චණ්ඩි පාට් තියෙන චරිත තමයි දැන් මට ගොඩක් ලැබෙන්නේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ දිනවල විකාශය වෙන ටෙලි නිර්මාණ කිහිපයකම දකින යශ් වීරසිංහ මෙවර සාරවිට තරු කතා බහට අපි මෙසේ සම්බන්ධ කරගත්තේමු. කලා පවුලකින් පැවත එන යශ් දක්ෂ හඬකැවිම් ශිල්පියෙකුද වෙයි. මේ දිග හැරෙන්න යශ් සමග අප කළ කතා බහයි.

යශ් මේ දිනවල අපි නිතර දකින රංගන ශිල්පියෙක්?

ඔව්, මගේ ටෙලි නිර්මාණ කිහිපයක්ම මේ දිනවල විකාශය වෙමින් තියෙනවා. ප්‍රේක්ෂකයෝ ගොඩක් ආදරයෙන් රසවිඳින කියා දෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයත් ඒ අතරේ තියෙනවා. තව දෙරණේ විකාශය වෙන අපි එක රැනේ ටෙලි නාට්‍යයේ වගේම ස්වර්ණවාහිනියේ විකාශය වෙන ධනුෂ්ක රත්නායකගේ බායෝ දෙවැනි අදියරයෙත් මම රඟපානවා.

වැඩිපුර රසික ප්‍රතිචාර හිමිවෙන්නේ?

කියා දෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ අනර්ග කියන චරිතයට තමයි. මම හිතන්නේ මම දැනට දායක වුණ ටෙලි නිර්මාණ අතරින් ප්‍රේක්ෂකයෝ ගොඩක් ආදරය කරපු චරිතයක් තමයි අනර්ග කියන්නේ. ඊට අමතරව අපි එක් රැනේ ටෙලි නාට්‍යයේ අවිශ්කටත් බයෝ දෙවැනි අදියරයේ මෙලන් කියන චරිතටත් රසික ප්‍රතිචාර එක හා සමානව ලැබෙනවා.

යශ් දැන් ටෙලි නිර්මාණ කොපමණ ප්‍රමාණයකට දායක වෙලා  තියෙනවද?

ක්ෂේත්‍රයට ඇවිල්ලා මම ලොකු කාලයක් නැහැ තවමත්. 2019 වගේ තමයි මගේ මතකය හැටියට රඟපාන්න ආවේ. මුලින්ම කළේ ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු මහතාගේ පාරා වළලු කියන ටෙලි නාට්‍යය. දැනට විකාශය වෙන ටෙලි නාට්‍යය එක්ක ගත්තොත් ටෙලි නාට්‍යය එකොළහක් විතර රඟපාලා තියෙනවා.

පාසල් කාලය මතකද?

ඔව්, මම හිතන්නේ මගේ කලා දිවියේ පළමු අත්දැකිම් සමුදාය ලැබෙන්නේ පාසලෙන්. මම පාසලේ හැම කලා කටයුත්තකම මුලිකත්වය ගත්තු කෙනෙක්. තෙරේන කාලේ ඉඳලා නළුවෙක් වෙන පිස්සුව මට තිබුණා. මගේ පවුලේ බොහෝ අය කලාවට සම්බන්ධ වෙච්ච අය. ඒ නිසාම තමයි නළු පිස්සුව මට තිබුණේ.

ඒත්, ඔබ එන්නේ හඬකැවිම් ශිල්පියෙක් විදිහට?

ඔව් මගේ පුංචි අම්මා ගීතා කාන්ති ජයකොඩි. ඇයගේ උදව්වෙන් මට 2018 වසරේදී ජාතික රූපවාහිනියට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙනවා හඬකැවිම් ශිල්පියෙක් විදිහට. ඊට පස්සේ තමයි නළුවෙක් වෙන්න අවස්ථාව ලැබෙන්නේ.

කලා දිවියේ හැරවුම් ලක්ෂය විදිහට ඔබ දකින්නේ?

ධනුෂ්ක රත්නායකගේ වෙස් කියන ටෙලි නාට්‍යය. එහි මම රඟපැවේ මාධව කියන වාර්තාකරු විදිහට. ඒක තමයි මගේ රංගන දිවියේ හැරවුම් ලක්ෂය විදිහට මම දකින්නේ. ඊට පස්සේ හේලි, දැන් රඟපාන කියා දෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යය මාව මිනිස්සු අතරට ගෙනියපු ටෙලි නිර්මාණ වුණා.

ඔබ එකම රාමුවට කොටු වෙච්ච නළුවෙක් නෙවෙයි?

ඔව්, මම දැනට කරපු නිර්මාණ අතළොස්ස දිහා බැලුවොත් කරපු චරිත එකිනෙකට වෙනස්. සුදු චරිත, කළු චරිත වෙනස්ම විදිහේ චරිත මේ කරපු නිර්මාණ අතර තියෙනවා. හැබැයි කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ අනර්ග කියන චරිතය ටිකක් චණ්ඩි චරිතයක්. හැබැයි දැනෙන දෙයක් තමයි ලැබෙන ටෙලි නාට්‍යය ගොඩකම මට ඒ විදිහේ චරිත දෙන්න උත්සාහ කරනවා කියලා. නමුත්, මම එහෙම එකම රාමුවකට කොටු වෙන්න කැමති නළුවෙක් නෙමෙයි.

බුද්ධික සේනාධීර