එරබදු මල් ගිනි ඇවිළුණු හබයක්!



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඇඟිල්ල දිගු කරන්න ඉස්සර හිතන්නට බොහෝ දේ ඇත! 

සුන්දර මල් උයනක් පවා එක පුංචි ගිනි පුළිඟුවකින් ඇවිලී යන්න පුළුවන්. ඒකට ඕනෑ පුංචි සුළඟක් විතරයි. පහුගිය සතියේ අපේ කලා ලෝකයේ එහෙම ගින්නක් ඇවිළුනා. ඒක හේතු වුණේ ගීයක නිර්මාණය අයිතිය සම්බන්ධ ප්‍රශ්නයක්. ඉතින් අපි ඒ ගැන ඔබ එක්ක කතාබහ කරන්න හිතුවා. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කලාවේදියෙක් විය හැකි නම් කලාවේදියා කියන්නේ බොහෝම සුන්දර සංවේදී මිනිස්සු. ඒ නිසාම අපි මේ සිදුවීමේ හරි වැරැද්ද කාගෙද කියලා, කිරලා මැනලා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. මේ උත්සාහය සිදුවූ සිදුවීම පිළිබඳ වගේම ගීයක නිර්මාණය අයිතිය පිළිබඳ ඔබව දැනුවත් කරන්න.

ඔන්න පහුගිය අලුත් අවුරුදු සමයේ රූපවාහිනී නාලිකාව අවුරුදු වැඩසටහනක, නදීර නෝනිස් සහ ඔහුගෙ දියණිය අවුරුදු ගීතයක් ගායනා කළා. 'එරබදු මල් පිපිලා දැක්කම හරි ආසයි' ගීතයේ තමයි ඔවුන් ගායනා කළේ. කොහොම හරි මේ වැඩසටහන මේ ගීතය සමාජ මාධ්‍ය ජාලාවල රසික සිත් වශී කරගන්න සමත් වුණා.

නදීර නෝනිස් කියන්නේ ලංකාවේ බොහොම ප්‍රසිද්ධ ඔක්ට පෑඩ් වාදන ශිල්පියෙක් වගේම ගායන ශිල්පියෙක්. කාලයක් කණ්ඩායම් සගීතය තුළ නදීර බොහොම කැපිලා පේන චරිතයක් වෙලා හිටියා. ඉතින් කාලෙකට පස්සේ නදීර නෝනිස් සහ දියණිය මේ ගීතය නිසා කාගෙත් අදරය දිනා ගත්තා. විශේෂයෙන්ම නදීරගේ දියණියගේ ගායන හැකියාව සහ ඇගේ හඬෙහි සහ උච්චාරණයේ තියෙන අපූර්වත්වය තමා මේ ජනප්‍රියත්වයට හේතු වුණේ.

ඒ කොහොම වුණත් මේ ගීතය මුලින්ම ගායනා කළේ රජිව් සෙබෙස්තියන් සහ නෙලූ අධිකාරි ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පියා සහ ශිල්පිනිය විසින්.  හැම සිංහල අලුත් අවුරුද්දකම වගේ 'එරබදු මල් පිපිලා දැක්කම හරි ආසයි' අපිට අහන්න ලැබුණා. රූපවාහිනියෙන් ගුවන් විදුලියෙන් වගේම සල්පිලේ කඩපිලේ පවා අවුරුදු කාලෙට මේ ගීතය බොහොම ජනප්‍රියයි. ඇත්තටම මේ ගීතය ලියලා තනු නිර්මාණය කරලා තිබුණේ රජිව් සෙබස්තියන් මහත්මයා. රජිව් සෙබෙස්තියන් කියන්නෙත් අපූරූ හඬ පෞරුෂයක් තියෙන ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පියෙක්. ඔහු වෙනස්ම හැඩයේ ගීත නිර්මාණ කිහිපයක් කරලා තියනවා.

කොහොම හරි නදීර නෝනිස් සහ දියණිය 'එරබදු මල් පිපිලා දැක්කම හරි ආසයි' ගීතය ගායනා කරලා සතියක් හමාරක් ගත වෙනකොට තමා ගිනි පුලිඟුවක් සුළඟ ගහගෙන ඇවිල්ලා කලා ලෝකය ගිනි තිබ්බේ. ඒකට හේතු වුණේ නදීර නෝනිස් මුහුණු පොතේ තබපු සටහනක්.

