තරුවක් නෙවෙයි අකුණක් - කැළුම් ආර්යන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

විසිරුණු පැතිරුණු අමුතු සොඳුරු චරිතයක් අද අපි ඔබ හමුවට කැඳවාගෙන ආවා. ලාංකික සිනමාවේ විවිධ මානයන් ස්පර්ශ කරන්නට සූදානමින් සිටින ඔහු නමින් කැළුම් ආර්යන් කුලරත්න. ආර්යන්ව හඳුන්වා දෙන එක ඒ තරම් පහසු කටයුත්තක් නෙවෙයි. ඊට හේතුව ඇත්තටම ඔහු තරමක අමුතු චරිතයක් වීම. සරලවම කිව්වොත් ඔහු බොහෝ හැකියාවන්ගෙන් පොහොසත් මිනිසෙක්.

ආර්යන් රංගන ශිල්පියෙක්. ඒ වගේම ඔහු සටන් කලාවේ දක්ෂයෙක්. අනෙක් අතට ඔහු ගායකයෙක්, ගී පද රචකයෙක්, නර්තන ශිල්පියෙක්, නිරූපණ ශිල්පියෙක්. ඒ විතරක් නෙවෙයි සිනමා තිර පිටපත් රචකයෙක් සහ චිත්‍රපට නිෂ්පාදකවරයෙක් විදිහටත් ආර්යන් කරළියේ ඉන්නවා. ඒ නිසාමයි ඔහුව අපි විසිරුණු පැතිරුණු කෙනෙක් විදිහට මුලින්ම ඔබට හඳුන්වා දුන්නෙ.

මේ අපූරු කලාවේදියාගේ කලාවේ තිඹිරිගෙය තමා සිනමා ශාලාව. අපි එහෙම කීවේ විශේෂ හේතුවක් ඇතුව. ආර්යන්ගෙ පියාට සිනමා ශාලා කිහිපයක්ම තිබුණා. පුංචි කාලේ ආර්යන්, සිනමා ශාලා තුළ රසිකයන් අමන්දානන්දයට පත්වන ආකාරය බලන් හිටියේ පුදුම ආසාවකින්. ඇයි නළුවන්ට මිනිස්සු මෙච්චර ආදරේ කරන්නේ, මිනිස්සු සිනමා පටයක් ආත්මීය වශයෙන් වැළඳගන්න ඒ තුළ තියෙන මැජික් එක මොකක්ද? එදා පුංචි ආර්යන්ට ප්‍රශ්නයක් ඇති වුණා.

මේ නිසාමයි දවසක නළුවෙක් වෙන්න ඔහු තීරණය කළේ. පියා සිනමා කර්මාන්තයට ආදරය කරපු කෙනෙක් වුණ නිසාම ඒ කාලේ ප්‍රවීණ නළු නිළියන්ගේ ඇසුර ලබන්නත් කැළුම් ආර්යන් වාසනාවන්ත වුණා. ඒ කොහොම වුණත් පුංචි කාලේ හිතේ තිබුණු අදහස අධ්‍යාපනයත් එක්ක ඔහුගෙන් තරමක් දුරස් වෙලා ගියා. අවසානයේ ඔහු රැකියාව විදියට තෝරා ගත්තේ ශ්‍රී ලංකා ගුවන් සමාගමට සම්බන්ධ රැකියාවක්.

ඒ කොහොමවුණත්  මිනිසෙක්ට දෛවය මඟ ඇරලා යන එක පහසු නෑ. මෝස්තර නිරූපණ ශිල්පියෙක් බවට පත්වෙන්න අවස්ථාව මේ කාලයේදී ආර්යන්ට උදාවුණා. ඔහුට තිබුණ කඩවසම් තරුණ පෙනුම, නිරූපණ ශිල්පියෙක් විදිහට ආර්යන්ට දුර ගමනක් යන්න මඟ පෑදුවා. නිරූපණ ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ ''මෑන් හන්ට්'' කියන පැජන්ට් එක ජයග්‍රහණය කරන්නත් ආර්යන් වාසනාවන්ත වුණා. නළු හීනය ආයෙත් දෛවය විසින් ඔහුගේ දෝතට අරගෙන ඇවිල්ලා තිබුණේ.

