දැන් ලෑස්තිය මාළු මුදලාලිගේ බිරිඳට අඳින්නයි - රත්නා ලාලනී ජයකොඩි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

Q සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ලබලා සතියක් ගෙවුණා. මේ ලැබූ අවුරුද්දේ ඔබේ ප්‍රාර්ථනය මොකක්ද?

අලුත් අවුරුද්ද ලැබුවා. රටේ මොන ප්‍රශ්න තිබුණත් තමන්ට පුළු පුළුවන් හැටියට මේ අවුරුද්දෙත් මිනිස්සු අවුරුද්ද සැමරුවා. අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර වගේම ඒ යුතුකම් අපි හරියට කරපු ජාතියක්. බොහෝ අය අපේ රට දාලා  වෙන රටවල්වලට ගියත් අපේ රටේ ඉන්න පිරිස කොහොම හරි ඒ දේවල් කරනවා. ඒ ගැන මට සතුටුයි. ඒ නිසා ඒ චාරිත්‍ර වාරිත්‍ර හා යුතුකම් ඉදිරි පරම්පරාවටත් කරගෙන යන්න ලැබේවා කියලත් හැමෝටම ලැබුවා වූ අවුරුද්ද සුබ අලුත් අවුරුද්දක් වේවා කියලත් ප්‍රාර්ථනා කරනවා. 

Q මේ දවස්වල ඔබ නිර්මාණ කටයුතු කිහිපයකටම දායක වෙලා ඉන්නවා නේද?

ඔව්... මේ දවස්වල මම චිත්‍රපට දෙකකට දායක වුණා. පාලිත පෙරේරා අධ්‍යක්ෂණය කළ  “Elephant pass” චිත්‍රපටයේ හඬකැව්ම්වලටත් සම්බන්ධ වුණා. ඒ වගේම උදයකාන්ත වර්ණසූරියගේ "ගිනිඅවි සහ ගිනි කෙළි 2”  චිත්‍රපටයේ රූගත කිරීම් අවසන් කළා. එහි හඬකැවීම් ඉදිරි දිනවල පැවැත්වෙනවා. ඒ අතර රවින්ද්‍ර විජේරත්න අධ්‍යක්ෂණය කළ තරංග දිසානායක නිෂ්පාදනය කළ "හිච්චි" ටෙලිනාට්‍යයත් මේ දිනවල විකාශනය වෙනවා. ඒ වගේම ජයප්‍රකාශ් සිවගුරුනාදන් අධ්‍යක්ෂණය කරන චමිල් පතිරණ නිෂ්පාදනය කරන ටෙලිනාට්‍යකටත් සම්බන්ධ වුණා. 

Q ඔය අතරේ මේ දවස්වල මාළු මුදලාලිගේ බිරිඳ විදියටත් රඟපානවා කියලයි ආරංචිය?

ඔව්නෙ... ඒ ජගත් බෙනරගම අධ්‍යක්ෂණය කරන "මම සහ ඔබ" ටෙලිනාට්‍යයයි. ජගත් පුංචි කාලේ ඉඳන් මම ඔහුව දන්නවා. එක්තරා නාට්‍යයක ඔහු මගේ පුතා විදියටත් රඟපෑවා. ඔහු ඉතා දක්ෂ කලාවේදියෙක්. ඉතින් ඒ ටෙලිනාට්‍යයේ මම මාළු මුදලාලිගේ බිරිඳ විදියට රඟපානවා. මාළු මුදලාලි විදිහට රඟපාන්නේ සරත් කොතලාවලයි. 

Q කලාවේ කාර්යබහුල වෙද්දි ඔබ ගුරු වෘත්තියෙන් විශ්‍රාම ගත්තා නේද?

