මම මියුසික් කරන්න බලපෑ ප්‍රධාන හේතුවත් සීයායි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20210503vinuja-2

ආචාර්ය වික්ටර් රත්නායක මහතා ලාංකේය සංගීතයට විශාල සේවයක් ඉටු කළ සංගීතඥයෙකි. ඔහුගේ මුණුබුරා වන විනුජ තරුෂ්කද මේ වනවිට සංගීත ක්ෂේත්‍රයට පිවිස සිටින අතර ඔහු සීයා මෙන් සංගීතයේ වෙනස් ගමනක යන තරුණ නිර්මාණකරුවෙකි. මේ ඔහු සමග සිදුකළ සාකච්ඡාවකි.

ඔබව හඳුන්වා දුන්නොත්?

මගේ නම විනුජ තරුෂ්ක ගුණසේකර. මගේ වයස අවුරුදු 18යි. සංගීතය තමයි මම කැමතිම දේ.

ඔබ වික්ටර් රත්නායක ශූරීන්ගේ මුණුබුරා?

ඔව්. වික්ටර් රත්නායක මහතාගේ දුව චාන්දනී රත්නායක තමයි මගේ අම්මා. මගේ පවුලේ මමයි, අප්පච්චියි, අක්කායි. අම්මා නැතිවුණේ දැනට අවුරුදු පහකට කලින්.

විනුජ සංගීතය කරන්නේ සීයාගේ සහ පවුලේ තිබුණු සංගීත වටපිටාව නිසාමද?

මම හිතන්නේ එහෙම වෙන්න ඕනේ. මම පොඩි කාලේ ඉඳලාම අපේ ගෙදර තිබුණේ සංගීත පරිසරයක්නේ. සීයායි මමයි අපි එක ගෙදර හිටියේ. පොඩි කාලේදි කනට ඇහෙන්නේ සංගීතය. ගේ පුරා දකින්නේ සංගීත භාණ්ඩ. ඒ දේවල් එක්කනේ මම හැදුණේ.

ඔබ ජාතික රූපවාහිනියේ සංගීතමය වැඩසටහකට සම්බන්ධ වනවා?

ඔව්. ජාතික රූපවාහිනියේ මේ වෙද්දි විකාශය වන ජනප්‍රිය වැඩසටහනක් තමයි Coke Red කියන්නේ. ඒ වැඩසටහනට සංගීතය සපයන්න අපේ සංගීත කණ්ඩායමට අවස්ථාව ලැබිලා තියෙනවා. මම සහ මගේ යාළුවෝ එකතු වෙලා දැනට අවුරුද්දකට විතර කලින් පටන් ගත්තා MID LANE කියලා සංගීත කණ්ඩායමක්. ඒක තමයි මේ සතියේ ඉඳලා Coke Red වැඩසටහනේ සංගීතය සපයන්නේ. මේ දවස්වල වැඩ කරන්නේ ඒකත් එක්ක.

20210503vinuja-1

MID LANE ගැන කිව්වොත්?

මම තමයි කණ්ඩායමේ නිත්‍ය ගායන ශිල්පියා. එතකොට ඩබල් කීබෝඩ් ගහන්නේ චාතූර් සමරසිංහ. චන්දු ජයවර්ධන දෙවැනි කීබෝඩ් වාදන ශිල්පියා. ලීඩ් ගිටාර් ප්‍රමෝද් ජයවර්ධන. බේස් ගිටාර් බිම්සර පෙරේරා. අනූප කහන්ගමගේ ඩ්‍රම්ස් වාදකයා. අපේ බෑන්ඩ් එකේ ඔක්කෝම හය දෙනයි. අපි හැමෝම යාළුවෝ. අපිට නායකයෙක් නැහැ. අපි යාළුවෝ හැමෝම හොඳ තේරුම්ගැනීමකින්, අනෙකාට සවන් දීලා වැඩ කරන්නේ.

ඔබේම ගීත නිර්මාණය කර තිබෙනවාද?

ඔව්. පොඩි කාලේ සීයා මට ගොඩක් සින්දු හදලා දීලා තියෙනවා. 2015 'පැණිමොර මල්' කියලා මම ළමා ගීත තැටියකුත් කළා. ඒකට 'රාජ්‍ය සංගීත සම්මාන උළලේදී' හොඳම ළමා ගීත සංයුත තැටිය ලෙසින් සම්මානයකුත් ලැබුණා. ඊටපස්සේ මෑතකදී මම සින්දු හදන්න පටන්ගත්තා. මම ටිකක් සීයාගේ සංගීතයෙන් වෙනත් පැත්තකට ගිහිල්ලා ගීත නිර්මාණය කරනවා. මම අන්තිමටම කළේ 'ආහල්‍යා' ගීතය.  මේ මාසේ මගේ අළුත් ගීතය 'මාවතේ' එන්න නියමිතයි.

