දඩයමෙන් ගිලිහුණු යුක්තියේ සංධ්වනිය දඩඉම



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කන්නගී....
කඩා විසි කර වම් පියයුර
විදාහල සඳ පතිනි අනුහස
පුරවරක් ඇවිලුවේ 
ප්‍රේමයම මිස කවරක්ද?

දේවතාවී කියනවද මට
වම් පපුවෙ කැළලට යටින්
රිදුම් දෙනවද තාම හදවත

නැද්ද ප්‍රේමය අංශුමාත්‍රික
ශේෂයක් හෝ ඉතිරි වී තව
මරණයට පුළුවන්ද කන්නගී
හදවතින් ප්‍රේමය මරන්නට

කන්නගීලාට එරෙහි වූ, කන්නගීලාට ද්‍රෝහි වූ කෝවලන්ලා එදත් අදත් එමටය. විරහවේ අනන්ත වේදනාව කන්නගී දේවත්වය කරා රුගෙන ආවත්, ඇයට පත්තිනි වරම් දුන්නත්, රත්මලීලාට ප්‍රේමයේ වියෝගය ප්‍රදානය කළේ ප්‍රියංකරලාගේ දෝතින් මරණයයි. රත්මලී හා ප්‍රියංකර මා හඳුනා ගත්තේ වසන්ත ඔබේසේකර අධ්‍යක්ෂණය කළ දඩයමෙන් වුවත් රත්මලීලා හා ප්‍රියංකරලා ඕනෑ තරම් මේ මහ පොළොව මත පය තබා ඇවිද යද්දී හමුවූ වග අමුතුවෙන් කියනු කුමකටද? මක් නිසාද යත් යථාර්ථය විනිවිද එහෙත් ප්‍රිය නොවූ, ප්‍රියංකර නොවූ ප්‍රියංකරලාගේ ආත්මීය නොවූ චංචල ආල කතාන්දර ඕනෑ තරම් කියවන්නට හැකි සමාජ දේහයක එදත් අදත් ඔබත් මමත් සරණ හෙයින් දඩයම තුළ මරා වළ දැමූ රත්මලීගේ ආත්මයට ශාන්තියක් උදා කරනු වස් දඩයමේ නවමු ප්‍රවේශයක් නිර්මාණය කරන්නට පිළිකා ශල්‍ය විශේෂඥ නෙඔමාල් පෙරේරාගේ පිරිමි පපුවට දැනුණු ගැහැනිය කෙරේ වන සංවේදනාවට මම පළමුව ප්‍රසංශා කරමි. මනුෂ්‍යත්වය පිළිබඳව තෙතක් නැති තැනක එවන් සංවේදනාවන් උපදින්නට වගක් නැති වග වෛද්‍ය නෙඔමාල් පෙරේරාගේ හදවත සියුම් ලෙස කියවූ යමෙකු වෙත්නම් මා සේම ඒ වග දන්නවා ඇත. 

සැබෑ ලෝකය තුළ &මරණය* හැර කිසිවක්ම රත්මලීලාට බොහෝ වර හිමි නොවුණත්, ඒ උදෙසා අරගලය සදාතනික වුවත් සහ විය යුතු වුවත් ඒ අතරවාරයේ කවිය, ගීතය, නවකතාව, සිනමාව තුළ හෝ රත්මලීලාට ඉටු නොවූ යුක්තිය ඉටුවන්නේ නම් එයද එක්තරා සැනසිල්ලකි. පිළිකාවක සියුම් සෛල සොයා සිරුර අභ්‍යන්තරය පීරන පිළිකා ශල්‍ය විශේෂඥයා සිනමා රූප රාමුවෙන් රාමුවට රත්මලීගේ ආත්මය පීරමින් සිනමාමය සිත්තමක් ඔස්සේ දඩඉම වියන්නට තිර පිටපත් රචකයාගේත්, අධ්‍යක්ෂකවරයාගේත් භූමිකාවේ සිට ගත් ප්‍රයන්තනයේ සාර්ථකත්වය උදෙසා සාක්ෂි මේ වෙද්දී ඇසෙන්නේ දඩඉම ප්‍රේක්ෂකාගාරයෙන්මය.

