කලාව දේවත්වයෙන් සලකන රටකින් සම්මානයක් ලැබීම පුදුම සතුටක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

Q වින්ඩි... ලැබුණු ජාත්‍යන්තර සම්මානයට මුලින්ම "හදසර" වෙතින් සුබ පැතුම්?

අනේ ගොඩක් ස්තූතියි. 

Q ඒ ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම ගොඩක් සතුටුයි. මේ සම්මානය ලැබුණු මොහොතේ ඉඳන් මේ දක්වා ගොඩක් අය අපිට සුබ පතනවා. ඉතින් ඒ හැමෝටමත් ස්තූති කරනවා. 

Q  මේ ගීතය ගොඩනැගුණේ කොහොමද?

(ඔන්න ඒ ප්‍රශ්නයට අපිට උත්තර දුන්නේ සනුක වික්‍රමසිංහයි. සනුක තමයි "අයියෝ සාමි" ගීතය සංගීතවත් කළේ.)

“අයියෝ සාමි" කියන්නේ තනුවට අනුව පද රචනා වුණු ගීතයක්. මුලින්ම සිංහල ගීතයක් විදියට තමයි නිර්මාණය වුණේ. ඒ තනුව මම නිර්මාණය කළා. ඒ සිංහල වචන මම ලිව්වා. හැබැයි මේ ගීතය කරන්න කලින් මේක දෙමළ හරි හින්දි භාෂාවෙන් කළොත් හොඳයි කියලා හිතුණා. මුලින්ම මේක අපි පරීක්ෂණ මට්ටමේ ගීතයක් විදිහට කරන්න කියලයි හිතුවේ. ඊටපස්සේ මම මේක ගැන අස්මින් සහෝදරයාට  කතා කරලා කිව්වම ඔහු මට ඒ දමිළ වචන ටික ලියලා එව්වා. 

Q සනුක දමිළ භාෂාව ගැන දැනගෙන හිටියද?

ඇත්තටම මමවත් වින්ඩිවත් දමිළ භාෂාව දැනගෙන හිටියේ නැහැ. මට ටිකක් දමිළ කියවන්න පුළුවන් වුණාට කතා කරන්න දැනගෙන හිටියේ නැහැ. ඒ කාලේ අස්මින් හිටියේ ඉන්දියාවේ. ඉතින් අස්මින් WhatsApp තාක්ෂණය ඔස්සේ අපිත් සමඟ සම්බන්ධ වෙලා වින්ඩිට දමිළ භාෂාව උච්චාරණය කරන්න ගොඩක් උදව් කළා. 

Q "අයියෝ සාමි" ගීතයේ මූලික ගොඩනැගීම තිබුණේ සනුකගේ හිතේ. ඒ ගීතය ගොඩනැගුණේ කොහොමද? 

ඒ කාලේ වින්ඩිට වෙනත්  ගීතයක් හදමින් තමයි මම හිටියේ. ඔය අතරේ මට මේ ගීතයේ සංගීත අදහසක් හිතට ආවා. ඒ නිසා මම ඉස්සෙල්ලා කරන්න හිටපු ගීතය පස්සට දාලා මේ ගීතය නිර්මාණය කරන්න උත්සාහ ගත්තා. ඒ අතරේ  සිංහල වචන ටිකක් මම හිතද්දි මගේ හිතට "නුඹයි මමයි හමුවෙන්නේ නෑ ආයේ... ඉරයි හඳයි හමුවෙන්නේ නෑ වගේ..." කියලයි කියැවුණේ. ඒ ගීතයේ තියෙන සම්පූර්ණ අදහස මම අස්මින්ට කිව්වා. ඒකෙන් තමයි එයා "අයියෝ සාමි සාමි නී යෙනකු වේනම්..." (මට උඹව එපා) කියලා ගීතය ලිව්වේ. 

Q සනුක.. දමිළ ගීතයක් සිංහල ගායිකාවක් එකවර ගායනා කරද්දි ටිකක් අමාරුයි. වින්ඩි ඒ වචන නිවැරදිව උච්චාරණය කළේ කොහොමද?

සම්මානය දෙන මොහොතේදි පවා ඒ නිවේදකයන් දෙදෙනා "ඔයා සිංහල කෙනෙක් වෙලත් මෙච්චර නිවැරදිව මේ භාෂාව හැසිරුවේ කොහොමද?" කියලා  වින්ඩිගෙන් ඇහුවා. ඉන්දියාවේ සහ ලංකාවේ දමිළ අයගෙන් ලැබුණු ප්‍රතිචාරත් එක්ක වින්ඩිට "කොහොමද මෙච්චර හොඳට උච්චාරණය කරන්න පුළුවන් වුණේ" කියලා අපිටත් හිතුණා. "එයාට පුළුවන්" කියලා වින්ඩි දැනගත්තෙත් ඒ ප්‍රතිචාරත් එක්කමයි. අස්මින් දමිළ වචන ටික එව්වාම මට ඒ වචන ටික කියවන්න පුළුවන්කම තිබුණා. 

