තේ බොන්න එකතුවෙන ‘ටී 11’ ගැයූ ගීතය

  • 16-02-2021
  • Views 1120

උන්මාදව සිතක් සිතක්
පෙමක් පැතුව වතාවේ
හැඟුම් සැලෙන ලතාවේ
රසාලිප්ත කතාවේ

ජීවිතයෙහි ගිලෙන
සෙනේහයෙන් ඇලෙන
සිනහා පොකුරු හැලෙන
සිතක් සිතක වෙලෙන

උන්මාදව සිතක් සිතක්
පෙමක් පැතුව වතාවේ
හැඟුම් සැලෙන ලතාවේ
රසාලිප්ත කතාවේ

මලක්සේම දිලෙන
සිලක්සේය ලෙලන
හදක් සතුය සැලෙන
ආදරයෙන් පෙලෙන
උන්මාදව සිතක් සිතක්
පෙමක් පැතුව වතාවේ

ප්‍රියන්ත කොඩිප්පිලි ලියූ ගේය පද රචනයකට අනුව නිරංජලා මංජරී මේ ගීතය ගයන්නෙ ප්‍රවීන රංගන ශිල්පිනියන් වන කෞශල්‍යා ප්‍රනාන්දු, චාන්දනී සෙනෙවිරත්න, චමිලා පීරිස්, අමා විජේසේකර, සුජානි මේනකා, සමාධි ලක්සිරි, නිල්මිණි සිගේරා සමගයි. නිරංජලා මංජරි ගායන ශිල්පිනියක වුවද චාන්දනී, කෞශල්‍යා ඇතුළු අනෙකුත් රංගන ශිල්පිනියන් ගායනයෙන් නිර්මාණ බිහිකළ ශිල්පිනියන් නොවෙයි. ගායිකාවන් නො වූ මේ ප්‍රවීණ රංග ශිල්පිනියන් මේ විදියට ගීතයක් ගයන්න එක්වුණේ කොහොමද?
‘මම මගේ සංගීත දිවියේ මුලින්ම ගීතයක් ගැයුවේ මීට වසර පහළොවකට විතර පෙරදි, ඒ විදියට ආ ගමනේදි වයස 15 දී විතර. 'Early Breez' සංගීත කණ්ඩායම එක්ක ගී ගැයුවා. එ්කේ නියමුව වෙලා හිටියෙ සම්පත් ජයසුන්දර. වසර ගණනාවකට පසුව මට මේ අය නැවත වතාවක් ෆේස්බුක් ඔස්සේ හමුවුණා. සම්පත් අයියා නැවතත් මට සිංදුවක් කියන්න  යෝජනා කළා. ඒ​ෙක වචන ‘කොඩි’ අයියාගෙන්. සෑහෙන කාලයකට පෙර කළ ට්‍රැක් එකකට අනුවයි එද‌ා කොඩි අයියා ඒ  ගීතය ලියුවේ. ඒත් විවිධ තාක්ෂණික ප්‍රශ්න සහ නොයෙක් හේතු නිසා ඒ ගීතය අපට එළියට ද‌ාන්න බැරිවුණා. ඒ අතරවාරයෙදි තමයි සම්පත් නැවත වතාවක් මේ ට්‍රැක් එකට ගීතයක් කරමුද කියලා මගෙන් ඇහුවෙ. පෙර එළිදක්වන්න බැරි වූ ගීතය ලියා තිබුණෙත් කොඩි අයියා නිසා එයාටම කියලා මේ ට්‍රැක් එකටත් ගීතය ලියවා ගන්න කියලා කිව්වා. ඔන්න ඔය විදියට තමයි ‘උන්මාදව සිතක්’ ගීතය කොඩි අයියා ලියලා දුන්නෙ.’
 ගායන ශිල්පිනී නිරංජලා මංජරී කොඩි ලියූ උන්මාදව සිතක් නිර්මාණය වූ හැටි මුලින්ම අපට කිව්වේ ඒ විදියටයි. එතකොට මීට පෙර කවද‌ාවත් ගී ගයා නැති චාන්දනී සෙනෙවිරත්න ඇතුළු ප්‍රවීන රංග ශිල්පිනියන් රොත්ත මේ විදියට ගීතයකට උන්මාද වුණේ කොහොමද?
