රියත්වය නෙමෙයි දක්ෂ සහ හොඳම කොටසට එකතු වෙන්න. අපට ලැබෙන ප්‍රේක්ෂක ආදරය වාසනාවක්. ස්වභාවධර්මයේ ආශීර්වාදයක් නිසා ප්‍රේක්ෂකයන්ට මතක හිටින එකිනෙකට වෙනස් චරිත නිරූපණය කරන්න ලැබුණා. ඒ ඔස්සේ හොඳම කොටසට යන්න මම උත්සාහ කරනවා.
සිනමා රංගන ශිල්පිනියක් වෙන්න අදහසක් නැද්ද?
හොඳ චරිත නිරූපණයකින් සිනමාවට එකතු වෙන්න කැමැතියි. නමුත් ටෙලි නාට්‍යවලට තරම් සිනමා නිර්මාණවලට මට ආරධනා ලැබෙන්නේ නෑ. 'මංගල තෑග්ග' සිනමා නිර්මාණයට සම්බන්ධ වුණා. තව චිත්‍රපටයකට එකතු වෙන්න හිටියත් කොරෝනා තත්ත්වය එක්ක ඒ නිර්මාණය කල් ගියා.
වොල්ගාට විවාහයක් ගැන අදහසක් නැද්ද ?
සහකරුවෙක් ඕනේ දරුවෙක් ඕනේ කියලා සමහර වෙලාවට හිතිලා තියෙනවා. නමුත් හැම දෙයටම කලින් මගේ මනස හරි විදිහට හදාගන්න ඕනේ. මගේ ජීවිතේ කොළේකට අලුත් කරගන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ. විවාහයට කොළයක් ලබා ගෙන සතුටින් ඉන්න අය ගැන සතුටුයි. හැබැයි ඒ කොළේ මට වැඩක් නෑ.
මොනවද ජීවිතයේ සැලසුම්?
තව ගොඩක් දේවල් ඉගෙන ගන්න තිබෙනවා. ප්‍රවීණයන්ගෙන් ඒ දේවල් ඉගෙන ගෙන ක්ෂේත්රයේ කාටවත් කරදරයක් නොවී පාඩුවේ ගමනක් යන්නයි මට ඕනේ.