පවුල් පසුබිමෙන් ඔබට ලැබුණු සහයෝගය ගැන දකින්නේ කොහොමද?

පවුලෙන් තමයි මට ලොකුම සහයෝගය ලැබෙන්නේ. විශේෂයෙන් සීයා, අම්මා, අප්පච්චි, අක්කා ලොකු සහයෝගයක් සහ උපදෙස් ලබා දෙනවා. පොඩි කාලේදී සීයා හැමවෙලාවේම සංගීත ක්ෂේත්‍රය ගැන කියලා දුන්නා. මම මියුසික් කරන්න ප්‍රධානම හේතුවත් සීයා. ඒ වගේම ජයන්ත රත්නායක සහ ලෙලුම් රත්නායක කියන මගේ මාමලා දෙන්නාත් ලොකු සහයෝගයක් දෙනවා. මට පොඩි කාලේ ඉඳලා මියුසික් පැත්තෙන් දෙන්න ඕනේ හැම හයියක්ම දුන්නා. ඒ වගේම දැන් අප්පච්චි තමයි මගේ පිටිපස්සෙන් හැමවෙලාවේම ඉන්නේ.

ඔබ දිගටම සංගීතයේ නියැළෙනවාද?

ඔව්. මම දැනට හදාරන්නේත් සංගීතයයි. දිගටම මියුසික් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නෙත්.

නවකයෙක් විදිහට අද සංගීත ක්ෂේත්‍රය ගැන ඔබ දකින්නේ කොහොමද?

ඇත්තටම මම පෞද්ගලිකවම අද තිබෙන සංගීත ක්ෂේත්‍රය ගැන සතුටුයි. මම අපේ සීයාලාගේ කාලේ, සීයාගේ යාළුවෝ වැඩ කරන හැටි දැක්කා. මම යාළුවොත් එක්ක දැන් මියුසික් කරගෙන යද්දි සහ ආශ්‍රය කරන්න ලැබෙන අයගේ වැඩ දැක්කාම සංගීතය ගැන සතුටුදායක හැඟීමක් එන්නේ.

තනිව ගායකයෙක් ලෙස ගමනක් යෑමට බලාපොරොත්තුවක් නැද්ද?

මොකද නැත්තේ. තනිව ගායකයෙක් ලෙස ඉස්සරහට ඒමත් බලාපොරොත්තුවක්.

රූපවාහිනියේ Red වැඩසටහනට සංගීතය සපයන්න ලැබීම පිළිබඳව මොකද හිතෙන්නේ?

Red කියන්නේ හොඳ වැඩසටහනක්. අපි බෑන්ඩ් එක පටන් අරගෙන පොඩි කාලයයි. කවුරුත් දන්නේ නැති අපේ බෑන්ඩ් එක Red වැඩසටහනේ ප්ලේ කරන්න බාරදීමම විශාල භාග්‍යයක්. ඒකට වැඩසටහනේ අධ්‍යක්ෂ රවීන්ද්‍ර මුණසිංහ මාමාට ස්තූතියි කරනවා. මේක මගේ සංගීත ජීවිතයේ වැදගත්කමක් වගේම බෑන්ඩ් එකට හමුවුණු ලොකු අවස්ථාවක්. ඒ වගේම හොඳ ප්‍රතිචාරත් ලැබෙනවා.

ඉදිරි වැඩකටයුතු ගැන කිව්වොත්?

අංක එක මියුසික්. බෑන්ඩ් එකත් එක්ක විනුජ තරුෂ්ක කියන නම ඉස්සරහට ගෙනියන්න තමයි කටයුතු කරන්නේ. මට ඉස්සර ඉඳලාම හීනයක් තිබුණේ සීයා ලංකාවේ ඉන්න තැනට එන්න. සරලවම මට සීයා වගේ වෙන්න ඕනේ.

උදව් කරපු අය කවුද?

මුලින්ම මතක් කරන්න ඕනේ සීයා, අම්මා, අප්පච්චි, අක්කා ඇතුළු මගේ පවුලේ හැමදෙනාවම. ඒ වගේම මා වෙනුවෙන් සින්දු හදපු සංගීත අධ්‍යක්ෂවරු, පද රචනා ශිල්පීන්, මගේ යාළුවෝ ඇතුළු හැම දෙනාවම ආදරයෙන් මතක් කරනවා. ඒ වගේම අපේ බෑන්ඩ් එකේ හැමදෙනාවමත් මතක් කරනවා.

කැළුම් දේවින්ද