සිනමා අධ්‍යක්ෂණය යනු සියුම් බවද අතික්‍රමණය කළ ඉසියුම් ප්‍රවේශයකි. පුද්ගල විඥානයෙන් ඔබ්බට ගන්න හුස්මක් හුස්මක් ගානේ හදගැස්මේ ස්වරයටත්, ප්‍රකම්පනයටත්, රිද්මයට සහ ශක්තියටත් සංවේදීත්වයේ උපරිමය දක්වා සංවේදී විය යුතු අප්‍රමාණ කලාවකි. මහ පොළොවේ පාද ස්පර්ශය නොලද, නොතැබූ සහ සහකම්පනය ප්‍රගුණ නොකළ මානවීය හැඟීම් සමඟ ගැඹුරු හුස්මක් ගත නොහැකි සංගීතයට පෙම් නොකරන කවරෙකුට හෝ සිනමා අධ්‍යක්ෂකවරයකුගේ භූමිකාව තුළ ගැඹුරු ගමනක්, දැනෙන ගමනක් යා නොහැකි වග මගේ විශ්වාසයයි. දඩඉම තුළ අධ්‍යක්ෂ භූමිකාව එවන් ගැඹුරක සේයා සටහන් කරන්නේ ජීවිතයත්, ලෝකයත් ආදරය සහ ප්‍රේමයත් මානව භක්තියෙන් පිරිසිඳ ඔහු ලත් පරිචය නිසාවෙන් යැයි මම විශ්වාස කරමි.

ඔබ දඩයම සිනමා රූපකාරකය නරඹා ඇත්නම් පිරිමියකුට පෙම් කළ රත්මලීට අවසානයේ මරණය හිමිවීම දක්වා ඛේදවාචකය අත්විඳින්නට සිදුවන කතාන්දරයේ අයුක්තිය අමුතුවෙන් විවරණය කළ යුතු නැත. එදා දඩයම තුළ රත්මලීට හිමි නොවූ යුක්තිය පසිඳිලන විනිශ්චයේත්, යුක්තියේත්, හෘද සාක්ෂියේත් නිම්නය ලෙස මම දඩඉම විවරණය කරමි. සිනමා වියමනකදී සංගීතය සහ වර්ණ සංයෝජනයේ ප්‍රබලතාව එහි සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය තීරණය කිරීමෙහිලා ප්‍රබලතම සහ තීරණාත්මකම ප්‍රපංචයකි. මා කවදාත් ප්‍රිය කරන ආත්මීය ආලයකින් සංගීතයේ අක් මුල් සොයා යන විශාරදවරයෙකි; නදීක ගුරුගේ. මහ පොළොවේ දූවිල්ලත්, දුර අහසේ මහ වැස්සත් අවුස්සමින්, කළතමින්, සම්මිශ්‍රණය කරමින් අහස පොළොව අතර සියලු රිද්මයන්, ප්‍රකම්පනයන් සහ ශක්තීන් කළඹමින් පෙරා වත්කොට සංගීත යාත්‍රාවේ යෙදෙන යාත්‍රිකයන් ඉන්දියානු මහ පොළොවෙහි සුලභ වුවත් එවන් ගවේෂකයන් විරල ලාංකික මහ පොළොවේ නදීක ගුරුගේට මම පෙම් කරන්නේ ඔහු මවන තනු නියැදියේ මා එදත් අදත් ප්‍රේමණීය රසිකයකු වන නිසාමය. දඩඉමට නදීකගේ සංගීත සංයෝජන එක් කළ වර්ණවත් පදාසය එම සිනමා වියමනේ අස්සක් මුල්ලක් නෑරම අවැසි තැනට අවැසි ලෙස අපූර්වතම භාව ප්‍රකාශන දනවමින් කැටුව ගොස් ඇත. 

තම නැගණියට ප්‍රියංකර ජයනාත් නම් පිරිමියාගෙන් සිදුවන අසාධාරණයත්, ඇගේ මරණයට වගකියුත්තා ඔහු වීමත් කරණ කොටගෙන ඉටු නොවූ යුක්තියක් හඹා යන්නට පෙළඹෙන රෝහිණීගේ ගැහෙන හද ගැස්මත්, ඇය විඳි නොවිඳි ප්‍රේමයේ එකම සාක්ෂිය ලෙස ලෝකයට ඉතිරි කර ගිය රවිනාත්ගේ සිතේ පසුකාලීනව තම අතීතය සොයා යන්නට ඇතිකරන පෙළඹවීමත්, ඒ පෙළඹවීම රෝහිණීට තම සොයුරිය රත්මලීගේ මරණයේ අවිනිශ්චිත අභිරහස සොයා ගොස් ඇයගේ ආත්මයට යුක්තිය ඉටු කරනු වස් ඇතිවන අප්‍රමාණ වුවමනාවත්, කීර්ති ගජනායක ලෙසින් ජීවත් වන ප්‍රියංකර ජයනාත්ගේ ගොරහැඩි රළු පරළු පිරිමි පපුවත්, හෘද සාක්ෂියට අවසන යටත් වීමට සිදුවන ඔහුගේ දුර්ගන්ධ ආත්මයත්, පාදක කරගෙන කවර වෙස් ගැන්වීමකට, කවර මරණයකට හෝ කවර පාදඩකමකට වුවත් සොබාදහමේ විනිශ්චයට සහ හෘද සාක්ෂියට අවසඟව යා නොහැකි බව සනාථ කරන නියත ධර්මයේ අනුභූතියත් ප්‍රස්තුත කරගෙන දඩඉම සිනමා රූපකාරකය නිර්මාණය කර ඇත. 

