දැන් මගේ කටහඩ දුර්වලයි, කතාබහකරනකොට වචන ටිකක් පැටලෙනවා

  • 30-01-2021
  • Views 1017

මේ දවස්වල මම ගෙදරට වෙලා විවේකයෙන් කාලය ගත කරනවා. දැන් මට ඉස්සර වගේ වැඩ කරන්න අමාරුයි. අසනීප තත්ත්වය නිසා මම ආපහු රඟපාන අදහසක නැහැ. මම ඒ කාලේ දායක වුණු නිර්මාණ විකාශනය වෙනකොට ඒවා නරඹනවා. ඇත්තටම සතුටුයි. ගොඩක් වෙලාවට මට රම්‍යා වනිගසේකර, දයාන් විතාරණ, බුද්ධදාස විතානාච්චි වගේ රංගන ශිල්පීන්, ශිල්පිණියන් මට නිතරම කතාබහ කරලා මගේ තොරතුරු විමසනවා. ඔවුන්ට මාව බලන්න එන්න නම් විදිහක් නැහැ. මොකද මේ දවස්වල කොරෝනා වසංගතය නිසා ඔවුන්ට මාව බලන්න එන්න විදිහක් නැහැ. අද කාලේ නිර්මාණ බලනවා. ඒවා දැක්කහම මට සතුටුයි. අද හොඳ දක්ෂ නළුවෝ ඉන්නවා. ඔවුන්ගේ හැකියාවන් ගැන දැක්කහම මට ඇත්තටම සතුටුයි.

* අපි ආපහු අතීතයට හැරෙමු නේද?

ඇත්තටම මාව නළුවෙක් කරන්න මුලින්ම අඩිතාලම වැටුණේ පාසලෙන්. ඒ කාලේ අපේ මව්බස පොත්වල ඒ වගේම කුමාරෝදය පොත්වල පුංචි පුංචි නාට්‍යමය ජවනිකා තිබුණා. ඔන්න ඕවා අපි අන්තිමේදී කළා. ඔය කාලේ තමයි අපිට නාට්‍ය රංගනය ගැන මුල්ම පාඩම ලැබුණේ. ඊළඟට මම ගමේ පාසැලෙන් ඒ කියන්නේ පුස්සැල්ලාව මහා විද්‍යාලයෙන් අස්වෙලා තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලයට ගියා. එතැනදී තමයි මට නාට්‍ය කියන්නේ මොකක්ද?. වේදිකාව කියන්නේ මොකක්ද? කියලා නිවැරදි අවබෝධයක් ලබාගන්න පුළුවන් ගුරුවරු ටික හම්බවුණේ.

නාට්‍ය ක්‍ෂේත්‍රය ගැන කතා කරන කොට කිසිසේත්ම ආගන්තුක නොවන කිිහිපදෙනෙක්ම එකල තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලයේ සේවය කළා. ආරියවංශ රණවීර, ජයසුමන දිසානායක, දයා අල්විස් වැනි අයගේ ඇසුර මට ලැබෙනවා. ආරියවංශ රණවීරයන් හදපු ගිරිකූඨ නාට්‍යයේ සීගිරි කාශ්‍යප මම රඟපෑ මුල්ම චරිතය.

ඒ කාලේ මුළු රටේම පුදුමාකාර නාට්‍ය ප්‍රබෝධයක් තිබුණා. පාසැල්වලත් එහෙමයි. ගිරිකූඨ තමයි මාව නළුවෙක් හැටියට මුලින්ම සමස්ත ලංකා මට්ටමකට ගෙනාපු නාට්‍යය. ඊට පස්සෙත් අපි නාට්‍ය කළා. නාට්‍ය තරගවලට කොළඹට යන්න එන්න පටන් ගත්තා. ඔන්න ඔහොම තමයි මම මේ ක්‍ෂේත්‍රයට මුලින්ම ආවේ. සුමින්ද රැකියාව පිණිස කොළඹට පැමිණීම ඔහු ගේ කලා ජීවිතයට ආශිර්වාදයක් විය. කොළඹදී ඔහුට දයා අල්විස්ගේ උදව්වෙන් ධම්ම ජාගොඩයන්ව හදුනාගන්නට ලැබිණි. එම හමුවීම ඔහුගේ කලා ජීවිතයේ තවත් එක් සංධිස්ථානයක් සනිටුහන් කිරීමට සමත්විය. රංගන ශිල්ප ශාලිකාවේදී ධම්ම ජාගොඩයන් සෙවණේ ශිල්ප ලබන්නට වූ දා පටන්ම රංග ශිල්ප ශාලිකාවේ සියලූම නිෂ්පාදනයන්හි චරිත සුමින්දට ලැබිණි. ප්‍රසිද්ධ වේදිකාවේ ඔහුට ලැබුණ මුල්ම චරිතය වූයේ මූදු පුත්තු නාට්‍යයේ ප්‍රධාන චරිතයක් සේ ගැණෙන දියෝතිස්ගේ චරිතයයි.

මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ මහාසාර, කදාවළලූ, මනමේ, භව කඩතුරාව, නාමෙල් වීරමුනි ගේ වංසක්කාරයෝ, රංජිත් ධර්මකීර්තිගේ හස්තිරාජ මහත්තයා, හිරුනැති ලොව, ආ`ඩි රැළේ නාඩගම, මේඝ, ධම්ම ජාගොඩගේ වෙස් මුහුණු, සමන් සුසිරිගේ තක්සලා නාඩගම, ෆීලික්ස් ප්‍රේමවර්ධන ගේ අන්ධකාරය, තිලක් ගුණවර්ධනගේ කොන්තනෝනා සමුගැනීම, සෝමපාල ගුණාධීරගේ උමතුසංවරුවා, ප්‍රේමලාල් ගංගේගේ නාඩගම්කාරායෝ, දයානන්ද ගුණවර්ධනයන්ගේ ආනන්ද ජවනිකා, ජයලත් මනෝරත්නයන්ගේ අන්දරේලා, පරාක්‍රම නිරිඇල්ල ගේ විනිශ්චය, මියුරි සමරසිංහගේ සපතේරු හාමිනේ, සුසිල් ගුණරත්නගේ මුහුණු දෙකක්, සෝමරත්න දිසානායකගේ මීපුර වැසියෝ යන නාට්‍යවලට 1970 දශකය පුරා සුමින්ද රංගන දායකත්වය ලබාදීමෙන් සිංහල නාට්‍ය වේදිකාවේ අති දක්‍ෂ නළුවෙකු වශයෙන් තහවුරු විය.

* දැන් කොහොමද අසනීප තත්ත්වයන් ?

දැන් ටිකක් සුව අතට හැරිලා තියෙනවා. මේ දවස්වල ගෙදරට වෙලා විවේකීව කාලය ගෙවනවා

* ගෙදරට වෙලා ඉන්න කොට මොකද හිතෙන්නේ ?

හරිපාළුයි. ජීවිතය බොහොම ඒකාකාරී ගතියක් තියෙනවා. දැන් මගේ කටහඩ දුර්වලයි. කතාබහකරනකොට වචන ටිකක් පැටලෙනවා. වචනවල සද්දය එහෙම ටිකක් අඩුයි. කටහඩ හදාගන්න සින්දු කියනවා.

* පාසැල් කාලයට ගියොත් මොකද හිතෙන්නේ ?

ඒ කාලේ හරිම සුන්දරයි. මාගේ තාත්තා නාට්‍ය නිෂ්පාදකවරයෙක්. පාසැලේ නාට්‍ය කලාට පස්සේ තමයි මම දුම්රිය දෙපාර්තමේන්තුවේ රැකියාවට ගියේ

* අපි ඔබේ රැකියාව කරපු කාලය ගැන කතා කළොත් ?

මම ඒ කාලේ දුම්රිය දෙපාර්තමේන්තුවේ ගොඩනැගිලි අංශයේ කාර්මික නිලධාරියෙක් විදිහට තමයි සේවය කළේ. මේ රස්සාව කරන ගමන් තමයි ධම්ම ජාගොඩයන්ගේ රංග ශිල්ප ශාලිකාවට බැඳුණේ. රස්සාව කරලා හවස පහට තමයි ඔහුගේ රංග ශිල්ප ශාලිකාවට ගොඩවෙන්නේ. එතැනදී තමයි මගේ වේදිකාවේ ගමන වඩාත් තීව‍්‍රවුණේ. මම රඟ පෑ මනමේ නාට්‍යයේ පොතේ ගුරු චරිතය මට කවදාවත් අමතක වෙන්නේ නෑ.

