සිංහල සිනමාවට මම කළ හැමදේටම මට රිටර්න් එක ලැබුණේ ‘ඝරසර්ප’ චිත්‍රපටයෙන්
රංගන ශිල්පියෙකු, අධ්‍යක්ෂකවරයෙකු, නිෂ්පාදකයෙකු ආදී භුමිකා කිහිපයක්ම සිනමා ක්ෂේත්‍රය තුළ සිදුකරන ඔහු නිෂ්පාදනයෙන් දායක වූ ‘ඝරසර්ප’ චිත්‍රපටය මෙවර සිග්නීස් සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය බවට පත් විය. එයද නිමිති කර ගනිමින් මේ කතාබහ ඔහු සමගිනි. ඔහු අර්ජුන් කමලනාත්ය.
‘ඝරසර්ප’ චිත්‍රපටයේ නිෂ්පාදන කාර්යය හා ලද සම්මානය ගැන මුලින්ම කතා කරමු?
මම සිනමා ක්ෂේත්‍රය තුළ කටයුතු කිරීම ආරම්භ කරලා මේ මසට අවුරුදු විස්සක් වෙනවා. ‘මොහොතින් මොහොත’ කියන චිත්‍රපටයේ ඉතාම කුඩා චරිතයකට මම රංගනයෙන් දායක වුණේ. පසුව ප්‍රධාන චරිතවලට දායක වෙන්න පුළුවන් වුණා. ඉන්පසු නිෂ්පාදනයත් යොමු වුණා. ‘ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ’,’කුණාටුවේ මාරයා’,’කුසල්’ යන චිත්‍රපට අධ්‍යක්ෂණයටත් යොමුවුණා. ඉන්පසු ඩිලාන් ගුණවර්ධන සමග එක්ව ඉන්දියාවට මුදල් යවන්නේ නැතුව, ලංකාවේ චිත්‍රපට ලංකාව තුළම සිදුකර හැකි කුල්නෙත් මීඩියා ස්ටුඩියෝ එක හැදුවා. අනූෂා මහරගම, වින්ස් වාද්දුව, වලස්මුල්ල වැනි සිනමා ශාලා මම අරගෙන නවීකරණය කළා. දැන් එහි චිත්‍රපට ප්‍රදර්ශනය වෙනවා. මේ අවුරුදු විස්ස තුළ මෙවැනි විවිධ කටයුතු මම සිදු කළා. එහි අග්‍රඵලය ‘ඝරසර්ප’ කියලා තමයි මම හිතන්නේ. ජයන්ත චන්ද්‍රසිරි කියන්නේ සිනමා ක්ෂේත්‍රය තුළ ඉන්න අංක එකේ අධ්‍යක්ෂකවරයෙක්. ඔහුගේ අධ්‍යක්ෂණයෙන් කළ මේ චිත්‍රපටයට කමල් අද්දරආරච්චි,ජැක්සන් ඇන්තනී,ශ්‍රියන්ත මෙන්ඩිස්,සංගීතා වීරරත්න වැනි ප්‍රවීණ නළු නිළියන් රංගනයෙන් දායක වුණේ. සමිතා මුදුන්කොටුව,දුමාල් වර්ණකුලසූරිය වැනි ගායකයින් යොදාගෙන තමයි මෙහි ගීත නිර්මාණය වුණේ. සමීතා මෙහි ගීත ගායනා කරන්නේ දුව රංගනයෙන් දායක වන චරිතයට. එය ඉතා සුවිශේෂි අවස්ථාවක්. දෙන්නම හොඳම ගායිකාව හා නැගී එන නිළිය ලෙසින් එකම වේදිකාවක සම්මාන ලබනවා.
1992දී ‘සිසිල ගිනිගනියි’ චිත්‍රපටය අධ්‍යක්ෂණය, නිෂ්පාදනය කළ සනත් ගුණතිලක හොඳම නිෂ්පාදනයට හිමි සම්මානය හිමිකර ගන්නවා. ඉන්පසු නිෂ්පාදනයෙන් දායක වෙලා මට මේ සම්මානය ගන්න හැකි වෙනවා. මාව මිනිසුන් දැන ගත්තේ සිනමාව නිසා. මට සිනමාව නිසා බොහෝ දේවල් ලැබිලා තිබෙනවා. ඒ නිසා මීට යමක් කළ යුතුයි කියලා හිතලා මම මේ තුළ කටයුතු කරන්නේ.
