ශ්‍රියන්ත මෙන්ඩිස් කියන කලා ලොවේ රසකතා
පරාස්සයාට බය වුණු හතර පංතියේ ළමයා
ඒ මම ‘පරාස්ස’ නාට්‍යයේ රිහර්සල් කරන කාලෙ නාට්‍ය උණ තදටම ඇඟේ තිබුණු අවදියනෙ. ඔන්න ඔය කාලෙම තමයි මට ගුරු පත්වීමක් ලැබුණේ.
මට පත්වීම ලැබුණේ කුරුණෑගල දිස්ත්‍රික්කයට. මම අධ්‍යාපන කාර්යාලෙට ගිහින් පත්වීම් ලිපිය අතට ගත්තා. මගෙ ස්කෝලෙ පොල්ගහවෙල ශාන්ත බර්නදෙත්. ඉතින් එදා මම ඒ ඉස්කෝලෙට යනකොට වෙලාව එකොළහමාරට විතර ඇති.
මම පත්වීමේ ලිපියත් අරගෙන ප්‍රින්සිපල් සර් ළඟට ගියා. සර්, මගෙන් විස්තර එහෙම ඇහුවාම මම කිව්වා පරාස්ස කියන වේදිකා නාට්‍යයෙ පුහුණුවීම් කරගෙන යන්නෙ කියලා.
මම ඔයාට භාරදෙන්නෙ ශ්‍රියන්ත සර් හතරෙ පංතිය. හතර සී එකට ගිහින් උගන්නන්නකො
ප්‍රින්සිපල් සර් කිව්වා.
ඔන්න ඉතිං මම හතර සී පංතිය හොයාගෙන ගියා. දඟකොල්ලො ටිකක් ඉන්නෙ. හැමෝම ඝෝෂාව.
ළමයි කෑ ගහන්න එපා.
මම ටිකක් සද්දෙට කිව්වා.
පොඩි එව්වන්ට ගානක්වත් නෑ. උන් එක සීරුවට කච කචේ.
ළමයි කෑ ගහන්න එපා.
මම තව වතාවක් කිව්වා.
ඒත් ඔවුන් නෙමෙයි කටවල් වහන්නෙ.
දැන් මොකද කරන්නෙ?
මම දහ අතේ කල්පනා කළා. ඉස්කෝලෙට ආපු ගමන් දඬුවමක් දෙන්නත් බෑ. ළමයි ටික පාලනය කරගන්න ඕනෑ යාප්පුවෙන්මයි කියලා මට හිතුනා.
මුන්ට කතාවක් කියල දෙන්න ඕනෑ පොඩි ළමයි ආසයිනෙ කතා අහන්න.
එක පාරටම එහෙම සිතුවිල්ලක් ආපු නිසා මම හිතුවා පරාස්ස නාට්‍යයේ කතාවම කියලා දෙන්න.
ඔන්න දරුවනේ ඉස්සර කාලෙ එකමත් එක ගමක ගමරාල කෙනෙක් හිටියා. මේ ගමරාල ජීවත් වෙන්නෙ ගොවිතැන් බත් කරගෙන.
මම කතාව කියන්න පටන් ගත්තා විතරයි ළමයින්ගෙ කටවල් වැහුණා. දැන් කට්ටිය මගේ දිහා බලාගෙන.
වැහි කාලෙ ඉවර වුණු ගමන් මේ ගමරාල හිතුවා හේනක් කොටන්න. ඔන්න ඉතින් පොරවක් කරේ තියාගෙන ගමරාළ කැලේ මැදින් යනවා.
පැත්තක තිබුණු කොස්ස අරන් පොරව වගේ කරෙන් තියාගත්ත මම ගමරාල කැලේ මැදින් යන හැටි රඟපාල පෙන්නුවා.
දැන් ළමයි හ්ම් ශබ්දයක් නැහැ. හැමෝම මගෙ කතාවටයි රංගනේටයි වසඟ වෙලා.
ඔන්න ළමයිනේ දැන් ගමරාල ඉන්නෙ කැලේ. ඔන්න දැන් කැලේ තියෙන ගස් කපන්නයි හදන්නෙ. හේනක් හදන්නෙ ගස් කපල කැලෑව එළිකරගෙන. ඒකට ගස් කපලා දාලා පස්සේ ඒවට ගිනි තියනවා.
ඔන්න දැන් ඉස්සරහම පේලියෙ එක ළමයෙක් බංකුවෙ ඉස්සරහට ඇවිත් පිටිපස්සෙ ඩෙස් එකට හේත්තුවෙලා කටත් ඇරගෙන මගේ දිහා බලාගෙන.
මම දිගටම ගමරාලගෙ චරිතය නිරූපණය කරනවා.
