ඇහැට නොපෙනෙන හුඟාක් දේවල් මේ ලෝකයේ තියෙනවා - හරිනි කාව්‍යාංජනී



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මතක මන්දිර සදාලන්නේ සංසාර මන්දිර යැයි සිතේ. ආ දුර කොතෙක්ද යා යුතු දොර කොතෙක්ද නොදන්න සංසාර චාරිකාව පුරා රුගෙන එන මතක සමුදාය කොතෙක් වෙත්ද... ප්‍රේමය වනාහි ඒ සංසාර මන්දිරය භවයෙන් භවයට ගැට ගසන ස්වර්ණවත් රැහැන් පට වැන්න. ඒ නමුදු ඒ මතක මැද ඒ ප්‍රේමණීය සුසංයෝගයන් තුළ අපි තව තවත් ජීවිතයටම පෙම් බඳිමු. ඇයද එනයින්ම ප්‍රේමණීය වන වග මට හැඟේ. ඒ ඇගේ වදන් තුළ මෙන්ම ජීවිතය තුළ ද ප්‍රේමයේ තෙත් ළතෙත් බව තැවරී ගැල්වී ඇති වග ඈ ඇසුරේදී දැනෙන නිසාමය. ලස්සන විසල් ඇස් අතර සැරිසරන්නී ඇය හරිනි කාව්‍යාංජනී ය. යටගියාවක සිංහල හින්දු අලුත් අවුරුදු මතක සේම ජීවිතයේ සොඳුරු මතක දොඩමලුවක් වෙනුවෙන්ය මේ ඉඩ හසර.

Q පුංචි දැරිවියක් කාලේ සිංහල අලුත් අවුරුද්ද ගෙවුණු මතක දිගේ ඇවිදිමු නේද?

පොඩි කාලෙ අලුත් අවුරුදු දවස් කියන්නෙ ජීවිතේ තිබුණු හරිම සුන්දර දවස්. නෑදෑයින් ගෙදරට එනවා. අපි නෑදෑ ගෙවල්වල යනවා. අලුත් අවුරුදු රසකැවිලි හිතේ හැටියට කන්න හම්බවෙනවා. තෑගි හම්බවෙනවා. නෑදෑයන්ට වැන්දම ඒ අය සල්ලි දෙනවා. ඉතින් ඒ කාලය හරිම වෙනස්. හරිම ලස්සනයි. අම්මා ගෙදරම රසකැවිලි හදනවා. අලුවා, වැලිතලප, මුංඇට කැවුම් කවදාවත් අම්මා හදන්නෙ නැතුව ඉන්නෙ නෑ. තෙල් තාච්චියේ කෑම බදිද්දි අපි ඉතින් ඉන්නෙ කොයි වෙලේද ඒවායේ රස බලන්නෙ කියලා. කැවුම් එහෙම හදද්දි පළවෙනි කැවුම කෝඳුරුවන්ට එහෙම කන්න වෙන් කරලා අපිට රස බලන්න දෙනකම් පුදුම ඉවසිල්ලක් තමයි ඉවසගෙන ඉන්නෙ. පුංචි කාලෙ අම්මයි තාත්තයි මටයි මල්ලිටයි ඇඳුම් කඩෙන් ගෙනත් දෙනවා. ටිකක් ලොකු වුණාම අපිව එක්කන් ගිහිල්ලා ඇඳුම් අරන් දෙනවා. අදටත් ඒ මතකවලට ආදරෙයි. 

Q අවුරුදු දවස්වල ඒ කාලෙ කරපු සෙල්ලම් මතකද?

අපේ තාත්තා නොවැරදීම ඔංචිල්ලාවක් නම් හදනවා. ඇතිවෙනකම් අපි ඔංචිලි පැද්දා. ඒ වගේම මම ආසයි බට්ටො පනින්න. අපේ ගමේ තිබුණා ගමේ පවුල් එකතු වෙච්ච අවුරුදු උත්සවයක්. මට මතකයි මම ඒ අවුරුදු උත්සවයේ බැලුම් පුම්බන්න යනවා. 

Q කවදාවත් අවුරුදු කුමරියකට ඇඳලා තියෙනවද නැද්ද?

නෑ කවදාවත් අවුරුදු කුමාරිට ඉඳලා නෑ.

Q එදා ඒ අවුරුදු සිරියාව අද වෙද්දිත් ඒ විදිහටම දැනෙනවාද?

ඒ කාලෙ හිටපු යාළුවො, නෑදෑයො හුඟක් අය දැන් ලංකාවෙ නැහැ. සමහරක් අය වෙන වෙන පළාත්වල පදිංචියට ගිහිල්ලා. අනිත් එක හිතන්න බැරි විදිහට හුඟක් අය කාර්යබහුලයි. දැන් හැමෝගෙම ජීවිතවල ආවේණික කාර්යබහුලත්වයක් තියෙනවා. ඉතින් මිනිස්සු හුඟක් අය භෞතිකව වගේම ආධ්‍යාත්මිකවත් දුරස්වෙලා කියලා දැනෙන තැන් වැඩියි. 

Q කොහොමද හරිනි ගෙදර අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර කරන පසුබිමක් තියෙනවද?

ඔව්.. ඒ කාලෙ ඉඳන්ම අපේ ගෙදර හරියටම අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර කරනවා. අවුරුද්දට අඳින්න ඕනෑ පාට අඳින්නෙ. අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරන්නෙ, නොනගතය කාලය ඒ විදිහට ගත කරන්නෙ අපි හරි ආසාවෙන්. අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර එහෙම කළාම හිතට ලොකු සහනයක් විවේකයක් දැනෙනවා. මට හිතෙන්නෙ හැමෝම එකතුවෙලා ඒ විදිහට එකම වෙලාවකට චාරිත්‍ර වාරිත්‍ර කරද්දි විශ්ව ශක්තියක් ආශිර්වාදයක් සොබාදහමට මුදා හැරෙනවා කියලා.

Q ඔයා සල්ලි හම්බ කරන්න ගත්තට පස්සෙ අම්මා තාත්තා වෙනුවෙන් මල්ලි වෙනුවෙන් අවුරුද්දට තෑගි බෝග අරන් දෙන යුතුකමක් කරනවද?

අනේ ඔව්. මම හම්බ කරන සල්ලිවලින් අම්මට තාත්තට මල්ලිට මම හරි ආසාවෙන් අවුරුද්දට ඇඳුම් අරන් දෙන්නෙ. ඒ අරන් දෙද්දි සම්පූර්ණ ඇඳුමක්ම අරන් දෙනවා. මගේ පවුලේ ආච්චිලට සීයලට නංගිලාට මල්ලිලාටත් අරන් දෙනවා. ඒ වගේම ගමේ ඉන්න අපි සැලකිය යුතු විශේෂ පවුල් හිටියොත් මම ඒ අයටත් මට පුළුවන් විදිහට උදව් කරනවා. පරිත්‍යාගය කියන්නෙ ඇත්තටම සතුටක්.

Q මම දන්න හරිනි ආගම දහම කෙරේ විශේෂ ළැදියාවක් තියෙන කෙනෙක්. එය බැඳීමක්ද? අවබෝධයක්ද?

මගේ අම්මා තාත්තා දෙන්නම පන්සලට හුඟක් ළැදියි. අපි පුංචි කාලෙ ඉඳන්ම එයාලා පුළුවන් විදිහට ධාර්මික කටයුතුවල දාන මාන පින්කම්වල නියැළුණා. චෛත්‍යවලට කප්රුක් පූජා කරනවා. කැලණිය පන්සලේ එහෙම පූජාවලට ගියාම අපි ගෙදර එන්නෙ පාන්දර තුනට හතරට විතර. කතරගම, රුවන්වැලි සෑය, ජය ශ්‍රී මහා බෝධිය වඳින්න යන එක අපේ ජීවිතවල විශේෂාංගයක් වගේ. බෞද්ධ දර්ශනය කෙරේ සහ වත් පිළිවෙත් කෙරේ සහ දෙවියන් කෙරේ මට තියෙන්නෙ බැඳීමක් වගේම අවබෝධයක්. දවසක මේ ලෝකයෙන් නික්මෙද්දි අරන් යන්න එකතු කරගන්න ඕනෑ පින් සහ කුසල් කියන්න මම විශ්වාස කරනවා. හැමදේම අනිත්‍යයි කියන එක සවිඥානිකව අවබෝධ කරගෙන හැකි උපරිමයෙන් සතුටින් ජීවිතය විඳින කෙනෙක් මම. කවදාවත් තවත් කෙනෙකුට ප්‍රශ්නයක් වෙන විදිහට බරක් වෙන විදිහට අපි ජීවත් විය යුතු නැහැ. වැදගත්ම දේ තමා මනුෂ්‍යත්වය සහ අවබෝධය. සොබාදහම නිවැරදි විනිශ්චයන් සහ ආශිර්වාදයන් එවැනි ජීවිත උදෙසා පිරිනමනවා කියලත් මම විශ්වාස කරනවා. හැමදේටම මුල් වෙන්නෙ තමන්ගෙ සිත. අපි යමක් නිවැරදිව විශ්වාසයෙන් කරනවා නම් ඒ දේ කවදාවත් වරදින්නෙ නැහැ. 

Q බෞද්ධ දර්ශනය තුළ සහ වත් පිළිවෙත් තුළ ඇති සත්‍යතාව ඒ ඇසුරේ වඩාත් අවබෝධයෙන් සහ භක්තියෙන් කටයුතු කරන ඔබ අත්විඳලා තියෙන්නෙ කොහොමද?

