ස්ප්‍රයිස් කරන්න දිනක්ෂි දක්ෂයි

  • 12-02-2021
  • Views 1438

මෙවර “සුබ උපන්දිනක්” විශේෂාංගයෙන් සඳැල්ල හා එකතුවෙන්නේ කලා ක්ෂේත්‍රයේ වැඩිම කතාබහට ලක්ව සිටින ප්‍රේක්ෂකයන්ගේ හද බැඳගත් ආදරණීයම කලා තරුවක්. ඔහු සාරංග දිසාසේකර.

• උපන් දිනයක් කියද්දී දැනෙන්නේ මොනවගේ හැඟීමක්ද?

ඒක ඇත්තටම මෙහෙමයි කියලා කෙළින්ම කියන්න පුළුවන් දෙයක් නොවෙයි. ඒක මිශ්‍ර හැඟීමක්. එකක් තමයි මම හිතන්නේ මොකක් හෝ හේතුවකට මේ ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ කියන දේ. මොකද අප හැමෝටම පැවරුණු කාර්යය භාරයක් තියෙනවා. මම හිතන්නේ එහෙමයි. ඉතින් මම මගේ උපන් දිනයත් එක්ක සතුටු වෙනවා. මේ වගේ මව්පියන්ට දාව මේ ලෝකෙට ආපු එක ගැන.
ඒ වගේම ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා. ඒ දවසට මගේ අම්මා, තාත්තා ගැන මගේ තියෙන ගෞරවය, ආදරය තව තවත් වැඩිවෙනවා. මේ හැමදේමත් එක්ක වයසින් මුහුකුරා යනවාත් එක්කම සමාජ වගකීමක් සහ වගකීම් සහගත පුද්ගලයෙක් විදියට ජීවත්වෙන්න ඕනෑ සහ සමාජයට යමක් දෙන්න ඕනෑ කියන කාරණාවත් උපන්දිනයෙ මගෙ හිතට එන විශේෂම කාරණාවක්. ඒ දවස මගේ පවුලෙ අයත් එක්ක සතුටින් සමරන්න සහ ඒ සතුට ඇතුළෙ සමාජයටත් යමක් දෙන්න අවස්ථාවක් කරගන්නවා. 

• ජනවාරි කියන්නේ අලුත් අවුරුද්දක ආරම්භයක්. ඉතින් ඒ මාසෙටම සාරංගගෙ උපන් දිනය යෙදිලා තිබීමත් විශේෂත්වයක් ඇති?

ඔව් අනිවාර්යයෙන්ම. අලුත් අවුරුද්දක ආරම්භයත් එක්ක අලුත් බලාපොරොත්තු එක්ක ජීවිතේ ලස්සනට ඉතා හොඳින් පටන් ගන්න හැමෝම ප්‍රාර්ථනා කරන්නේ. ජනවාරි කියන්නේ අපි හැමෝටම විශේෂත්වයක් ගෙන දෙන මාසයක්. කළින් වසරේ මොන ප්‍රශ්න වුණත් මොනදේ වුණත් අලුත් බලාපොරොත්තු එක්ක තමයි සාමාන්‍යයෙන් ජනවාරි පළමුවැනිදා ඉඳන් අපි හිතන්න ගන්නේ.
ඒ හැමදේමත් එක්ක මම හිතනවා ජනවාරි කියන්නේ අනිත් මාසවලට වඩා විශේෂත්වයක් තියෙන මාසයක් කියලා. ඒ වගේම මගේ උපන් දිනය ජනවාරි 31 වීම පාසල් කාලෙදි මට තවත් විශේෂයක් වුණා. මොකද මම පාසල් ගියේ මම ඉපදුනු වසරට පෙර වසරේ ළමයි එක්ක. ඒ නිසා මම තමයි හැමදාම පන්තියෙ හිටපු බාලම ළමයා. ජනවාරි මාසෙ ඉපදුණු තවත් ළමයි හිටියත් මම ජනවාරි මාසෙ අවසාන දවසෙනෙ. ඉතින් ඒ දේ මට විශේෂම මතකයක් සහ වෙනස් විදියෙ අත්දැකීමක්. 

• පුංචි කාලෙට ගියොත් කොහොමද ඒ කාලෙ සැමරීම් සිදුවුණේ?

පුංචිම කාලෙ මට මතක විදියට අවුරුදු 7ක් යනතුරු වගේ මගේ උපන් දිනය වෙනුවෙන් පොඩි පොඩි සාද පැවැත්වුණා. පවුලෙ අයත් එක්ක එකතුවෙලා. එතැනින් පසුව නම් මට තේරෙන වයස් මට්ටමට ආවම ඒ දේවල් ගොඩක් දුරට වෙනස් වුණා. දානමය පිංකමක් වගේ දෙයක් කරන්න තමයි යොමුවුණේ. එහිදී ළමා නිවාස, වැඩිහිටි නිවාස ආදියට දානමාන පිරිනැමුවා.
මගේ අම්මාත් මාව යොමුකළේ ඒ වගේ දේවල්වලට. ඉතින් ඒ දේවල් හරහා අපිට ලොකු සතුටක් ලබාගන්න පුළුවන් වුණා ජීවිතේ.