නමුත් ඔබ සිනමා ක්ෂේත්‍රය තුළ එකම භුමිකාවක කාලයක් කටයුතු කරන්නේ නැහැ. ඒකට හේතුව මොකක්ද?
මට එක දෙයක් කරගෙන ඉන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. උසස් පෙළ කරලා මම ප්‍රතිඵල එන්නත් කලින් පෞද්ගලික ආයතනයක වැඩට ගියා. ප්‍රතිඵල ආවට පස්සේ පෞද්ගලික ආයතන තුනකට පමණ ගියා. ඔහොම කටයුතු කරද්දි සමූපකාර ග්‍රාමීය සංවර්ධන බැංකුවේ ෆිල්ඩ් ඔෆිසර් ලෙස කටයුතු කරන්න හැකියාව ලැබුණා. ඒ අවස්ථාවක දැකලා සුනිල් සෝම පිරිස් මහත්මයා තමයි මට රඟපාන්න කතා කළේ. දැන් අවුරුදු විස්සක් සිනමා ක්ෂේත්‍රය තුළ ඉන්නවා. මේ ක්ෂේත්‍රය තුළ රංගනය, අධ්‍යක්ෂණය, නිෂ්පාදනය, සිනමා ශාලා හිමිකරුවෙක්, ස්ටුඩියෝ එකක් කරන්න කටයුතු කළා. මේ අවුරුදු විස්ස තුළම මම මේ තුළ සිදුකළ භුමිකා වෙනස් වෙන්නේ මේ සිනමාවට මම දෙයක් කරන්න ඕන කියලා හිතපු නිසා. මේ හැමදේම කරන්නේ සිනමාට තිබෙන ගරුත්වය හා ආදරය නිසා.
නිෂ්පාදන කටයුතුවලට යොමු වෙන්නේ,සිනමා ශාලා හිමිකරුවෙක් බවට පත්වෙන්නේ ව්‍යාපාරිකයෙකුගේ භුමිකාවකුත් එක්කනේ?
‘කුසල්’ චිත්‍රපටයෙන් මම පාඩු ලැබුවා. ‘ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ’ චිත්‍රපටයෙන් යම් මට්ටමකට වියදම ආවරණය කර ගන්න හැකි වුණා. ‘කුණාටුවේ මාරයා’,’කිඩ්නැප්’ තවම තිරගත වුණේ නැහැ. ‘ඝරසර්ප’ වියදම පියවගන්න පමණයි පුළුවන් වුණේ. නමුත් ‘ඝරසර්ප’ තුළින් විදේශ රටවල්වලට යන්න ආදී වෙනත් අවස්ථා ලැබුණා. සිංහල සිනමාවට මම කළ හැමදේටම මට රිටර්න් එක ලැබුණේ ‘ඝරසර්ප’ චිත්‍රපටයෙන්. ඒකට මම ජයන්ත අයියට ස්තුති කරනවා.
ඔබ වෘත්තිමය වශයෙන් මේ ක්ෂේත්‍රය තුළ නියැලෙන්නේ. සිනමා ශාලා ගන්න, ස්ටුඩියෝ නිර්මාණය කරන්න ආයෝජනය කරන්නේ මේ ක්ෂේත්‍රය තුළින් ඉපැයූ මුදල් නෙමෙයිද?
LOLC සමාගමෙන් මට සහනයක් ලැබුණා. එම් පී අයි එකේ ශෙයාෂ් මම ගත්තා. මේ වෙද්දි නඩු කටයුතු පවතින නිසා මට ඒ ගැන කතා කරන්න බැහැ. මම ප්‍රොජෙක්ට් එකක් ඉදිරිපත් කළා. එය ක්‍රියාත්මක වුණා නම්, මේ රටේ තවත් සිනමා ශාලා දහයක් පමණ නිර්මාණය වෙනවා. නමුත් එසේ වුණේ නැහැ. මෙහි අවසානය කොහේද කියලා මම දන්නේ නැහැ. එය සුබ වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.