'මම දුවත් එක්ක අවුරුදු වැඩසටහනේ ගායනා කළ ගීතය යූටියුබ් වලින් අයින් කරන්න කියලා එහි අයිතිය තියෙන රජිව් සෙබස්තියන් මහත්මයා ඉල්ලා සිටියා. කලාකරුවෙකු විදියට තවත් කලාකරුවකුගේ ඉල්ලීම මා කැමැත්තෙන් සහ ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්න අතර එම වීඩියෝව යූටියුබ් එකෙන් මේ මොහොතේ අයින් කරනවා. සිදුවූ අපහසුතාවයට සමාවෙන්න කලාකරුවාණෙනි, රජිව් සෙබෙස්තියන්'

මෙය සටහන තබන මොහොත වනවිටත් මේ ගීතය සම්බන්ධව ලොකු කතාබහක් රසික සමාජය තුළ නිර්මාණය වෙලා තිබුණා. ඒ නිසාම මේ සටහනට ප්‍රතිචාර දක්වපු බොහෝ රසිකයෝ 'රජිව් කරපු හැටි වැරදියි' කියලා කියන්න බොහෝ දෙනෙක් පෙළඹුණා. මේ සටහන මතුපිටින් නොපෙනෙන යටිපෙළ අදහසක් රසිකයන් අල්ලගෙන තිබුණේ.

කොහොම හරි ඒ පෙළඹවීම කොතරම් දුරදිග ගියාද කියනවා නම් රජිව් සෙබස්තියන් පිළිබඳ තරමක බරපතළ විවේචන සමාජ මාධ්‍ය තුළ අපි දැක්කා. රජිව් අනුන්ගේ ගී ගයා ජනප්‍රිය වූ බව සමහරු කිව්වා. තවත් භාවිත කරලා තිබුණු වචන නම්, කලාව සම්බන්ධව කතා කරද්දී ඇත්තටම භාවිත කරන්න සුදුසු වචන නෙවෙයි. මේ සමාජ මාධ්‍ය සටහනට කමෙන්ටු දෙදහස් පන්සීයක් විතර වැටුණා.

ඊළඟට මේ කතාව වෙනස් තැනකට අරගෙන ගියේ යූ ටියුබ්කරුවෙක් වන සුදත්ත තිලකසිරි විසින්. වාසනාව හෝ අවසනාවකට සුදත්තත් ලංකාවේ ජනප්‍රිය කලකරුවෙක්. ඔහු රජිව් සෙබෙස්තියන්ව යූටියුබ් සංවාදයකට එකතු කරගත්තා. නදීරත්ට ආරාධනා කළ බව එතනදී ඔහු කියෙව්වා. මෙන්න මෙතනදී රජිව් සෙබෙස්තියන් තමන්ගේ පැත්තෙන් කතාව කියන්න පටන් ගත්තා.

ඔහු කිව්වා මේ ගීතය ගායනා කිරීම සම්බන්ධව ගැටලුවක් නැහැයි කියලා. තමන් ගායනා කළේ අනුන්ගේ ගීත බවත්, එසේ කීමද ආචාරාත්මක නොවන බවත් ඔහු පිළිගත්තා. රජිව් කිව්ව විදිහට ඔහුට තිබුණේ මේ ගීතය යූටියුබ් මාධ්‍යයට එකතු එකතු කිරීම සම්බන්ධව ගැටලුවක්. නදීරගේ දියණියගේ ජනප්‍රියත්වය වෙනුවෙන් සති දෙකක කාලයක් දීලා තමා ඔහු අදාළ රූපවාහිනිය ආයතනයට කතා කරලා තියෙන්නෙ ඒ නිසා. ඇත්තෙන්ම ඔහු නදීර නෝනිස්ට කතා නොකළ බව තමා මෙතැන දී කියැවුණේ. රජිව් අනුව නදීර තමා ඔහුට කතා කරලා තියෙන්නෙ.

තමන්ගෙ නිර්මාණවල අයිතිය පෞද්ගලික ආයතනයකට ලබාදීමට බලාපොරොත්තුවෙන් සිටින නිසා තමා, මේ වගේ ඉල්ලීමක් සිදුකළේ රජිව් මෙතැනදී තවදුරටත් පැහැදිලි කළා. මේ සංවාදය සුදත්ත තිලකසිරි නදීර නෝනිස්ට දුරකතන ඇමැතුමකුත් ගත්තා. එතැන ඇතිවුණේ සාමාන්‍ය කතාබහක්. කොහොම හරි යූටියුබ් සංවාදය කරළියට ආවට පස්සෙ, සමහරු හිටගත්තේ රජිව් හරි කියන පැත්තේ. ඔන්න පිල් දෙකක් නිර්මාණ වුණා. ගීතයක නිර්මාණ අයිතිය සහ බුද්ධිමය දේපළ පිළිබඳවත් සංකීර්ණ කතාබහත් මේ එක්කම කරළියට ආවා. ඒ අතර සුදත්ත ආයෙත් වතාවක් වීඩියෝ එකක් යූටියුබ් වෙත එකතු කළේ පෙර සංවාද පිළිබඳ නදීර නෝනිස් තමන්ට බැණ වැදුණු බව පවසමින්.