• සාරංගගෙ මතකයෙ රැඳෙනම උපන් දිනයක් ගැන කිව්වොත්?

කලා ක්ෂේත්‍රයට ආවට පස්සේ උපන් දින සැමරුම් ගොඩක් විදෙස්ගතව ඉද්දී සිදුවුණා. ඒ ප්‍රසංග ආදියට සම්බන්ධ වෙලා, ඒ අතරින් මට මතකයෙ රැඳෙනම උපන් දිනයක් තියෙනවා. 2015 වසරේ රිදී රැයක් ප්‍රසංගය හරහා.
ඇමරිකාවෙ තමයි ප්‍රසංගය තිබුණේ. ඉතින් අපි ලංකාවෙන් ගියේ 30 වෙනිදා. ඒ 31 ලබද්දිම වගේ. පසුව ඒ යන අතරවාරයේ උඩුගුවනේදී උපන් දිනය සැමරීමක් වුණා. එතැන ලොකු කාලයක් ගතවෙලා පසුව අපි බැස්සේ අබුඩාබිවල. ඒ බහිද්දි එහෙත් ජනවාරි 31. ඉතින් අබුඩාබිවලත් සැමරීමක් සිදුවුණා. ඊළඟට ඇමරිකාවට යද්දිත් 31 උදේ. ඒ දවසෙ රාත්‍රියේ තමයි රිදී රැයක් ප්‍රසංගය පැවැත්වුණේ. ඉතින් ඒ දවසෙත් ප්‍රසංගය අවසානයේ සැමරීමක් සිදුවුණා.
අපේ නළු නිළියො බොහෝ දෙනෙක් ඒ ප්‍රසංගයට සම්බන්ධ වෙලා හිටියා. ඉතින් ඒ වතාවෙ පැය 30 ගානකටත් වඩා උපන් දිනයක් වැටුණා. ඒක හරිම සුන්දර මතකයක්. ඒ වගේම මීට අවුරුදු දෙකකට පමණ පෙර ඉතාලියෙ ඉද්දී සැමරීමක් සිදුවුණා. ඒ අවස්ථාවත් සොඳුරු මතකයක් විදියට හිතේ රැඳිලා තියෙනවා. ඒ විදියට වසර කිහිපයක්ම පිටරටවල සැමරීම් වුණා.

• සර්ප්‍රයිස් වුණු අවස්ථා ඇති?

කලා ක්ෂේත්‍රයට ආවට පස්සෙ නොහිතපු අවස්ථාවල අපේ කට්ටිය සර්ප්‍රයිස් කරපු අවස්ථා බොහොමයක් තියෙනවා. ඒවා එකක් කියලා විශේෂයෙන් කියන්න බැහැ.

• දිනක්ෂිගෙන් ලැබුණු සර්ප්‍රයිස් ගොඩක් ඇති?

අම්මෝ ඔව්. ඇය ඒ දේවල්වලට ගොඩක් කැමතියි සහ ඒවට දක්ෂයි. උපන් දිනවලට මාව කොහෙ හරි එක්කන් යනවා. ඒ වගේම සාද පවත්වනවා. ඒවා තමයි වැඩිපුර කරන්නේ.
ගිය අවුරුද්දෙත් මම නොහිතන මොහොතක දෙන්නා කන්න යමු කියලා එළියට ගිහිල්ලා. මම ඒ තැනට ගියාට පස්සේ ක්ෂේත්‍රයේ මගෙ යාළුවො ගොඩක් දෙනෙක් එතැන ඉඳලා මාව සර්ප්‍රයිස් කළා. මගේ යාළුවො එකතු කරගෙන ඒ දවස ගොඩක් සතුටින් ගත කළා. කාලා, බීලා විනෝද වුණා. ඊට පෙර වසරෙත් රාත්‍රී කෑමකට යමු කියලා ගියාම ඒ දවසෙත් එවැනිම වූ සර්ප්‍රයිස් වීමක් වුණා. ඉතින් ඒ වගේ මට හිතාගන්න බැරි විදියෙ දේවල් කරනවා.

• උපන් දිනයට තෑගි ලැබෙනවනෙ? ඒ ලැබුණ තෑගි අතරින් ලැබුණු මතකයෙ රැඳෙනම තෑග්ගක් ගැන සඳහන් කළොත්?