 ඉඳහිටලා එකතු වෙලා තේ බොන්න සැදී පැහැදී ඉන්න අපේ කණ්ඩායමක් ඉන්නවා. මේ කණ්ඩායමට අපි නම ද‌ාලා තියෙන්නේ ‘ටී-11’ (ටී ඉලෙවන්) කියලයි. ඇත්තටම මේ කණ්ඩායම එකතු වුණේ ‘බර්නාඩාගේ සිපිරිගෙය’ නාට්‍ය වේදිකාගත වූ දිනවලදියි. චාන්දනී, නිල්මිණි බුවනෙක, කෞශල්‍යා ප්‍රනාන්දු, චමිලා පීරිස්, නදී කම්මැල්ලවීර, සුජානි මේනකා, අමා විජේසේකර, සමාධි ලක්සිරි සහ ශිරන්ති මල්ලිකාරච්චි (එයා තමයි ‘බර්නාඩා’ නාට්‍යයේ ඇඳුම් නිර්මාණය කළේ). අපි ඉතින් හමුවුණාම සාහිත්‍ය, සංගීතය, චිත්‍රපට ආදී විවිධ විෂයයන් ගැන කතා කරනවා. මේ විදියට සෙට්  වෙච්ච මොහොතකදී ‘‘තොපි කැමැතිද ගීතයක් කරන්න’’ කියලා මම යෝජනාවක් ගෙනාවා.
‘‘පිස්සුද මම කවද‌ාවත් සිංදු කියලා නැහැ. ලැජ්ජා කරවන්න එපා’’ කියලා ගත් කටටම චාන්දනී කිව්වා. ‘‘ආ හරි හරි එහෙනම්, මමයි කෞෂි අක්කයි මේ ගීතය කරන්නම්කො’’ කියලා ඒ පාර මම කිව්වා.
 ‘‘අනේ අනේ එහෙනම් මාත් එනවා’’ කියලා ඒ වෙලාවෙ එතැන හිටපු නිල්මිණි බුවනෙක කැමැත්ත පළකළා.
 මගේ ලබන ඇත්මේ පැතුම මම ගායිකාවක් වේවා. මට සිංදු කියන්න හැකියාව ලැබේවා කියලා චමිලා අක්කත් එයාගෙ අදහස කිව්වා.
 අනේ මට බිමල් නිකමටවත් සිංග් කරන්න අවස්ථාවක් දීලා නැහැ. ඒ නිසා මේ අවස්ථාව මට දෙන්න අනේ. මම පෙන්වන්නම්කො මිනිහට මගේ වැඩ කියලා සුජානි එයාගෙ අදහස කිව්වා. සමාධි ලක්සිරිත් එයාගෙ කැමැත්ත ප්‍රකාශ කළා. අමා කොහොමටත් ගායනවනේ මේ විදියට ‘උන්මාදව’ මේ ගීතය ගියන්න අපි පෙළ ගැහෙද්දි
 ‘‘මගේ අම්මෝ මම නම් මේ දිනවල කොහෙවත් එන්නෙ නැහැ’’ කියලා ‘කෞෂි අක්කා’ කිව්වා.
 එයා කොරෝනා වලට මාර බයයි. හරියට පරිස්සම් වෙන කෙනෙක්.
 කොයි හැටි වෙතත් ‘ටී-ඉලෙවන්’ කණ්ඩායමේ ඔක්කෝමලාම නැතත්, මොකද නිල්මිණි බුවනෙක ඉන්නෙ ඇමෙරිකාවේ. නදී ඕස්ට්‍රේලියාවෙ. ඉතිරි අපි විද්‍යා මුණසිංහගෙ රෙකෝඩින් ස්ටූඩියෝ එකට එක්වෙන්න කතා කරගත්තා. ඒක තියෙන්නෙ පන්නිපිටියෙ.
 නිරංජලා මංජරී මේ විදියට ‘උන්මාදව සිතක්’ ගැන විස්තර කරද්දි මේ උන්මාදයේ හිමිකරුවා වන ප්‍රියන්ත කොඩිප්පිලි හෙවත් කවුරුත් ආදරයට අමතන ‘කොඩි’ ගීතය රෙකෝඩ් කරන දවසෙ පැත්තකට වෙලා බලාගෙන හිටියෙ මේ මොකද වෙන්නෙ කියලයි. එද‌ා ඒ මොහොතේ මේ ප්‍රකට නිළියන් මැද්දට වෙලා එයාලා ගැයූ ගීතය නිර්මාණය වූ අයුරු කොඩි විස්තර කළේ මේ විදියටයි.
