අපි හැමෝම ලස්සනට අඳින්න කැමතියිනේ මමත් එහෙමයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දෙරණ අවුරුදු කුමරිය ලෙස අභිෂේක ලබමින් පසුව රංගනයට පිවිසි අවිශ්කා උමයංගනි මෑත කාලයේ බොහෝ කලා නිර්මාණ ඔස්සේ ඔබට දකින්නට ලැබුණ කලා ශිල්පිණියකි. බොහෝ පිරිසකගේ වර්තමානය වනවිට ආදරය කරන අවිශ්කාට සාරවිට තුළින් අපද මෙවර ඉඩක් වෙන් කළා.

ඇගේ හැඩය තියාගන්න ව්‍යායාම් එහෙම කරනවද?

ව්‍යායාම් නම් කරනවා ගොඩක් අඩුයි. මොකද, තියෙන වැඩත් එක්ක ඒ දේවල් කරන්න ඇත්තටම වෙලාවක් නැහැ මට. කාලයක් මම ව්‍යායාම් කළා. දැන් වසර දෙකක් විතර වෙනවා ඒවා නවත්වලා. මගේ ඇඟ ඉතින් ගොඩක් වෙලාවට වෙනස් වෙන්නේ නැහැ. මීට වසර ගණානවකට කළින් මාව දැක්කත් මේ විදිහටම තමයි මම හිටියේ.

ආහාර ගැන අවිශ්කා ලොකුවට හිතන කෙනෙක්ද?

මම ගොඩක් කෑම කන කෙනෙක්. මට හොඳට කන්න පුළුවන්. ගොඩක් කෑම කැවා කියලා ඉතින් ලොකුවට මගේ ඇඟ එන්නේ නැහැ. බැරි වෙලාවත් මගේ ඇඟේ තියෙන හැඩය වෙනස් වෙනවා කියලා දැනුණොත් කෑම චුට්ටක් විතර අඩු කරනවා. මොනවා හරි වැඩක් ලැබුණොත් ඒක ඉලක්ක කරගෙන කැම අඩුවෙන් කනවා මම. නැතුව ලොකුවට කෑම පාලනය කරන්නේ නම් නැහැ. තෙල් කැම පිටි කැම කියලා එහෙම ලොකු පාලනයකුත් නැහැ මගේ.

ලස්සනට අඳින්න කැමති කෙනෙක් නේද ඔබ?

ඔව් තරුණ ගැහැණු ළමයෙක් විදිහට මම ලස්සනට අඳින්න කැමතියි. ගැහැණු අපි ඉතින් ලස්සනට අඳින්න පළඳින්න කොහොමත් කැමතිනේ. කාලෙන් කාලේට විවිධ විලාසිතා එනවා නේ ලෝකයට. ඒ හැම දෙයක්ම භාරගෙන කරන්නේ නැහැ ඉතින් මම. විලාසිතා කරන්න මම ගොඩක් ආස කරන කෙනෙක්. හැබැයි අර එන හැම විලාසිතාවක්ම මම භාරගන්නේ නැහැ. එතැනින් මට ගැළපෙනවා කියලා හිතෙන විලාසිතා පමණයි මම තෝර ගෙන කරන්නේ.

යාළුවෝ, පවුලේ අය අවිශ්කාගේ ලස්සනයි කියන්නේ මොනවද?

ගොඩක් අය කියන්නේ මගේ මුහුණ ලස්සනයි කියලා. ඇස් නහය කට වගේ දේවලුත් ලස්සනයි කියනවා. මෙහෙමයි ලස්සන කියන්නේ එකිනෙකාට සාපේක්ෂකව වෙනස් දෙයක්. ගොඩක් වෙලාවට මගේ යාළුවෝ වගේම ගෙදර අය මගේ ලස්සනට වඩා ඒ අය කැමති මගේ හොඳ හිතට. මාත් එහෙමයි. මම ගොඩක් හිත හොඳ සංවේදි කෙනෙක් කියලයි මට හිතෙන්නේ.  

මිස් ශ්‍රී ලංකා වගේ ලොකු පැජන්ට් එකකට යන්න කැමති නැද්ද?

මුලදි කැමැත්තකුත් තිබුණා. අවුරුදු කුමරිය වෙලා මම ටික කාලයක් කලා කටයුතුවලට සම්බන්ධ වෙලා හිටියා. ඒ කාලේ ගොඩක් අය කිව්ව දෙයක් තමයි මිස් ශ්‍රී ලංකා වගේ තරගයකට ඉදිරිපත් වෙන්න කියලා. ඒ වුණාට ඉතින් ගියේ නැහැ මම. බලමු ඉදිරියට ඉතින්. හැමදේටම වෙලාව එන්න ඕනා නේ. මම ඒ ගැන හිතනවා ඉදිරියට.

බුද්ධික සේනාධීර