ඒ අවස්ථාවට සැබෑ ජීවිතේ මුහුණ දෙන්න වුණොත් තමයි ඒ ගැන බලන්න වෙන්නෙ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ දිනවල පුංචි තිරයේ වැඩි කතාබහට ලක්ව සිටින චරිතාංග රංගන ශිල්පිනියක් සමගින් සඳැල්ල පුංචි කතාබහක් කරන්න හිතුවා. ඇය මිෂෙල් දිල්හාරා 

‘කාසි’ හරහා පුංචි තිරයට එන සාගරිකාගේ චරිත රංගනයට ඉතා හොඳ ප්‍රතිචාර තියෙනවා නේද? ඉතින් ඇය ගැනත් මේ නිර්මාණය ගැනත් කතා කරමු? 

ඔව්. මේ වෙද්දී ඒ චරිත රංගනයට ඉතා ඉහළ ප්‍රතිචාරයක් ලැබෙමින් පවතිනවා. ඇත්තටම එය අභියෝගාත්මක චරිත රංගනයක් කිව්වොත් හරි. මේ තුළ මට තිබුණු අභියෝගය තමයි සාගරිකා ගමේ නිදහසේ හැදුණු ගැහැණු ළමයෙක්. ඇයට ඒ ගම තුළ ආදරය කරන පුද්ගලයෙක් හිටියා. ඒ ආදරයත් එක්ක ගම තුළ ජීවිතේ ගෙවුණු ඇයට සිද්ධ වෙනවා. වලව්වක වැඩිමහල් පුද්ගලයෙක් හා විවාහ වෙන්න. ඒ විවාහය කරන්න සිද්ධ වෙන්නෙ දෙමව්පියන්ගේ තීරණයට. මොකද සාගරිකාගේ නිවසේ තිබුණු ආර්ථික ප්‍රශ්නත් එක්ක. කෙසේ හෝ ඒ තීරණයට විරුද්ධ වෙන්න ඇයට හැකිවෙන්නෙ නැහැ. දෙමව්පියන්ගේ හිත් නොරිද්දවා අකමැත්තෙන් වුණත් ඇය ඒ තීරණය ගන්නවා. නමුත් ඒ විවාහයට ඇය කැමති වුණත් ඒ විවාහය තුළ බලාපොරොත්තු වුණු ජීවිතය ඇයට ලැබෙන්නෙත් නැහැ ඒ වලව්ව තුළ. මේ දිනවල විකාශනය වෙන්නෙ ඒ කොටස් කිහිපය තමයි. ඉතින් ඇයගේ ජීවිතේට එන ප්‍රශ්න  බලපෑම් සියලුම දේ මේ දිනවල ‘කාසි’ හරහා දැක බලා ගන්න පුළුවන්. කෙටියෙන්ම කිව්වොත් සමාජයේ පවතින මිත්‍යා මත නිසා මිනිසුන්ට විඳින්න වන දුක් කරදර පීඩා සියල්ල වටා ගෙතුණු නිර්මාණයක් තමයි මේ. 

ඇත්ත ජීවිතේ අම්මා තාත්තා වෙනුවෙන් ඒ වගේ කැප කිරීමක් කරන්න වුණොත් කරනව ද? 

ඒ ගැන ඉතින් කියන්න අමාරුයි. මොකද මේ රංගනයක්නෙ. ඒ නිසා මට 100% ඒ හැඟීම දැනෙන්නෙ නැහැ. ඒ අවස්ථාවට සැබෑ ජීවිතේ මුහුණ දෙන්න වුණොත් තමයි ඒ ගැන බලන්න වෙන්නෙ. 

චරිතයකට දායක වෙනවා කියන්නෙ ඒ චරිතය තුළ ජීවත්වීමක්නෙ සිද්ධ වෙන්නෙ? ඒ හැඟීම මිෂෙල්ට කොහොම ද දැනෙන්නෙ ? 

නිර්මාණයක් තුළ අපට සාමාන්‍යයෙන් චරිතයක් ලැබෙද් දී එහි අධ්‍යක්ෂවරයා සහ පිටපත් රචකයා ඒ චරිත සහ ඒ තුළ ඇති මනඃකල්පිත ස්වභාවයන් සියල්ල සාකච්ඡා කරගෙන තමයි අපිට පිටපත දෙන්නෙ. ඉතින් ඒ චරිතය කරද්දී අධ්‍යක්ෂවරයා බලාපොරොත්තු වන ඒ චරිතයට අවශ්‍ය වන හැඟීම් සියල්ල ගැන කතාබහ කරනවා. මම කොහොමත් චරිතයක් නිරූපනය කරද්දී ඒ නිරූපනයට පෙර එහි චරිත ස්වභාවය ගැන අධ්‍යයනයක් කරනවා. ඒ චරිතයට අවශ්‍ය පැතිකඩක් හදා ගන්නවා. ඒ චරිතය රූගත කිරීම් ආරම්භ කළාම ඒ ආරම්භයේ සිට අවසානය දක්වාම ඉන්න ඒ චරිතය එක්ක තමයි. එතැනින් එළියට ගියාම මිෂෙල් දිල්හාරාම තමයි. දර්ශන තලය තුළ පමණයි රංගන චරිතයේ ජීවත් වෙන්නේ. 