බෞද්ධ දර්ශනය කියන්නෙ විද්‍යාවෙන් බොහෝ ඉදිරියට ගිය ඉතාමත් ශ්‍රේෂ්ඨ සහ සත්‍යවාදී දර්ශනයක්. එහි සත්‍යතාව ඒ කෙරේ විශ්වාසයෙන් කටයුතු කරන වත් පිළිවෙත්හි නියැලෙන මම ඕනෑ තරම් විඳලා තියෙනවා. සුළඟ ඇස් දෙකෙන් දැකලා නැති වුණාට හමන වග දැනෙනවා. විශ්වාසයත් ඒ වගේ. පියැවි ඇසට නොපෙනෙන දේවල් මේ ලෝකයේ ගොඩක් තියෙන බව මම විශ්වාස කරනවා. පෙනෙන දෙයට ඔබ්බෙන් මිනිස්සුන්ට ලෝකය දකින්න පුළුවන් නම් බොහෝ දේවල්වල සත්‍ය සහ ගැඹුර වැටහේවි. 

Q ප්‍රේක්ෂක ආදරයට හරිනි ප්‍රතිචාර දක්වන්නෙ කොයි විදිහටද?

ක්ෂීර සාගරය කැළඹිණ, කදිර දිව්‍යරාජ චිත්‍රපට බලපු ප්‍රේක්ෂකයන්ගෙන් මට ලැබුණු ආදරය ප්‍රතිචාර මම බාරගත්තෙ හරිම නිහතමානීව. මම රඟපාපු රුසියානු චිත්‍රපටයත් කවදා හරි දවසක මේ රටේ ප්‍රේක්ෂකයන්ට දකින්න ලැබුණොත් එදාටත් මට ඒ අයගේ ආදරය හමුවේවි. ඒ ආදරයට මම ආදරෙයි සහ හරිම ගෞරව පූර්ව හැඟීමකින් ඒ ආදරය බාරගන්නවා කියන එක තමයි කියන්නෙ. 

Q සමාජ මාධ්‍ය කෙරේ ඇබ්බැහි වීම මිනිස්සු මිනිස්සුන්ගෙන් හුඟක් දුරස් කරලා, ළඟම ඉන්න කෙනා දුරම ඉන්න කෙනෙක් බවට පත් කරලා, දුරම ඉන්න කෙනෙක් ළඟම ඉන්න කෙනෙක් බවට පත් කරලා. මිනිස්සු ඒ තරම් තාක්ෂණික වීම ඔබ දකින්නෙ කොයි විදිහටද?

සමාජ මාධ්‍ය ඔස්සේ ගොඩක් වෙලාවට මිනිස්සු පෙන්වන්නෙ තමාගේ සැබෑ තත්ත්වය නෙවෙයි. ඇත්තටම හිතාගන්න බැරි විදිහට මිනිස්සු ජංගම දුරකථනයට සහ සමාජ මාධ්‍යයට ඇබ්බැහි වෙලා ඉන්නවා. ඒ ඇබ්බැහිය නිසාම මිනිස්සු මිනිස්සුන්ගෙන් හුඟක් දුරස්වෙලා ඉන්න බව දැනෙනවා. කතා කරන්න, ජීවිතය බෙදා හදාගන්න, ආදරය විඳින්න, අනිත් කෙනාගේ රිදුම් තමාගේ රිදුම් විදිහට දැනෙන සතුට සතුට විදිහට දැනෙන සහකම්පනය ප්‍රගුණ කරන්න හුඟක් අයට තේරෙන්නෙ නැහැ. හුඟක් මිනිස්සු ඉන්නෙ මවාගත්ත ෆැන්ටසියක සහ අමුතුම ලෝකෙක. ඒත් මිනිස්සුන්ට මිනිස්සුන්ගෙ ආදරය, ළෙන්ගතුකම, ඇහුම්කන් දීම, මානසික පැවැත්ම වගේම භෞතික පැවැත්ම වෙනුවෙනුත් හුඟක් ඕනෑ. මම දකින දෙයක් තමයි අලුත් පරම්පරාවෙ හුඟක් අය කුල සංවේදීත්වය හුඟක් අඩුයි. ඒ වගේම සමාජ මාධ්‍ය ඔස්සේ මිනිස්සු හුඟක් වෙලාවට දැන හෝ නොදැන තමාගේ පෞද්ගලිකත්වය පමණ ඉක්මවා නිරූපණය කරන තැන් හරි වැඩියි. මිනිස්සුන්ගෙ නිර්මාණශීලීත්වය, මානුෂිකත්වය, සහකම්පනය, චින්තනය, සමාජ කියැවීම, පමණ ඉක්මවා ජංගම දුරකථනයට සහ සමාජ මාධ්‍යයට ඇබ්බැහි වීම තුළ හුඟක් අඩුවෙලා තියෙන බව දැනෙනවා. විශේෂයෙන්ම දරුවන් ඒ තුළ ගොදුරක් වීම මම දකින්නෙ අනාගත සමාජ ඛේදවාචකයක් විදිහටයි.

I සංජීවිකා
සේයාරූ I සුමුදු හේවාපතිරණ