රිදී තිරයට පළමුවෙන් පුංචි තිරයේ වෙළඳ දැන්වීම්වල පෙනී සිටීමේ අවකාශය මේ අපූර්ව අමුතු තරුණයාට හිමිවුණා. ඒ අතර කාලේ ''රූපාන්තරණ'' කියලා සිනමාපටයක් අධ්‍යක්ෂණය කරමින් සිටපු ප්‍රකට අධ්‍යක්ෂවරයෙක් වන නාලක විතානගේට ඕනෑ වුණා, මෝස්තර නිරූපණ ශිල්පියෙක්ගෙ හැඩය තියන තරුණයෙක්ව තමන්ගේ නිර්මාණයේ පුංචි කොටසකට. කොහොම හරි මේ අවස්ථාව ආර්යන්ගේ පැත්තට කැරකුණේ අමිල කරුණානායක කියන හිතවතා නිසා.

ඔන්න පුංචි කාලේ දැක්ක විස්මිත මැජික් තිරයේ පුංචි කොටසක් විදිහට ආර්යන් එළියට අවා. ඇත්තටම එදා සිද්ධ වුණේ ආරම්භයක්. නාලක විතානගේගේ ඊළඟ නිර්මාණය වුණු ''නිලංජනා'' කියන සිනමාපටයේ ප්‍රධාන භූමිකාව කැළුම් ආර්යන්ට ලැබුණා. ඊට පස්සේ නාලක විතානගේ අධ්‍යක්ෂණය කරපු ''ඊතලය'' කියන සිනමා නිර්මාණයට රංගනයෙන් වගේම නිෂ්පාදනයෙනුත් ආර්යන් දායක වුණා.

කොහොම වුණත් කැළුම් ආර්යන් කුලරත්න කියන්නෙ අහම්බකාරයෙක් නම් නෙවෙයි. ඔහු අති දුෂ්කර ගමනක් ආපු තරුණයෙක්. සිනමාව විෂය වෙච්ච පවුලක හිටියත් විශේෂ තල්ලුවක් ඔහුට ලැබුණේ නෑ. ආර්යන්ගේ පියා ලංකාවේ ජනප්‍රිය තලයේ සිනමාකරුවන් රුසක් හඳුනාගෙන හිටියත්, පුතාව හැඳුනුම්කම් ඔස්සේ නළුවෙක් කරන්න ගියේ නෑ. ඒ නිසාම‍ තමා ආර්යන්ට මේ තරම් අමුතු රසවත් කතාවක් තියෙන්නෙ.

ඔබට මතක ඇති නම් පහුගිය කාලේ ජනප්‍රිය වුණු ''රෂ්'' කියන සිනමා පටය, එහි තිර පිටපත් රචකයා බවට පත්වුණෙත් අපේ කතානයකයම තමා. පුංචි කාලේ ඉඳන් සිනමාව දිහා බලාගෙන, ලංකාවේ සිනමා කර්මාන්තය කඩාවැටෙන කාලේ පුංචි දරුවෙක් විදිහට ඉඳගෙන, මෙහෙම චිත්‍රපට හැදුණා නම් හොඳයි කියලා හිතපු ආර්යන්ට තිරපිටපත් රචකයෙක් වෙන්න ලොකු හීනයක් තිබ්බා.

පොත් පිටු පිරෙන්න කතන්දර ලියලා, තිර පිටපත් හොයාගෙන ඒවා සංසන්දනය කරලා, පුංචි කාලේ ආසවට ආර්යන් ගොඩක් දේවල් කළා. බොහෝ දෙනාගේ ඇගයීමට පාත්‍ර වුණ ''රෂ්'' තිර පිටපත බිහිවුණේ ඒ සතතාභ්‍යාසයේ ප්‍රතිඵලයක් විදියට. සමහරු ඒ පිටපත තරුණ ආර්යන්ගෙ කියලා එකපාර විශ්වාස නොකරපු බවත් කියැවෙනවා. පහුගිය කාලේ ලොකු කතාබහක් ඇති කරපු ජීවන් කුමාරතුංගයන් අධ්‍යක්ෂණය කරපු ''ජීවා'' සිනමා පටයේ පවා තිරපිටපත ලිව්වේ ආර්යන්. ඒ වගේම කැළුම් ආර්යන්ම රංගන දායකත්වය ලබාදුන්න ඉන්දියානු ආභාෂයක් සහිතව නිර්මාණය වුණ ''ගෝරි'' සිනමා නිර්මාණයේ තිර පිටපතටත් කැළුම් ආර්යන් තමා මූලිකයා වෙලා තියෙන්නෙ.