මගේ මතකය නිවැරදි නම් ඇගේ ඇස අග සිනමා රූපකාරකයේදී ජීවිතයත් ප්‍රේමයත් අප්‍රමාණව දරාගන්නා ගැහැනියකගේ ආත්මීය සංකථනයකට හුස්මක් දුන් සිංහල සිනමාවේ ගැහැනිය, මගේ විවරණය තුළ සිංහල සිනමාව සදාතනිකව සුවඳවත් කළ සිංහල සිනමාවේ රෝස කුසුම ස්වර්ණා මල්ලවආරච්චිගේ දිගු කලක සිනමාමය නිහැඬියාව බිඳහෙළුවේ දඩඉමයි. සත් සමුදුර තුළින් ඇරඹි ඇගේ සිනමාමය ප්‍රවේශයේ සිට පීඩිත ගැහැනිය විවිධ නිළි භූමිකාවන් ඔස්සේ ප්‍රතිනිර්මාණය කළ ස්වර්ණාගේ සිනමා ගමනේ අති විශිෂ්ට වෙනස්ම රංග නිරූපණයක් ලෙස රෝහිණීගේ චරිතය හා ඇය ගත් හුස්ම මම නිර්වචනය කරමි

 

සිනමාව තුළ අමුතුම ප්‍රාණි‍යෙක්, අමුතුම සත්ත්වයෙක් සහ අමුතුම ගැහැනියක් ලෙස මම ඇය දකිමි, විටෙක රළු, විටෙක මෘදු, විටෙක සංවේදී, විටෙක ආලවන්ත, අමුතුම වෙනස්ම සිනමාමය ගැහැනියකගේ හැඩයක් ගත් ස්වර්ණා රෝහිණීට ආවේශ වන්නේද සුපුරුදු සිනමාරූපී හදගැස්මෙන්මය. ඇය හුදෙක් රංගනයක යෙදෙන සුලභ නිළියක නොව නිරූපණය කරන චරිතයක් චරිතයක් ගාණේ ආත්මීය ප්‍රේමයකින් සහ ආලයකින් හුස්මක් ගන්නා අමුතුම රංගවේදිනියකි. මගේ ආදරයට සහ බුහුමනටත් ප්‍රශංසාවටත් එදත් අදත් ඇය පාත්‍ර වූයේද එහෙයින්මය. රෝහිණීගේ චරිතය නිරූපණයේදී ඇය අඳින සාරි, ඒවාගේ වර්ණ, මෝස්තර, ඇය සාරි පොට දෙවුරේ දරා සිටින සුන්දර අපිළිවෙළ, ආභරණ, මේ සියල්ල තුළින් රෝහිණී ඔස්සේ මතු කරන්නට ප්‍රයත්න දැරූ ස්ත්‍රී පෞරුෂයට ඇය ඉටුකර ඇති සාධාරණය සැබැවින්ම ආකර්ෂණීය වේ.

ස්වර්ණාගේ රංගනය දඩඉම තුළ වඩාත් ප්‍රබල වන්නේ යම් සේද කීර්ති ගජනායකනම්වූ, ජනාධිපති නීතිඥවරයාගේත් පාදඩ නිරුවත් ආත්මයට ජැක්සන් ඇන්තනී නම් ප්‍රබල රංගධරයා ප්‍රාණය සම්මිශ්‍රණය කරන්නේද එලෙසින්මය. සැබැවින්ම ජැක්සන්ගේ සිනමාමය යාත්‍රාව තුළ මා දුටු ප්‍රබලතම සහ ඉසියුම්ම රංග ප්‍රතිභාව මුදාහල සිනමා සිත්තම ලෙස මම දඩඉම දකිමි. රංගවේදියකුට භාව ප්‍රකාශනයේදී තමන්ගේ දෑස යනු කැඩපතකි. භාව ප්‍රකාශනයේ අති සියුම් සහ ප්‍රබලතම ද්වාරයක් වූ දෑස තම රංගනය තුළ ජැක්සන් යොදාගන්නා විවිධ රංග දිශානතීන් අමුතුව වර්ණයක් සහ හැඩයක් දඩඉමට එක්කර ඇත. සැලෙන ඇස් පිහාටුවකින් පවා ඔහු දිගහැර ඇත්තේ කීර්ති ගජනායකගේ සැඟවුණු පිරිමි පපුවේ හැඩතලයි. මුහුණේ සියුම් මාංශ පේශියකින් පවා සියුම් සංවේදනාවන් මුදාහරින මුහුණ ආත්මීය රංගන ප්‍රකාශනයක ගැඹුරු කැඩපතක් බවට පත්කර ගත් එම රංග ධාරිතාවය සැබැවින්ම අති ප්‍රබලය. ස්වර්ණා සේම ජැක්සන්ද එම රංගන දිශානතීන් ඔස්සේ තම රංගන සුවිසැරිය දඩඉම තුළ මැනවින් හසුරුවයි.