මම පුංචිම කාලෙ මගෙ පළමු උපන් දිනයෙදි මාමාගෙන් ලැබුණා මෙලෝඩිකාවක්. ඒ තෑග්ග මට මාරම විදියට වටිනවා. හරිම කැමැත්තෙන් තියාගත්ත තෑග්ගක්. අදටත් ආදරෙන් රැකබලාගෙන සුරැකිව තියාගෙන ඉන්නවා මම ඒ මෙලෝඩිකාව. තවත් තෑගි නම් ගොඩක් ලැබිලා තියෙනවා. ඒ අතරින් ඒ තෑග්ග විශේෂයි.

• බිරිඳ දිනක්ෂිගෙන් ලැබුණු විශේෂ තෑගි නැද්ද?

විශේෂයි කියලා තෑගි භෝග නම් නැහැ. ඇයගෙන් හැම තිස්සෙම වගේ තෑගි ලැබෙනවා. මොනවට හරි එළියට ගියත් මම වෙනුවෙන් මොනවාහරි දෙයක් ගන්නවා. ඉතින් ඒ හැමදේම විශේෂයි. එකක් කියලා නැහැ.

• ඒ දවසට සාරංගට ආදරය කරන පිරිසගෙන් ලැබෙන්නේ කොයිවගේ ප්‍රතිචාරයක්ද?

ඒ දවසට සාමාන්‍යයෙන් රෑ 12 ලබද්දිම වගේ සුභ පැතුම් බොහෝ සංඛ්‍යාවක් එකතු වෙනවා. මගෙ ළඟම අයගෙන් සහ යාළුවන්ගෙන්. ඒ වගේම ආදරණීය රසික රසිකාවියන්ගෙන් ඒ දවසට FB හරහාත් සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේත්, කෙටි පණිවිඩ ආදියෙනුත් සුභ පැතුම් එකතු වෙනවා. ඒ දැන් තත්ත්වය. ඊට පෙර සමාජ ජාලා වෙබ් අඩවි නැති කාලෙ රසික රසිකාවියන්ගෙන් ලැබුණේ ඊට වඩා වෙනස්ම විදියෙ ප්‍රතිචාරයක්. සුභ පැතුම් පත්, තැපැල් පත්, ලිපි, නිර්මාණ ගොඩක් ඒ දවසට එකතු වුණා. ඒ සමහර නිර්මාණවල පත්තරවල මගෙ පළවුණු ඡායාරූප ආදිය යොදාගෙන ලස්සන දේවල් කරලා එවලා තිබුණා. නිසදැස්, කවි නිර්මාණයන් එක්ක. ඒ දේවල් ඇත්තටම හරිම සුන්දරයි. අදටත් ඒ නිර්මාණ එකතුවක් මගෙ ළඟ තියෙනවා.
අද නම් තාක්ෂණයෙ දියුණුවත් එක්ක ඒ දේවල් අඩුවෙලා තියෙනවා. නමුත් සුභ පැතුම්වල අඩුවක් වෙලා නැහැ.

• ඒ වගේ ආදරයක් ලැබෙද්දි කොයි වගේ හැඟීමක්ද තියෙන්නේ?

ඇත්තටම සතුටුයි. මොකද මම වෙනුවෙන් පුංචි හෝ වෙලාවක් යොදාගෙන දෙයක් කරන්නේ පුංචි හරි වටිනාකමක් තියෙන නිසානෙ. ඉතින් ඒ ලබාදෙන වටිනාකමට වටිනාකමක් එකතු කරන්න ඕනෑ කියන දේ මට නිතරම හිතෙන දෙයක්.
ඒ තුළින් සමාජමය වගකීමකුත් හිතට එනවා. ඉතින් ඒ ආදරේට මමත් ගොඩක් ආදරෙයි. එවැනි ජනාදරයක් ලබන්නට පෙර පිනක් හෝ වාසනාවක් තියෙන්න ඇති කියලා හිතෙනවා.

• මෙවර උපන්දිනය සැමරීම වෙනුවෙන් කොයිවගේ සැලසුමක්ද තියෙන්නේ?

මේ වතාවෙ ඇත්තටම ලොකු සැලසුමක් නැහැ. රටේ තියෙන තත්ත්වයත් එක්ක ලොකු දෙයක් කරන්නත් බෑනෙ. ඉතින් ලොකු දෙයක් නැතිවෙයි.
ඒ දවසට කොහොමත් මම නිවේදනයෙන් සම්බන්ධ වන හිරු ස්ටාර් සජීවි වැඩසටහන පැවැත්වෙනවා. ඒ වැඩසටහන එක්ක තමයි සම්බන්ධ වෙන්න වෙන්නේ.

ධනු විජේරත්න

20210211Saranga (1) 20210211Saranga (2) 20210211Saranga (3)