* ඔය අතරේ ඔබ 1970 දී විතර රස්සාවක් හොයාගෙන මැදපෙරදිග බලා පිටත්වෙනවානේද?

ඒක අහම්බයෙන් තමයි සිද්ධවුණේ. මගේ මිත්‍රයෙක් තමයි කිව්වේ මැදපෙරදිග හොද රැකියාවක් තියෙනවා කියලා. ඒ වෙලාවේ මම නාට්‍ය කිහිපයක වැඩකරමින් හිටියේ. විදෙස්ගත වෙලත් මම ගොඩනැගිලි අංශයේ තමයි රැකියාව කළේ. ඕමාන් රටේ තමයි මම රස්සාව කළේ. අවුරුදු දෙකක් විතර තමයි රස්සාව කළේ. ඊට පස්සේ ලංකාවට ඇවිත් විවාහ වුණා.

එතකොට ලංකාවේ වික්ටෝරියා ඩෑම් එක හදනවා. මම එතැනත් රස්සාවට ගියා. එතැන මම රස්සාවට ගියේ ටෙක්නිකල් ඔෆිසර් කෙනෙක් විදිහට. එතැන අවුරුද්දක් විතර වැඩ කරන කොට ආපහු අවුරුද්දක කාලසීමාවකට මැදපෙරදිග රැකියාව ලැබුණා. ඒ කාලේ මට දිගටම මැරපෙරදිග රැකියාව කරන්න තිබුණා. නමුත් මට ඒක ඇතිවුණා. ඊට පස්සේ මම ආපහු ලංකාවට ආවා. ඒ ආවට පස්සේ ගොඩක් දෙනෙක්ම මාව අමතකයි. 1979 දී තමයි මම මුලින්ම විදෙස්ගත වුණේ දෙවැනි පාර ලංකාවට ආවේ 1984 අවුරුද්දේ.

* එතකොට සුමින්ද සිරිසේන කියන චරිතය ගොඩක් දෙනෙකුට අමතකවෙලයි තිබුණේ ?

ඔව්. ගොඩක් දෙනෙක්ට මාව අමතක වෙලයි තිබුණේ. පස්සේ මම මියුරි සමරසිංහ ගේ සපතේරු හාමිනේ නාට්‍යයෙන්ද, සෝමරත්න දිසානායකගේ මීපුර වැසියෝ නාට්‍යයේ ද රඟපාන්න කතා කළේ. පස්සේ පරාක්‍රම නිරිඇල්ල වගේම මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේද නාට්‍යවල රඟපාන්න අවස්ථාව උදාවුණා. ඊට පස්සේ මට දිගටම රඟපාන්න අවස්ථාව උදාවුණා. ඒ වුණත් මම දුම්රිය දෙපාර්තමේන්තුවේ පරණ රස්සාව අමතක කළේ නැහැ. ඒ හින්දාම මම ආපහු දුම්රිය දෙපාර්තමේන්තුවට බැඳුණා. දුම්රිය දෙපාර්තමේන්තුවේ රස්සාව කරන ගමන් තමයි මම රඟපෑම සිදුකළේ.

* හැබැයි ඔබට සිනමාවේ ලොකු ඉඩක් ලැබෙන්නේ නැහැ. අද වෙනකොට ඒ ගැන මොකද හිතෙන්නේ ?

මම චිත්‍රපට දහයක විතර රඟපාලා තියෙනවා. ටිකක් ලොකු චරිතයක් රඟපෑවේ සමනළ තටු චිත්‍රපටයේ. සෝමරත්න දිසානායක තමයි ඒ චිත්‍රපටයට මට ආරාධනා කළේ.

* කලා ජීවිතය ගැන ආපසු හැරී බැලූවොත් ?

ඇත්තටම හරිම තෘප්තිමත්. මම අන්තිමට රගපෑවේ බොරළුපාර ටෙලිනාට්‍යයේ. 2010 අවුරුද්දේ තමයි මාව අසනීප වුණේ. දැන් මට අසනීප වෙලා අවුරුදු අටක් විතර වෙනවා. ජීවිතය ගැන ආපසු හැරී බැලූවොත් මට දුකක් නැහැ.

* අසනීපයෙන් පසුවත් ඔබ රඟපෑමට එක්වුණා නේද?

අසනීපයෙන් පසුවත් බොරළුපාර නාට්‍යයේ දර්ශන කිහිපයක් රඟපාන්න තිබුණා. ඒ දර්ශන තමයි ආපහු රූගත කිරීම් සිදුකළේ. මම අවුරුදු හයකින් විතර වැඩක් කළේ නැහැ.