‘කාසි’ නිර්මාණය තුළ ඔබට රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබිලා තියෙන්නෙ පාලිත සිල්වා වැනි ප්‍රවීණ රංගන ශිල්පීන් එක්ක කොහොම ද ඒ අත්දැකීම් ? 

ඇත්තටම මගේ රංගන ජීවිතයේ පළමු වතාවට තමයි පාලිත සිල්වා මහත්මයා එක්ක රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබුණේ. එවැනි ප්‍රවීණයන් එක්ක වැඩ කරන්න ලැබීම ඇත්තටම ලොකු සතුටක්. හරිම පහසුයි වැඩ කරන්නත්. ඉතින් මේ රංගනයේ දී පාලිත සිල්වා මහත්මයා එක්ක තමයි මම විවාහ වෙලා ඉන්නෙ. ඔහු වලව්වක පුද්ගලයෙක්. ඔහුගේ මනාලිය වෙලා තමයි මම සාගරිකා චරිතය හරහා ඒ වලව්වට යන්නෙ. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන ඔහුගෙන් ඉතා ඉහළ සහයෝගයක් ලැබෙනවා මගේ චරිතය සාර්ථකව කරගෙන යන්න. අපිටත් ඒ ප්‍රවීණයන්ගෙන් ජීවිතේට ගන්න ගොඩක් දේවල් තියෙනවා. මට මේ රංගනය වෙනුවට සම්බන්ධ වෙන්න ලැබීම ගැනම මම ගොඩක් සතුටු වෙනවා. 

මිෂෙල්ට මේ වෙද්දී රංගනයන් තුළ කතාබහට ලක්වෙන විදියෙ විවිධාකාර චරිත රංගනවලට යන්න හැකිවෙලා තියෙනවා නේද? 

මම මේ ක්ෂේත්‍රයට ඇවිල්ලා අවුරුදු 6ක් 7ක විතර  වගේ වෙනවා. ඒ කාලය තුළ මට අවස්ථාව ලැබුණා විවිධාකාර විදියෙ චරිත රංගනවලට යන්න. ඒ වගේම ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණ දක්ෂ අධ්‍යක්ෂවරු සහ ප්‍රවීණ රංගන ශිල්පීන් ශිල්පිනියන් එක්ක වැඩ කරන්න ලැබිලා තියෙනවා. ඇත්තටම මේ කාලය තුළ මේ ලැබිලා තියෙන දේවල් ගැන අවංකවම සතුටු වෙනවා. මම කොහොමත් කැමති එකම විදියෙ චරිත රංගනයන්ට සීමා නොවි විවිධ රංගන පරාසයන්වලට ගිහින් සමාජයට යහපත් පණිවිඩයක් ලබාදෙන නිර්මාණ සහ චරිතවලට සම්බන්ධ වෙන්න. 

මෙතෙක් ලැබුණු විවිධාකාර චරිත රංගන ඔබ සම්මාන රැසක්වෙත ගෙන ගියා නේද? 

මට මුලින්ම සුදු ඇඳගෙන කලු ඇවිදින් නිර්මාණය තුළින් තමයි සම්මානයට පාත්‍රවෙන්නට ලැබුණේ. රයිගම්, සුමති සහ රාජ්‍ය සම්මාන උළෙලවල ඒ නිර්මාණය හරහා හොඳම නැගී එන නිළිය සම්මානය ලබා ගන්න හැකි වුණා. ඒ විදියට සම්මානයක් ලබා ගැනීම සම්බන්ධයෙන් ඒ නිර්මාණයේ අධ්‍යක්ෂ සුනිල් කොස්තා මහත්මයට තමයි ස්තුතිවන්ත වෙන්න ඕනෑ. ඔහු තමයි ඒ ප්‍රවේශය ලබා දුන්නේ. ඉන් අනතුරුව හොඳම නිළිය සම්මානයට නිර්දේශ වුණා ‘කාන් යූ හියර් මී’ නිර්මාණය තුළින්. ඒ සුමති සම්මාන ​උළෙල තුළ ඒ වගේම හොඳම සහය නිළියට දෙවරක් නිර්දේශ වෙලත් තියෙනවා. 

රංගනය තුළින්ම ද ඉදිරි ගමනක් යන්න සැලසුම් කරලා තියෙන්නේ ? 

