දේශිය ටෙලි නාට්‍යය කලාවට නැවුම් අත්දැකිමක් එක් කළ BIO



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දේශිය ටෙලි නාට්‍යය කලාව තුළ වෙනසක් ඇති කරළිමේ අරමුණින් නිර්මාණය වූ BIO ටෙලි නාට්‍යය මේ දිනවල සති අන්තයේදී ස්වර්ණවාහිනිය නාළිකාව ඔස්සේ රාත්‍රි නමයට විකාශය වෙයි. ජාත්‍යන්තර ටෙලි කතා මාලාවලට අනුගත වෙමින් මෙම ටෙලි නිර්මාණය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ තරුණ අධ්‍යක්ෂවරයෙකු වූ ධනුෂ්ක රත්නායකය.

නිතරම දේශිය ටෙලි නාට්‍යය කලාව තුළ වෙනසක් ඇති කිරිමට උත්සාහ ගන්නා තරුණ නිර්මාපකයෙකු වන ධනුෂ්ක මෙම ටෙලි නාට්‍යය කතා මාලාව අදියර හයකින් නිම කිරීමට සැළසුම් කර තිබේ. එක් අදියරයක් කොටස් දහයකින් සමන්විත වන අතර, මුළු ටෙලි නාට්‍යය කතා මාලාව තුළම විකාශය වන්නේ කොටස් 60කි.
මෙම කතා මාලාවට පාදක වන්නේ තරුණ මාධ්‍යවේදියෙකු වටා. ඔහු සිය වෘත්තිය කටයුතු කරගෙන යන අතරතුර මුහුණ දෙන සිදුවිම් සමුදායක් අලලා තමයි කතාව දිග හැරෙන්නේ. පොඩි දේශපාලන පසුබිමකුත් මෙහි අන්තර්ගත වෙලා තියෙනවා.  දැනට මෙහි පළමු අදියරයේ රූපගත කිරිම් කටයුතු අවසන් කරලා තියෙන්නේ. දෙවැනි අදියරය මේ දිනවල කොළඹින් බැහැර නුවරඑළියේ ප්‍රදේශයේ රූපගත කිරිම් කටයුතු සිදු කරගෙන යනවා. ඉදිරි කතා මාලා රුපගත කෙරන ස්ථාන පිළිබඳව තවමත් සැළසුම් කරමින් පවතිනවා. බොහෝදුරට අපිට ඒ රූපගත කිරිම් කටයුතු සඳහා ලංකාවේ විවිධ ප්‍රදේශවලට යන්න වේවි. ධනුෂ්ක සිය නිර්මාණය ගැන අපව දැනුවත් කළේ එහෙමයි.

රංජිත් සිල්වා හා නීලා සිල්වා දෙදෙනා BIO ටෙලි නාට්‍යය නිෂ්පාදනය කරන අතර, කතාව හා තිර රචනය ප්‍රියනාත් විදානපතිරණ ගෙනි. කැමරා අධ්‍යක්ෂණයෙන් සහ ආලෝකරණයෙන් සහය වී ඇත්තේ ස්ට්‍රයිනර් මැක්ලේන් ඇඩම්ස් වන අතර, අංග රචනය බුවනෙක රණවකගෙනි. සංස්කරණයෙන් ගිෂාන් ප්‍රභාත්ද, සංගීත අධ්‍යක්ෂණයෙන් ඉන්දික පනාගොඩද, කලා අධ්‍යක්ෂණයෙන් බි.ජි. සුජිවද, සහය අධ්‍යක්ෂණයෙන් ප්‍රියන්ත ශ්‍රී සමරකෝන් සහය වි තිබේ.

මෙම ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබන්නේ රන්දික ගුණතිලක හා සමනලි ෆොන්සේකා දෙන්නා. ප්‍රියන්ත සිරිකුමාර, යශ් වීරසිංහ, සුරංග රණවක වැනි ප්‍රවිණ රංගන ශිල්පින් මීට දායක වෙලා තියෙනවා. ඊට අමතරව නවක නිළියන් රැසක්ද BIO ටෙලි නාට්‍යය සෙසු චරිත නිරූපණය කරනවා. තවත් අදියර කිහිපයක කොටස් විශාල ප්‍රමාණයක් මෙහි ඉදිරියට නිර්මාණය වෙන්න තියෙනවා. බොහෝ දුරට අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි කොටස්වලට තවත් අයව සම්බන්ධ කරගන්න.

බුද්ධික සේනාධීර