සිනමාවට අමතරව ගායකයෙක් සහ ගීපද රචකයෙක් විදිහටත් ආර්යන් ඉස්මතුවෙලා තියෙනවා. හිරු මෙගා ස්ටාර් වගේ නර්තන වේදිකාවලත් ආර්යන්ගේ හැකියාව කැපී පෙනුණා. එදා හිරු මෙගා ස්ටාර් වේදිකාවේ රවීන්ද්‍ර රන්දෙණිය නම් අද්විතීය රංගධරයා පවා ඔහු පිළිබඳ කතා කරනවා අපි දැක්කා. කැළුම් ආර්යන් කියන්නේ සිනමාත්මක පෞර්ෂයක් බව රවීන්ද්‍ර රන්දෙණිය මහත්මයා එදා පැහැදිලිවම සඳහන් කළා. ඔහුව අගය කළා. කොහොම වුණත් මේ සියලු දේ ආර්යන් විසින් උත්සාහයෙන් අත්පත් කරගත් අපූරු හැකියාවන් සහ අවස්ථාවන් විදිහටයි අපිට පේන්නේ.

රිදී තිරයේ විශ්මිතයට තමා කැළුම් ආශක්ත වෙලා ඉන්නේ. ඒ නිසාම පුංචි තිරයේ ටෙලි නිර්මාණවලට ලැබෙන ආරාධනා ඔහු බැහැර කරමින් සිටින බව කියැවෙනවා. අපි මුලින්ම කිව්වා වගේ, ඔහු අමුතු චරිතයක් කියන කාරණාව එයින්ම පැහැදිලි වෙනවා. හුදු ජනප්‍රියත්වයට එහා ගිය පුළුල් තිරයේ විශ්මිත මැජික්කරුවෙක් වීම තමා ඔහුගේ සිහිනය.

මේ අපූරු තරුණයා දායකත්වය ලබාදෙන තවත් සිනමා නිර්මාණ ද්විත්වයක් නුදුරේම කරළියට පැමිණීමට නියමිතයි. ඒ නිර්මාණ නම් ලබා තියෙන්නේ ''විලන්'' සහ ''Case no 447'' විදිහට. චන්ද්‍ර හසන් කියන ශ්‍රී ලාංකික දමිළ චිත්‍රපට අධ්‍යක්ෂකවරයා නිර්මාණය කරන ''Case no 447'' පිළිබඳ මේ වනවිටත් ගොඩක් දෙනා බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. මේ නිර්මාණය තරමක වෙනස් නිර්මාණයක් වනු ඇති බව තමා කියවෙන්නේ. ''විලන්'' සිනමාපටයත් ආර්යයන්ගේ රංගන හැඩතලවල තියුණු බව වැඩි කරාවි කියලා විශ්වාසයක් තියෙනවා. විලන් චිත්‍රපටයේ තිරරචනයත් ආර්යන්ගේමයි.

මේ අපූරු අමුතු තරුණ රංගධරයාගේ කතාව තවදුරටත් ලියැවෙමින් තිබෙන බව තමයි අවසානයට කියන්න ඕනෑ. නොපසුබට උත්සාහයත් විරල සිනමාරූපී රංගන ප්‍රතිභාවත් නිසාම දවසක කැළුම් ආර්යන් කුලරත්න ශ්‍රී ලාංකික සිනමාවේ සලකුණක් බවට පත් වෙනවා කියන විශ්වාසය වගේම ඔහුගේ බලාපොරොත්තුවත් අපේ බලාපොරොත්තුවත් සිනමා විචාරක ඇගයීමත් අනුව ඔහු අනාගතයේදී කොලිවුඩ් සිනමාවට පා තබනු නිසැකයි.  විසිරුණු පැතිරුණු හැකියාවන් නිසාම කැළුම් ආර්යන්ට සිනමා කර්මාන්තයේ නිම් වළලු හරහා පැනයන්න පුළුවන් වෙයි. ඉතින් අවසානයේ අපි ඔහුට ජය පතනවා.
සුබපැතුම් ආර්යන්!

♦ චමිඳු නිසල්
සේයාරුව I සුමුදු හේවාපතිරණ