 මම එද‌ා රෙකෝඩින් කරන තැනට යනකොට උදේ 11 ට විතර ඇති. මේ ප්‍රවීන ශිල්පිනියන් සෙට් එක ඒ වන විටත් එතැනට ඇවිල්ලා හිටියෙ. මේ ගීතය ඇත්තටම කිසිම ආර්ථික වාසියක් වෙනුවෙන්, නැත්නම් මුදලක් හම්බ කරන්න කළ එකක් නෙවෙයි. මේ අපි හැමෝටම දැනිච්ච නිසා හැමෝම තමුන්ගේ ස්වකැමැත්තෙන් ඉදිරිපත් වුණේ. රිහසල් දවසෙත් එක එක්කෙනා කෑම හද‌ාගෙන ඇවිත් කට්ටිය සොඳුරු හමුවකට එක් වුණා වගෙයි  හිටියේ. රෙකෝඩින් දවසෙදිත් එහෙමයි. ‘කෞෂි’ අක්කගෙ සැමියා ආචාර්ය චන්දන අලුත්ගේ  ඇවිත් හඬ ගැන පොඩි කියා දීමකුත් කළා. ප්ලෑන් නොකර මේක වීඩියෝ කළේ නාමල් ජයසිංහගෙ ගෝලබාලයින් පිරිසක්. තිරයෙන් පිටුපස දේ දකින්න අපි බොහෝ විට ආසයිනෙ. මේ ගීතයේ වීඩියෝව පුරාව තියෙන්නෙ ඒ ස්වභාවයයි. ඒ නිසාම වෙන්න ඇති  යූටියුබයට ද‌ාලා දින දෙක තුනක් යන්න කලින් වැඩි පිරිසක් මෙය ග්‍රහණය කර ගත්තෙ. මේ ගීතයෙහි තියෙන්නෙ පොඩි බයිලා රිද්මයක්නෙ. ඒ නිසා ඉදිරියේදි මීට වඩා නිර්මාණාත්මක වීඩියෝවක් ලෙස ඒ කියන්නෙ මේ ප්‍රවීණ රංග ශිල්පිනියන්ගෙ සැබෑ ජීවිත ගත කරන විදිය, එයාලා කන බොන, යන එන තැන්වලට ගිහින්, ඒ සැබෑ ස්වරූපයට  අනුව මියුසික් වීඩියෝවක් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.
‘කොඩි’ එයාගෙ ‘උන්මාදව සිතක්’ තිරය පිටුපස සිට දුටු දේ ගැන අපට කිව්වේ ඒ විදියටයි.
 එද‌ා මේ ගීතය රෙකෝඩ් කරන දවසෙදි බිමල් සුජානි ගැන කොච්චර නම් උනන්දු වුණා ද කිව්වොත් ඊට ඉස්සෙල්ලා දිනවලදී එයාට අයිස්ක්‍රීම් එකක්වත් කන්න දීලා නැහැ. උණුවතුර පොව පොවා තමයි ඉඳලා තියෙන්නෙ. මේකෙ ලස්සනම වැඩේ වුණේ ගීතය රෙකෝඩ් කරලා ඉවර වුණාමයි. මේ වැඩේ කොච්චරට නැගල ගියාද කිව්වොත් මීට වඩා තව හොඳට ගයන්න තිබුණානෙ කියලා හිතලා එක්කෙනාට එක්කෙනා හොරෙන් රෙකෝඩින් වලට දින ද‌ාගන්න තරමටම උනන්දු වෙලා. මොකද ඉතින් වේදිකාව හොල්ලපු ප්‍රවීණ ශිල්පිනියන් පිරිසක්නෙ. විහිළුවට දෙයක් කළත් එයාලා හාස්‍යයට ලක් වෙන්න අකමැතියි. නිර්මාණශීලි චරිතවල හැටි එහෙම තමයි.

සඳුන් ගමගේ

20210215Song (1) 20210215Song (2) 20210215Song (3) 20210215Song (4) 20210215Song (5)