ඔව්... මම මේ වසරේ ගුරු වෘත්තියෙන් විශ්‍රාම ගත්තා. මම වසර තිස් පහක් ගුරු වෘත්තියේ නියැළුණා. ගුරු වෘත්තියෙන් විශ්‍රාම ලබද්දි මට වැඩ කිහිපයකටම සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඔය අතරේ මම අතුල පීරිස්ගෙ අලුත්ම වේදිකා නාට්‍ය වන "බූරුවාදිකරණය"ට සම්බන්ධ වුණා. ඒක අප්‍රේල් පස්වැනිදා එළිදැක්වුවා. ඔය අතරේ පාසල්වලට ගොස් වැඩමුළු, දේශන පවත්වනවා. මේ දේවලුත් එක්ක මුළු කාලයම පොඩ්ඩක් අවිවේකී වෙලා තියෙනවා. ඒක එක අතකට හොඳයි. 

Q ගුරු වෘත්තියෙන් විශ්‍රාම ලබද්දි ඔබ ඉගැන්වීම් කටයුතු කළ පාසල ගමේම පාසල නේද?

ඔව්... මම කොටිකාවත්ත රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ තමයි අවසන් වතාවට සේවය කළේ. මම පාසල් තුනක සේවය කරලා තියෙනවා. මුලින්ම කොළොන්නාව ටෙරන්ස් එන් ද සිල්වා මහා විද්‍යාලයේ ඉගැන්වීම් කටයුතු කළා. ඒ මගේ මුල්ම පත්වීමයි. මම ඒ පාසලේ වසර අටක් සේවය කළා. ඊට පස්සේ කොළඹ රාජකීය විදුහලේ නාට්‍ය හා රංග කලාව ඉගැන්නුවා. මගේ උපාධිය වුණේ පෙරදිග සංගීතය විෂයයි. පශ්චාද් උපාධියට පස්සේ මම නාට්‍ය හා රංග කලාව ඉගැන්නුවා. මම කොළඹ රාජකීය විදුහලේ වසර විසි එකක් ගුරුවරියක් විදියට සේවය කළා. මුල් පාසල් දෙකම බාලක පාසල් දෙකක්. මම මිශ්‍ර පාසලකත් සේවය කරන්න ආසාවෙන් හිටියේ. නාට්‍ය නිෂ්පාදනය කරද්දි ගැහැනු චරිතවලට පිරිමි ළමයි තමයි යොදාගන්න වුණේ. මගේ ගම වැල්ලම්පිටිය. ඉතින් කොටිකාවන්ත රාජසිංහ විදුහලේ විශ්‍රාම යනතුරු මම සේවය කළා. ඒක මගේ ගමට කිට්ටු පාසලක්. 

Q ගුරුවරියක් ලෙස කටයුතු කරද්දි කලා කටයුතුවලට සම්බන්ධ වීමට බාධාවක් වුණේ නැද්ද?

නැහැ... මම කලා කටයුතු කරන අතරතුරේ ගුරු වෘත්තියත්  සමබරව කරගෙන ගියා. ඒකට කිසිම දෙයක් බාධාවක් කරගත්තේ නැහැ. රාජකීය විදුහලේදි ඒ දරුවන්ව නාට්‍ය තරගවලට ඉදිරිපත් කරලා බොහෝ ජයග්‍රහණය ලබාගන්න හැකියාවක් ලැබුණා. උසස් පෙළ නාට්‍ය හා රංග කලාව විෂය හා නාට්‍ය තරගවලට දරුවන් යොමු කළා. නාට්‍ය හා රංග කලාව හදාරලා අද වෙද්දි කලා ලෝකයේ බොහෝ දරුවන් ඉන්නවා. කලාවේ විවිධ ක්ෂේත්‍රවල වැඩ කරන දරුවන් ඉන්නවා. ඒ වගේම කොටිකාවත්ත රාජසිංහ විදුහලේ දරුවන්වත් මම  බොහෝ තරගවලට ඉදිරිපත් කරලා ජයග්‍රහණය ලබා ගත්තා. මොන කලා කටයුතු තිබුණත් මම පාසලේ වැඩ කටයුතු සමබරව කරගෙන ගියා. 