මම වෘත්තිය විදියට රංගන ක්ෂේත්‍රයේ තමයි මේ වෙද්දි රැඳිලා ඉන්නේ. ඊට අමතරව Earth Day Network ආයතනයේ ශ්‍රී ලංකා තානාපති ධුරය මට ලැබුණා. ඒ තුළින් මට අවස්ථාව ලැබුණා විශ්වවිද්‍යාල සහ පාසල් මට්ටමින් පරිසරය හා සම්බන්ධ සමාජ සේවා ව්‍යාපෘති කරගෙන යන්න. අද වෙද්දී මම විශ්වවිද්‍යාල 11ක් එක්ක එකතුවෙලා ඒ වැඩ සටහන් කරගෙන යනවා. මේ වෙද්දී වැඩසටහන් 250කට අධික සංඛ්‍යාවක් වගේ කරලා තියෙනවා. ඒ දේවල් එක්ක ඉතින් මම සමාජ සේවා වැඩකටයුතුත් රංගනයත් එක්කම කරගෙන යනවා. 

මෑතකදීම කරපු සමාජ සත්කාර මොනවද? 

ළඟදීම නම් කළේ පාසල් ළමුන් 250කට අවශ්‍ය සපත්තු කුට්ටම් ලබාදීම තමයි. ඇත්තටම අද වෙද්දී මුළු රටටම බලපාලා තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක පාසල් දරුවන්ට    සපත්තු කුට්ටම් මිලදී ගැනීම අපහසු වෙලා තියෙනවා. ඉතින් මේ සම්බන්ධව දහම් පාසල්වලට සහ පාසල්වලින් මගෙන් පුංචි ඉල්ලීමක් කළා යම් දෙයක් කරන්න පුළුවන්ද කියලා. මම කොහොමත් මට ලැබෙන ආදායමෙන් 60% සමාජ  සත්කාර වෙනුවෙන් තමයි යොදවන්නෙ. මීට පෙර සහල් ලබාදීමේ වැඩ කටයුත්තක් කළා. ඉතින් සපත්තු කුට්ටම් ලබාදීමේ මේ වැඩ කටයුත්තත් ශ්‍රී මහින්දාරාම බෞද්ධ මධ්‍යස්ථානයේ දාවමොට්ටාවේ මහින්ද ස්වාමීන් වහන්සේගේ අනුශාකත්වයෙන් ලබා දුන්නා. 

කෙනෙක්ට කියන්න පුළුවන් සමාජ සත්කාරවලට ප්‍රචාරණයක් අවශ්‍ය නැහැ. ඒවා නිහඬව කරන්න පුළුවන් කියලා. මිෂෙල් මේ දේවල් කරලා සමාජ මාධ්‍යවල පල කරන්න ඉදිරියේ දී  ඡන්දෙවත් ඉල්ලන්න බලාපොරොත්තු වෙනවද? 

අනේ නැහැ. මම මේ සමාජ සේවා පටන් ගත්තෙ රංගන ක්ෂේත්‍රයට එන්නත් කළින්. රංගන ක්ෂේත්‍රයට ආවට පස්සෙ මට පුළුවන් වුණා මගේ වෘත්තියත් එක්ක විද්‍යුත් මාධ්‍ය සහ මුද්‍රිත මාධ්‍ය ඔස්සේ මේ දේවල් ගැන කතා කරන්න. මම මේ දේවල් කතා කරන්නෙ සමාජ මාධ්‍ය තුළින් තවත්  කෙනකුට යම් පණිවිඩයක් ලබාදෙන්න. ඒ මෙවැනි අපහසුතා තියෙන පිරිස් රටේ ඉන්නවා ඔවුන්ට තමන්ට හැකි යම් පමණින් අවශ්‍ය විදියේ උදව්වක් උපකාරයක් කිරීමට පෙළඹවීමක් ඇති කිරීම. සමාජ මාධ්‍ය ඔස්සේ මේ දේවල් දකිද්දී ඒ දේ ට්‍රෙන්ඩ් එකක් වෙනවනෙ. ඉතින් මේ දේ තව කෙනෙක්ට දැනිලා කෙනෙක් වෙනුවෙන් යම් හෝ සහයෝගයක් ලබා දෙනවා නම් ඒක ලොකු දෙයක්. ඒකයි මට වෙන්න ඕන. 

ඉදිරියේ දී එන්න තියෙන නිර්මාණ ගැනත් කියමු ? 

සුරන්ජන් විජේනාම අධ්‍යක්ෂවරයාට මන්දාරම් කොළඹ නිර්මාණයත්, සුනිල් කොස්තා අධ්‍යක්ෂවරයාගේ ‘පනම් බඳින ගස්’ ධනංජය සිරිවර්ධන අධ්‍යක්ෂවරයාගේ සිදාදියේ සමනලියෝ සහ පසිඳු නුපේආරච්චිගෙ  ‘විඳින්න මේ ජීවිතේ’ යන නිර්මාණවලින් ඉදිරියේ දී දකින්න ලැබෙනවා. ඒ වෙනස්ම විදියේ චරිත රංගන 4කින්. 

ධනු විජේරත්න