මේ අතර නදීර නෝනිස් මුහුණු පොතේ සජීවී වීඩියෝවක් බෙදාගත්තා. සුදත්ත වීඩියෝ කිරීමට කතා කළ බවත්, එය උණුසුම පහව ගිය පසුව සිදුකරමු යැයි තමා පැවසූ බවත් නදීර එහිදී කියා සිටියා. ඒ වගේම රජිව් සම්බන්ධව තරහක් නැති බවත්, මුහුණු පොතේ සටහන තැබුවේ පියෙකු ලෙස තමන්ට දැනුණු හැඟීම නිසා බවත් ඔහු කිව්වා. කොහොම වුණත් නදීර නෝනිස් අදාළ පළමු සටහන ඉවත් කර ගැනීම ප්‍රතික්ෂේප කළා. සිය දුරකථන සංවාද යූටියුබ් ගතකිරීම පිළිබඳ ඔහු විරෝධයත් පළකළා.
මේ සිදුවීම් පෙළ අතරෙ තවත් කලාකරුවන් මීට මැදිහත් වුණා. ඒ අයව නදීරට සහ දියණියට කිව්වේ ඕනේ නම් තමන්ගේ ගීත ගායනා කරන්න කියලා. කලා ලෝකයේ ඉහළම තැන්වල විතරක් නෙවෙයි, කාර්යාලවල, පාසල්වල, ගෙවල්වලත් පවා මේ හා සම්බන්ධව ලොකු ලොකු සාකච්ඡා ඇති වුණා. ඒත් ඒ බොහෝ සාකච්ඡාවක තිබුණේ අනුන්ගේ කුණු රස බැලීමේ ජුගුප්සාජනක ආශ්වාදය මිසක, ගීයකින් කලාවෙන් අපිට ලබන්න පුළුවන් අත්මීය රසාස්වාදය නම් නෙවෙයි.

ගීතයක නිර්මාණ අයිතිය කියන්නේ අතිශය සංකීර්ණ මාතෘකාවක්. සාමාන්‍යයෙන් ගීයක නිර්මාණ අයිතිය තියෙන්නෙ ගී පද රචකයාට සහ සංගීත නිර්මාපකයාට. ලංකාවේ බුද්ධිමය දේපළ පනත යටතේ මේ පිළිබඳව කටයුතු කරන්න පුළුවන්. විවිධ කලාකරුවන් සංගම් කිහිපයක් පිහිටුවාගෙන නිර්මාණ අයිතිය සම්බන්ධව කටයුතු කරමින් සිටිනවා. ලෝකය මේ සම්බන්ධව බොහොම දියුණු තැනක ඉන්නේ. ඇත්තටම අපි පසුගාමීයි. ඒ නිසා තාමත් මේ විෂය පරාසය තුළ විශාල අඩුපාඩු තිබෙන බව බවනම් පැහැදිලියි. අපි හිතන විදිහට, නීති රීතිවල පවා යම් යම් වෙනස්කම් සිදුවිය යුතුයි.

ඕනෑම දෙයක පුංචි හොඳක් තියෙනවා කියලා කතාවකුත් තියෙනවා. අන්න ඒ නිසා මෙය සිදුවීම සහ ඊට ලැබුණු අවධානය, නිර්මාණ අයිතිය සහ බුද්ධිමය දේපළ පිළිබඳ දැනුවත් වෙන්න ඔබට මට හොඳ අවස්ථාවක්. කලාකරුවන්ටත් නැවත නැවත හිතන්න මේක හොඳ අවස්ථාවක්. ඇත්තටම කලාවේ රසය වින්දනය වගේම මිල මුදල් කියලා කියන්නෙත් ලොකු සාධකයක්. ගොඩක් දෙනකුගේ ජීවිකාව කලාව. ඒ නිසා අවසානයේ ඔබගෙන් පුංචි ඉල්ලීමක් කරනවා. වගවීමක් නැති සමාජ මාධ්‍ය අවකාශය ඇතුළේ නඩුකාරයෝ නීතිඥයෝ, මාධ්‍යවේදියෝ වගේ හැසිරෙන්න එපා. ඔබ නොදන්නවාට ඔබේ වචනවලට පුළුවන් ගිනි පුළිඟු වෙලා, සුන්දර මල් උයන් ගිනි තියන්න.

නිසල්