* ඒ කාලේ ඔබත් සමග වැඩකළ අධ්‍යක්‍ෂවරු අද කතාබහ කරන්නේ නැතිද ?

ගොඩක් අධ්‍යක්‍ෂවරු දුරකථනයෙන් කතාබහ කරනවා. ඔවුන්ට මාව බලන්න එන්න වෙලාවක් නැහැනේ. මාව අසනීප වුණ මුල් කාලේ ගොඩක් අධ්‍යක්‍ෂවරු සහ නළු නිළියන් මාව බලන්න ආවා. හැබැයි දැන් ඔවුන්ට මාව බලන්න එන්න විදිහක් නෑ.

* පසුගිය දවස්වල උපන්දිනය සැමරුවා කියලත් ආරංචියි ?

දුම්රිය දෙපාර්තමේන්තුවේ මගේ පැරණි මිත්‍රයන් කිහිපදෙනෙක් ඇවිත් තමයි ඒ පුංචි උත්සවය පැවැත්වූයේ. මගේ හැත්තෑවැනි උපන්දිනය තමයි ඒ සැමරුවේ.

* ඔබ රඟපෑ පැරණි නිර්මාණ නරඹන්නේ නැතිද?

දැන් මට කරන්න වෙන වැඩක් නැතිහින්දා ඒවා නරඹනවා.

* දැන් ඔබ සම්පූර්ණනයෙන්ම රඟපෑම අතහැරලාද?

අසනීප තත්ත්වයන් සම්පූර්ණයෙන්ම සුව අතට හැරුණොත් තමයි ආපහු රඟපන්න ලැබෙන්නේ. ගොඩක් අධ්‍යක්‍ෂවරු රෝද පුටුවේ ඉඳගෙන හරි රඟපාන්න කතාබහ කරනවා.

* ඒ කාලේ ඔබට වැඩිපුරම වැඩකරන්න ලැබුණ නළුවන් එහෙම මතකද?

ජයලත් මනෝරත්න, විජේරත්න වරකාගොඩ, රවීන්ද්‍ර රන්දෙණිය වගේ අයත් එක්ක රඟපාලා තියෙනවා.

* ඒ දවස්වල රඟපාන්න කැමැති චරිත එහෙමත් තිබුණාද?

එහෙම විශේෂ චරිත තිබුණේ නැහැ. හම්බවෙන ඕනෑම චරිතයක් රඟපෑවා. අනික ඒ කාලේ අපිට ලොකු මත ගැටුම් තිබුණේ නැහැ. අපි නිතරම කල්පනා කළේ ලැබෙන චරිතයට උපරිම සාධාරණය ඉෂ්ඨ කරන්නයි. අපිට එහෙම අභියෝග පවා තිබුණේ නෑ.

* ක්‍ෂේත්‍රය ගැන කලකිරීම් එහෙම තියෙනවාද?

කිසිම කලකිරීමක් නැහැ. මම අද ගෙවන ජීවිතය ගැන දුක්වෙන්නේ නැහැ. අසනීප කියනදේවල් කාටත් තියෙනවානේ. ඒ කාලේ මගේ නිර්මාණ නරඹපු ගොඩක් දෙනෙක් දුරකථනයෙන් මට කතාබහ කරනවා. ඔවුන් ඒවා අදටත් රසවිඳිනවා කියලා මට කියනවා.

* කලා උත්සවවලට වගේම සම්මාන උළෙලවලට ඔබට ආරාධනා නැතිද?

අපොයි ආරාධනා නැත්තේ නැහැ. ගොඩක් ඒවාට මට සහභාගි වෙන්න අමාරුයි. පුළුවන් ඒවාට තමයි සහභාගිවෙන්නේ. පසුගිය කාලේ අලූත් පරපුර එකතුවෙලා මට තරංගනී සිනමාශාලාවේ උපහාර උත්සවයක් පවා සංවිධානය කරලා තිබුණා. මම ඒ කාලේ ඉඳන් සල්ලි පස්සේ ගිය චරිතයක් නෙමෙයි. ලැබෙන චරිතයට උපරිම සාධාරණයක් ඉෂ්ඨ කරන්න තමයි බැලූවේ.

දිනේෂ් විතාන

20210129Suminda-1