සිනමාපට බෙදාහැරීමේ ව්‍යාකූල තත්ත්වයන් තුළදී, සමහර අවස්ථාවල ඔබ පෞද්ගලික මණ්ඩල වෙනුවෙන් පෙනී සිටිනවා. තවත් අවස්ථාවක චිත්‍රපට සංස්ථාව වෙනුවෙන් පෙනී සිටිනවා?
මම ජාතික චිත්‍රපට සංස්ථාව බෙදාහැරීම සිදුකරන එකට මුලින්ම කැමැත්තෙන් හිටියේ. නමුත් චිත්‍රපට සංස්ථාවට පත් වෙන සභාපතිවරුන්ගේ එක ප්‍රතිපත්තියක් නැහැ. පෞද්ගලික අංශය තුළ සිටින පිරිසක් ඔවුන්ව යම් යම් දේවලට නතු කර ගන්නවා. අනූෂා ගෝකුල සභාපතිතුමිය පැමිණියාම මෙහි පැහැදිලි වෙනසක් මට තේරුණා. ඇය කාන්තාවක් වීමත් එයට එක් හේතුවක්. ඒ නිසා වෙනත් වරප්‍රසාද ලබාදෙමින් ඇයව නතු කර ගන්න ඔවුන්ට හැකියාවක් නැහැ. මණ්ඩලවල ලොකු අසාධාරණයක් තිබෙනවා. ලංකාවේ නිර්මාණය වන හොඳම චිත්‍රපට ඊ.ඒ.පී සමාගමෙන් ඩැහැ ගන්නවා. ඉන්පසු සෙල් මණ්ඩලය ගන්නවා. ඉන්පසු එම්පී අයි,එල් එෆ් ඩි වලට සිනමා නිර්මාණ නැහැ. සංස්ථාවේ මණ්ඩලයටත් සිනමා නිර්මාණ නැහැ. එක්තරා කොටසක් තමයි මේ තුළින් දෙයක් ලබා ගන්නේ. නමුත් සංස්ථාව බෙදාහැරීම හිමිවීමත් එක්ක ධාරා තුනක් ඔවුන් හැදුවා. එයට මම කැමැතියි. මේ ධාරා තුන මණ්ඩල පහේ බෙදී යනවා. මේ තුළින් සැමට සාධාරණ බෙදී යාමක් සිදුවෙනවා. අද තිබෙන තාක්ෂණය ආදි කාරණාවලදී චිත්‍රපට සංස්ථාව යාවත්කාලීන වෙලා නැහැ. මේ නිසා චිත්‍රපට සංස්ථාවේ සිටින පිරිසත් එක්ක මේ කටයුත්ත කරන්න අපහසු වෙලා තිබෙනවා. මේ නිසා අපිත් නන්නත්තාර වෙලා ඉන්නේ. කෝකද හොඳ කියලා දැන් අපිටත් හිතාගන්න බැරි තත්ත්වයක් ඇති වෙලා. මම උදාහරණයක් කියන්නම්, මම මහරගම අනූෂා සිනමාහල, ත්‍රිමාණ සිනමාහලක් බවට පත් කර, වායුසමනය කර සිනමා ශාලාවක් ලෙස වැඩි දියුණු කළා. මහරගම නැෂනල් සිනමාහල එම්පීඅයි මණ්ඩලයෙන් ඊ.ඒ.පී. මණ්ඩලයට පවරා ගන්නවා. මණ්ඩලයක තිබෙන සිනමා ශාලාවක් තවත් මණ්ඩලයකට පවරා ගන්නවා නම්, අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතිව සහිතව ක්‍රියාත්මක විය යුතු ලොකු ක්‍රියාවලියක් තිබෙනවා. නමුත් එම්පීඅයි යටතේ මේ මොහොතේ අධ්‍යක්ෂක මණ්ඩලයක් නැහැ. එක් පුද්ගලයෙක් තමයි එය ඒක පුද්ගල ව්‍යාපාරයක් ලෙසින් කරන්නේ. කෙසේ හෝ දැන් නැෂනල් සිනමා ශාලාව පවතින්නේ ඊ ඒ පී යටතේ. ඔවුන් දැන් මෙය 3D කර, වායුසමනය කර හදලා තිබෙනවා. දැන් ‘විජයබා කොල්ලය’ චිත්‍රපටය බෙදාහැරීම ඊඒපී සමාගම යටතේ සිදුවෙන්නේ. නමුත් ධාරාවේ පවතින සිනමා ශාලාව අනූෂා සිනමා ශාලාව. සංස්ථාවේ තිබුණු ක්‍රමය අනුවත් අනුෂා සිනමා ශාලාවට එය හිමිවිය යුතුයි. නමුත් එය ලබා නොදී ඔවුන් මහරගම නැෂනල් සිනමා ශාලාවේ චිත්‍රපටය තිරගත කරනවා. මේ නියාමනයට සංස්ථාව යම් තරමකින් මැදිහත් වුණා. දැන් සිනමා ශාලා දෙකේම දර්ශන වාර තුන බැගින් මේ චිත්‍රපටය තිරගත වෙනවා. දැන් මහරගම සිනමා ශාලා තුනක ‘විජයබා කොල්ලය’ දර්ශන වාර අටක් තිබෙනවා. මෙය සිනමා ශාලා විදිහට බැලුවොත් පාඩුයි. මේ වෙලාවේ එම් පී අයි,සංස්ථාවට චිත්‍රපටයක් ලැබුණොත් පෙන්වන්න තැනක් නැහැ. හැම සිනමා ශාලාවක්ම එක චිත්‍රපටයකට අරගෙන. මෙවැනි දේවල් සංස්ථාව මැදිහත් වෙලා ක්‍රියාත්මක විය යුතුයි. මෙලෙස නව සිනමා ශාලා හදන්නත්, පවත්නා සිනමා ශාලා අරගෙන නවීකරණය කරන්නත් ආයෝජනය කරන්නේ කවුද කියලා හොයලා බලන්න ඕන. එසේ නොවුණොත් සිංහල සිනමා නිර්මාණ වෙනුවට දෙමළ සිනමා නිර්මාණයම තිරගත වෙන සිනමා ශාලා බවට එය පත් වෙයි. මේවායේ නියාමනයක් නැහැ. බෙදාහරින මණ්ඩලයම සිනමා ශාලා හදලා හොඳම සිනමාපට අරගෙන තමන්ගේ සිනමා ශාලාවල ප්‍රදර්ශනය කරනවා. මෙවැනි ඒකාධිකාරිත්වයක් මෙහි තිබෙන්නේ. සංස්ථාව මැදිහත් වෙලා මේ දේවල් නියාමනය කළ යුතුමයි.
සිනමා ශාලා හිමියන් මේ ගැන යම් කතිකාවතක් ඇති කරනවා දකින්න ලැබෙන්නේ නැහැ?
එකම නගරයේ මෙවැනි සිනමා ශාලා හැදීමෙන් තමයි මේ ප්‍රශ්නය මතු වෙන්නේ. තමන්ට මේ දේ වෙනකං හැමෝම නිහඬයි. තමන්ටත් ඒ දේ වෙද්දි තමයි එකතු වෙන්නේ. අද සිනමා ශාලා හැදෙන්නේ කෙසෙල් කැන් හැදෙනවා වගේ. අම්මා මරාගෙන පුතා උපදිනවා වගේ වැඩක් වෙන්නේ. මම වෙන ව්‍යාපාර කරන ගමන් මේක කරනවා නම් ඒ ගැන හිතන්නෙ නැතුව ඉන්න තිබුණා. මේ තුළ දැන් අපේ මුදල් වෙන රටවලට යන ක්‍රමවේදයක් ඇතිවෙමින් පවතිනවා. වර්තමාන ආණ්ඩුව ගත්ත වැරදි තීරණයක අනිටු ප්‍රතිවිපාක තමයි අපි මේ භුක්ති විඳින්නේ.
නිදුක් මදුෂික