ඔහොම කැලෑව කපාගෙන කපාගෙන යද්දි ලොකු නුගගහක් තියෙනවා. ගමරාල පොරොව අරගෙන අර නුගගහට පාරක් කෙටුවා. ඒ පාරට ගහේ මුදුනෙ තිබුණු අතු ඉති පවා හෙළවුණා.
එතකොටම ගහ උඩ හිටපු යකෙක් එක පාරටම ගමරාලගෙ ඇඟට කඩාගෙන පැන්නා.
එහෙම කියලා මම යකා වගේ අත් දෙකත් වකුටු කරගෙන ගමරාල ඉස්සරහට පනිනව වගේ පංතිය ඉස්සරහට පැන්නා.
එතකොටම ඩෙස් එකකුත් පෙරලගෙන බිම වැටුණේ අර බංකුවෙ අඩමානෙට හිටපු පොඩි එකා. කොල්ලා බිම වැටුණු පාරට නලල බිම ඇනිලා ලේ ගලනවා. දැන් එයාගෙ කමිසෙ පුරාමත් ලේ. මටත් හිතාගන්න බෑ මොකක්ද කරන්නෙ කියලා. ඇයි ඉස්කෝලෙට ගිහින් උගන්නන්න පටන් ගත්තා විතරමනෙ.
දැන් මමත් බයවෙලා. ළමයිනුත් බයවෙලා. හැමෝම එක පොදියට කෑ ගහනවා.
පොඩ්ඩකින් ප්‍රින්සිපල් සර් පංතියට දුවගෙන ආවා.
එයා දැක්කා ලේ පෙරාගෙන ඉන්න පොඩි දරුවාව.
මොනවද සර් කළේ. පංතිය භාර ගත්තු දවසෙම ගැහුවද ළමයට. ඔහොම ලේ එන්න ගහනවද ළමයින්ට. මේවා ක්‍රිමිනල් වැඩනෙ සර්.
ප්‍රින්සිපල් සර් මට බැනගෙන බැනගෙන යනවා.
නෑ සර් නෑ. මම ගහලා නෙමේ. මේ ළමයා ඩෙස් එකත් පෙරලගෙන බිම වැටුණා.
මං කිව්වා.
ප්‍රින්සිපල් සර් පොඩි එකාව, ළඟම තිබුණු ඩිස්පෙන්සරි එකට යැවුවා. බේත් දාන්න ටීචර් කෙනෙක් ගෙන්නලා.
ප්‍රින්සිපල් සර්ට තවමත් හිතාගන්න බෑ මොකද වුණේ කියලා.
ඇත්තටම ශ්‍රියන්ත සර්, මේ ළමයට ගැහුවෙ නැද්ද?
ප්‍රින්සිපල් සර් දෙවැනි වතාවටත් ඇහුවා.
නෑ සර් මං ගැහුවෙ නෑ. බොරු නම් මේ ළමයින්ගෙන් අහන්න.
මං කිව්වා.
මොකක්ද පුතා වුණේ?
ඒ පාර ප්‍රින්සිපල් සර් ඇහුවෙ පංතියෙ මොනිටර්ගෙන්.
සර්. අලුත් සර් අපිට කතාවක් කියල දුන්නා. ගොවිරාල කෙනෙක් හේනකට ගස් කපාගෙන යද්දි, එක ගහක හිටපු යකෙක් ගොවිරාලගෙ ඇඟට පනිනවා. ඒ වෙලාවෙ අලුත් සරුත් යකා වගේ පංතිය ඉස්සරහට පැන්නා. ඒකට බයවෙලා තමයි මෙයා බිමට වැටුනෙ.
පංති නායක ළමයාත් හිනාවෙවී කිව්වා. ඒ වෙලාවෙ මුළු පංතියටම හිනාගියා.
සර් ළමයි කෑ ගහනවා ඉවරයක් නැතුව. ළමයින්ගෙ අවධානය ගන්නයි මම පරාස්ස නාට්‍යය ළමයින්ට කියලා දුන්නෙ.
මං හෙමින් සීරුවෙ කිව්වා.
මේ පොඩි එව්වො යක්කුන්ට බයනේන්නම්.
ප්‍රින්සිපල් සර් කිව්වා. ‘මීට පස්සෙ ළමයින්ට උගන්වද්දි ‘එමෝෂනල්’ වෙන්න එපා සර්. ඒක ඔයා රඟපාද්දි විතරක් කරගෙන යන්න.
ප්‍රින්සිපල් සර් ඔෆිස් එකට ගියේ නොරොක් මූණෙන් එහෙම උපදේශයකුත් දීලා.