Q සනුකගේ  හිතේ ඇඳුණු සිංහල ගීතයමද අස්මින් අතින් දමිළ භාෂාවෙන් ලියැවුණේ?

අදහසේ වෙනසක් තිබුණේ නැහැ. හැබැයි ඒ සංස්කෘතියට අනුව ටිකක් වෙනස්. අපි "නුඹයි මමයි හමුවෙන්නෑ  ආයෙ.." කියන පදයම ටිකක් සැර කරලා එයාලගේ සංස්කෘතියට අනුව "අයියෝ සාමි නී යෙනකු වේනම්" කියලා සහමුලින්ම "එපා" කියලා කියනවා. 

Q මේ සම්මානය ගැන අපිට කියන්න?

මේ සම්මානය ලැබුණේ ඉන්දියාවේ එඩ්සන් සම්මාන උළෙලෙදි. එය පැවැත්වුණේ 16 වැනි වතාවටයි. මාර්තු 24 වැනිදා ඉන්දියාවේදි මේ සම්මාන උළෙල පැවැත්වුණා. මේ සම්මාන උළෙලේදි Best sensational song of the year- 2023 ලෙසින් ජූරියේ සම්මානයක් හිමි වුණා. මේ වෙනුවෙන් අපිට ආරාධනා පතක් ලැබුණා. ඒ ආරාධනාවෙන් අපි පුදුම වුණා. ඇත්තටම සිංහල සින්දුවක් විදියට කරන්න හදපු ගීතයකට පරීක්ෂණයක් විදියට තමයි මේ ගීතය අපි නිර්මාණය කළේ. සින්දුව ප්‍රචාරය කරන්න පටන් ගත්ත දවසේ ඉඳන් අපිට හොඳ ප්‍රතිචාරයක් ලැබුණා. කලාව දේවත්වයෙන් වගේ සලකන මේ වගේ රටකින් ආරාධනා කරලා ඒ වගේ සම්මානයක් ලැබීමම ලොකු ජයග්‍රහණයක් විදිහට අපිට දැනෙනවා. ඉන්දියාවට ගිහින් අපේ රටේ නම කියද්දි ඒ ජයග්‍රහණයම ලොකු සතුටක්. 

Q වින්ඩිට මේ ආරාධනාව ලැබෙද්දි ඒ අය සම්මානය ගැන සඳහන් කරලා තිබුණද?

නැහැ. එවැනි සම්මානයකට අපේ ගීතය නිර්දේශ වෙලා තියෙනවා කියලයි සඳහන් කරලා තිබුණේ. අපිට දමිළ භාෂාව කතා කරන්න බැරි නිසා අස්මින් සහෝදරයා තමයි ඔවුන් හා ඒ සම්බන්ධයෙන් කතාබහ කළේ. ඉතින් එදා ඉන්දියාවේ සම්මාන උළෙලේදි අපේ රට ගැන කියලා ඒ සම්මානය ලබා ගනිද්දි ඒ දැනුණු  සතුට වචනවලින් අදටත් කියන්න අමාරුයි. අපේ රට නියෝජනය කරලා ඉන්දියාවෙදි ඒ සම්මානය අතට ගනිද්දි පුදුමාකාර සතුටක් හිතට දැනුණා. 

Q සම්මානය ලැබුණට පසුව ඒ ගීතය සම්මාන උළෙලෙදි  වින්ඩිට ගායනා කරන්න අවස්ථාව ලැබුණා නේද? 

ඔව්.. වින්ඩිට සම්පූර්ණ ගීත ගායනා කරන්න අවස්ථාව ලබා දුන්නා. ඉතින් ඒ අයගේ සංස්කෘතිය සෑහෙන වෙනස්. අපේ රටෙත් ඒ වගේ තියෙන තැන් තියෙනවා. මේ උළෙලට නවක අය වගේම ප්‍රසිද්ධ ජනප්‍රිය අයත් එනවා. ඒ හැමෝටම එක හා සමාන ප්‍රතිචාරයක් ඔවුන් ලබා දුන්නා. ඉතින් වින්ඩි ගීතය ගායනය  කරද්දි, එයා ගායනා කරලා අවසන් වෙද්දි පුදුමාකාර අපූරු ප්‍රතිචාරයක් ඔවුන් ලබා දුන්නා. 

Q සනුක වින්ඩි එකතුවෙලා ළඟදිම තවත් ගීතයක් දෙන්න සූදානම්ද?

ඔව්.. මේ වෙද්දි අපි තවත් ගීත කිහිපයක්ම කරන්න ලක ලෑස්ති වෙනවා. මගේ ගීතයකට රෑප රචනාවක් කරලා තියෙනවා. ඒකත් ළඟදිම එළි දක්වන්න බලාපොරොත්තු වෙනවා. අපේ විතරක් නෙවෙයි, අපේ පවුලේ නිර්මාණ කිහිපයක්ම එළි දක්වන්න සූදානමින් තමයි ඉන්නේ. 

I දිශානි ජයමාලි