රවිනාත් හා දේදුගේ චරිත තුළ අකිල ධනුද්දරගේ සහ මාරියෝ වෙත්තසිංහගේ සැරිසැරීම ඊට වඩා සියුම් සහ ගැඹුරු විය යුතු තැන් මෙන්ම ආත්මීයව චරිතය හා හුස්ම ගන්නා මානය ප්‍රබල විය යුතු බව දඩඉම නැරඹීමේදී ඒත්තු ගියත් ස්වර්ණාගේ සහ ජැක්සන්ගේ රංගනයේ ප්‍රබලත්වය තුළම දඩඉමේ එවන් ලඝුකරණය වූ හිස්තැන් මඟහැරී ඇති බවද කිව යුතුමය. 

සිංහල සිනමාව දියුණු කර්මාන්තයක් ලෙස ගොඩනැගිය යුතු, සිංහල සිනමාව වටා ප්‍රබල ප්‍රේක්ෂකාගාරයක් නිර්මාණය කළ යුතු පසුබිමක සැබැවින්ම දඩඉම ඔස්සේ පිළිකා ශල්‍ය විශේෂඥ නෙඔමාල් පෙරේරාගේ සිනමා ආගමනය සිංහල සිනමාවට සුබ ලකුණකි. චරිත සමඟ ආත්මීය හුස්මක් ගන්නා රංගවේදීන් සිංහල සිනමාව තුළ සිටියත් ඔවුන්ගේ ප්‍රතිභාව මුදාහරිනු වස් සිනමා වියමන් නිර්මාණය නොවෙන හිස්තැනක, ඒ හිස්තැන් පුරවනු වස් නෙඔමාල් පෙරේරලා තවත් මේ ක්ෂේත්‍රයට අවැසිමය. එසේම ඔවුන්ගේ සිනමාමය විඥානය තුළ මෙතෙක් හඳුනා නොගත්, එහෙත් හඳුනාගත යුතු රංගවේදීන් උදෙසාද ද්වාරයන් විවර විය යුතුමය. එවන් රංගධරයන් සිනමාභිෂේක ගන්වනු උදෙසා සිනමා අධ්‍යක්ෂවරු තවදුරටත් සවිඥානික විය යුතුමය. අකිලට, මාරියෝට ඇරුණු ද්වාරයන් ඔවුන් වෙනුවෙන්ද විවර විය යුතුමය. ඒ සමඟම ස්වර්ණලාද තවදුරටත් තම සිනමා සක්මන තරණය කළ යුතුමය. 

කෝවලන් අහිමි වූ තැන දේවත්වයට පත්වූ මා දන්නා එකම ගැහැනිය කන්නගී පමණි. ප්‍රේමයත් ජීවිතයත් අප්‍රමාණව දරාගත්, ඉවසාගත්, ප්‍රේමය නිසාම නිහඬව තවදුරටත් ප්‍රේමයටම පෙම් කළ, වරෙක ප්‍රේමය සමඟ අරගල කළ, තවත් වරෙක යුක්තිය උදෙසා ගැහැනුකමේ හයිය මුදාහල, විදාහල ගැහැනුන්ට යුක්තිය ප්‍රේමය සේම මරණයද වූ වාර කොතෙකුත්ද? සමාජය නම් දුහුවිලි පොළොව අවුස්සමින් විනිශ්චය දැකීම ඔබ සතුය. ගැහැනියගේ සංවේදනාවන් සහ හදගැස්ම සේම මේ මහ පොළොව සහ එහි සරන මනුෂ්‍ය ජීවිතවල වර්ණ, හැඩතල සහ හුස්ම අනන්තයන් දැන හඳුනාගත් රිද්මයෙන්, ප්‍රකම්පනයෙන් සහ සහකම්පනයෙන් දේශීය සිනමාවේ වපසරිය තව බොහෝ පොහොසත් විය යුතුමය.

සංජීවිකා