‘අත්’ කැන්සල්
ජයන්ත චන්ද්‍රසිරිගේ අත් නාට්‍යයට රටෙන් හොඳ ඉල්ලුමක් තිබුණා. මේ නිසා රටේ හතර දිග්භාගෙ පුරාම ‘අත්’ පෙන්නන්න ගන්න වුණා.
නළු නිළියොයි අනෙක් පිරිසයි ඔක්කොම හතළිහක් විතර දාගෙන, නාට්‍යයෙ සෙට් එක බස් එකේ වහලෙ උඩ බැඳගෙන එහෙම තමා අත් පෙන්නන්න යන්නෙ. එක දවසක් අත් දර්ශන වාර දෙකක් පෙන්නන්න තිබුණෙ හම්බන්තොට. ඒ නිසා අපි පිටත් වුණේ එදා උදේ පාන්දරින්මයි.
එදා එක පාරටම ඩං ඩොං ඩොං පටෝන් කියල සද්දයක් ඇහුණා.
බස් එකේ හැමෝම කලබල වුණා. මොකද මේ අසූ අටේ අසූ නවයේ භීෂණය තදින්ම තිබ්බ කාලෙ. ඉතින් අපි හිතුවෙම මේ වෙඩි සද්දයක් කියලා.
මොකක්ද ඒ සද්දෙ?
බස් එක එළවපු ඩ්‍රැයිවර් උන්නැහේ වාහනේ නතර කරලා ඇහුවා.
අපිට ප්‍රශ්නයක් නෑ සේපාල අයියෙ අපි යමු.
කොන්දොස්තර සද්දෙන් කිව්වා.
වහලෙ උඩ තියෙන සෙට් එකේ මොනවා හරි වැටුණා වෙන්න බැරිද?
ඩ්‍රැයිවර් ආයෙම ඇහුවා.
නෑ නෑ අපේ මුකුත් නෙමෙයි. යමු යමු
කොන්දොස්තර ආයෙමත් කිව්වා.
බස් එක ආයෙම ඉස්සරහට ගියා. මීටර් දහයක්වත් ගියාද මන්ද බස් එක එක පාරටම නතර වුණා.
ඒ මොකද ඒ?
හැමෝම ඇහුවෙ එහෙම. කොන්දොස්තර බස් එකෙන් පැනලා ආපස්සට දුවගෙන ගියේ ඩං ඩොං ගාලා බිමට වැටුණෙ මොකද්ද බලන්න වෙන්න ඇති. චුට්ටකින් මෙන්න මේ මනුස්සය දුවගෙන ඇවිත් බස් එකට නැග්ගා.
සේපාලයියෙ ඩීසල් ටැංකිය බිම. කොන්දොස්තර කිව්වා.
මොනවා. ඒ කොහොමද? ඩ්‍රැයිවර් උන්නැහේ බස් එකෙන් පැනපු ගමන් දුවගෙන ගියේ ඩීසල් ටැංකිය අරගෙන එන්න. ඒ උදේ පාන්දර නිසා ගරාජ් එහෙමත් ඔක්කොම වහලා අන්තිමේදී පැය දෙකක් විතර රස්තියාදු වෙලා ඩීසල් ටැංකිය බස් එකට තියලා ලණුවලින් බැඳ ගත්තා.
එතන ඉඳල ගමන ගියේ බොහොම හෙමින්.
නාට්‍යය පෙන්වන ශාලාවට යනකොට හවස 3.30ත් පහුවෙලා. ඒත් අපිට නාට්‍යය පෙන්නන්න තිබුණෙ දෙකයි තිහට. ඒ වෙද්දි නාට්‍ය බලන්න ආපු ප්‍රේක්ෂකයො බැන බැනම ආපහු ගිහින්.
ආ විදිහටම හැරිලා යන්න.
සංවිධායක මහත්තයා බොහොම කේන්තියෙන් කිව්වෙ.
අපිට මඟ කරදරයක් වුණා. අපි නිදහසට කරුණු කිව්වා.
ඔහේලට වැඩියෙන් කරදර වුණේ මං. මේ ප්‍රේක්ෂකයො මාව මරාගෙන කෑවෙ නැති ටික විතරයි. කරුණාකර හැරිල යන්න.
සංවිධායකත් තමන්ගෙ මතය වෙනස් කළේ නැහැ.
එහෙම නෙමෙයි මහත්තයො අපි හයයි තිහ පෙන්නමු.
මං එක පාරක් කිව්වනෙ. දැන් යන්න ඉතින්.
අන්තිමේ සංවිධායකට බැන බැන අපි හිස් අතින්ම ආපහු ආවා.
ශාන්ත කුමාර විතාන
සිතුවම: සමන් කළුබෝවිල