Q වසර විසි එකක් කොළඹ රාජකීය දරුවන්ට ඉගැන්වූ ඔබට ඒ පාසලෙන් සමුගනිද්දි මොකද හිතුණෙ?

මුළු ලංකාවෙම ගුරුවරුන්ගෙන් වසර දහයකට වැඩි කාලයක් එකම පාසලේ ඉගැන්වීම් කරද්දී මාරුවීම් ලැබුණා. ඒ නිසා තමයි මටත් ඒ මාරුවීම ලැබුණේ. පාසලෙන් මාව යවන්න කැමති වුණේ නැහැ. ඒත් ඒ මාරුවීම් හැමෝටම පොදුයි. ඒ මාරුවීම ගැන මම ටිකක්වත් දුක් වුණේ නැහැ. මම පුළුවන් උපරිමය හිටපු හැම පාසලකටම ලබා දුන්නා. රාජකීය විදුහලෙන් කොටිකාවත්ත රාජසිංහ විදුහලට ආවට පස්සෙත් කොළඹ පාසලකට හෝ රාජකීය විදුහලටම හෝ නැවත මාරුවීමක් හදාගන්න කියලා බොහෝ දෙනා මට කිව්වා. නමුත් මම ඒ වෙද්දිත් මාරුවක් වෙනුවෙන් යාමට සූදානමෙන් හිටියේ. ඒ තීරණය ගන්න මට අමාරු වුණේ නැහැ. මේ රටේ මොන පාසලෙනුත් ඉගෙන ගන්නෙ දරුවන්. මම උපරිම සේවය ඒ දරුවන්ට ලබා දුන්නා. ගුරුවරයකුට ඕනෑම තැනක සේවය කරන්න හැකියාව තිබිය යුතුයි. ඉගැන්වීම මම හරිම ආසාවෙන් කරපු දෙයක්. බොහෝ දුර වේදිකා නාට්‍ය වේදිකාගත කරලා පාන්දර හයට ගෙදර ආවත් මම ගෙදර වැඩත් කරලා උදෙන්ම ලෑස්තිවෙලා පාසලට ගියා. ඒ කිසිම වෙලාවක මම ගුරු වෘත්තිය මගහැරගෙන නැහැ. කලාවට වගේම මම ගුරු වෘත්තියටත් හරියට ආදරය කළා. මම හරිම ආසාවෙන් කැමැත්තෙන් ඒ දේවල් කළා. නිවාඩුවක් ගන්න ඕනෑ කියලා හිතද්දී "මට දරුවන් වෙනුවෙන් කළ යුතු වැඩ තියෙනවා" කියලා හිතලා මම ඒ වෙනුවෙන් වැඩ කළා. ඒ නිසා විශ්‍රාම ගියත් ඒ දරුවන් වෙනුවෙන් මට කළ හැකි උපරිම දෙයක් කළා කියන හැඟීම සහ සතුට මට තියෙනවා. 

Q ඔබ හරි පිළිවෙළට ලස්සනට අඳින කෙනෙක්. ඒ පුරුද්ද පුංචි කාලේ ඉඳන් ඇතිවුණු දෙයක්ද....?

ඔව්.. අපේ අම්මා හරි ලස්සනට ඇන්ද කෙනෙක්. එයා ගොඩක් ලස්සන කෙනෙක්. අපි පස්දෙනාම හිටියත් එක අවස්ථාවක අපේ අම්මා "ලස්සන විවාහක කාන්තාව"ට තේරුණා. අම්මා හරියට පාට ගලපලා ඇඳුම් ඇන්දා. ඒක අපි පුංචි කාලේ ඉඳන් දැක්කා. ඒ නිසා මමත් එහෙම වර්ණ ගලපලා පිරිසිදුව සහ සරලව ඇඳුම් ඇන්දා. මම කාලෙන් කාලෙට එන විලාසිතා කළේ නැහැ. අදටත් කරන්නේ නැහැ. 

I දිශානි ජයමාලි
සේයාරුව I සුමුදු හේවාපතිරණ