HAPPY BIRTHDAY - MALANI FONSEKA (30/04/2025)

  • 30-04-2025
  • Views 975

තියෙනා රූපයකි අදටත් ඇසෙහි ඇලී

ඇගෙ රඟපෑම තුළ නොගියේ කවුද ගිලී

ඉන්නා අයුරු අදටත් තරුවක්ව දිලී

අප සිනමා ලොවේ ඇය රැජිණියයි නිළී

 

පෙන්වාලමින් ඇයගේ රංඟනයෙ සොබා

ආවේ තිස්ස සමගින් මුල් අඩිය තබා

ඒ ලෙස ආපු මේ ලස්සන පුංචි බබා

ලොකු ළමයෙක් වුණා විහිදාලමින් ප්‍රභා

 

පිළිපැද තිතට ලෙස්ටර්ගේ විධානය

කෙරුවා රංගනය හැකි ලෙස ප්‍රදානය

මෙය ඇගෙ ජීවිතෙත් ඉහළම උදානය

ඒකයි හැම අතින් එය වුණෙ නිධානය

 

මාරම ෆිල්ම් තොගයක රඟපා ඇත්තේ

කොයි අධ්‍යක්ෂකද ඇය අරගෙන නැත්තේ

ගැඹුරට ගිහින් බැලුවොත් ඇක්ටින් තත්තේ

කවියක් නෙවෙයි පොතකුයි අප ලිය යුත්තේ 

 

සෑහෙන ක්ලැසික් තොගයක අප ඇයව දුටී

එලෙසම කොමර්ෂල් පික්චර් කරපු හැටී

ඇය හට තිබුණෙ නෑ ඒ දෙක අතර ගැටී

ඒ හැම චිත්‍රපටියම අතිශයින් වටී

 

බැලුවොත් ගමන් මග දෙස ඇගෙ නැවත හැරී

සසර චේතනා වැනි වැඩ තිබෙයි කෙරී

ඒ වැඩවලදි ඇය පික්චර් ඩිරෙක්ටරී

ඒ භූමිකාවත් අමතක කරනු බැරී

 

මල් මාවතක නොව ඇය මේ දුර ආවේ

එනමුත් රිදී තිරයෙහි ජය⁣ කොඩි දෑවේ

කළ හැම චරිතයම ලෙසටම රඟපෑවේ

අමතක නොවේ තිරයට ඇය කළ සේවේ

 

එක එක චරිත දුටුවා ඇයගෙන් එමට

ඒවා කරන්නට ගත් තැත නැත සුමට

මේකත් කියන්නේ ඇය හට ඇති පෙමට

අනුරාගයේ නිළියයි ඇය නමි මෙමට


ප්‍රියන්ත කොඩිප්පිලි   

ඡායාරූප සඳුන් ගමගේ