පුංචි කාලේ ඉඳලා මට එහෙම රඟපාන්න ආසාවක් කවදාවත් දැනිලා නැහැ.



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නවක අධ්‍යක්ෂවරයෙක් වන ශාන් ජයරත්නගේ කුළුඳුල් නිර්මාණය ‘අක්ෂි’ ටෙලි නාට්‍ය මේ දිනවල පුංචි තිරයට එකතු වෙන වෙනස්ම නිර්මාණ අද්දැකීමක් ලෙස හඳුන්වන්නට පුළුවන්.

අක්ෂි නිර්මාණය හරහා කරළියට එන චරිත අතර ‘මිහිරිගේ’ චරිතයට පණ පොවන සුදිනි සින්දවී ටෙලි තිරය තුළ මුණ ගැහෙන අලුත්ම රූමත්, රංගනයට නවක වුවත් ගායිකාවක් ලෙස මාත්‍රා වැනි රූපවාහිනි වැඩ සටහන් හරහා ගායනයෙන් ඔබට සමීප වන ඇය සුදිනි සින්දවී වෙනුවෙනුයි මේ ඉඩකඩ. 

 සම්පූර්ණ නම:- සුදිනි සින්දවී වික්‍රමආරච්චි

පාසල:- මම පාසල් 3ක ඉගෙනුම ලැබුවා. හේනෙගම මහබෝධි කනිෂ්ඨ විද්‍යාලය, ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයෙන්

පවුලේ තොරතුරු:- පවුලේ අම්මයි, තාත්තයි, නංගියි මමයි. තාත්තා ව්‍යාපාර කටයුතු කළේ. අම්මා යුද හමුදා නිලධාරිනියක් ලෙස සේව කරලා දැන් විශ්‍රාම අරගෙන ඉන්නවා.

සුදිනි තාම ඉගෙන ගන්නව ද? රැකියාවක් කරනව ද?

මම තාම ඉගෙන ගන්නවා. මේ වෙනකොට කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සංගීත පීඨයේ සංගීත විද්‍යා අධ්‍යයනාංශයේ තෙවන වසරේ සිසුවියක් ලෙස අධ්‍යාපනය හදාරනවා. 2018 වසරේ මම සංගීත විශාරදවරියක් වුණා. මේ වෙනකොට ගායිකාවක් ලෙසත් වැඩ කටයුතුවලට දායක වෙනවා. ඊට අමතරව මම නිරූපන පිළිබඳවත් හදාරමින් නිවේදන ක්ෂේත්‍රයෙත් වැඩ කරමින් යනවා. තව සහන් රංවල පදනමේ කනිෂ්ඨ සාමාජිකාවක් ලෙසටත් කටයුතු කරමින් ඉන්නවා.

සුදිනි සින්දවී පුංචි තිරයට අලුත් රුවක්. කොහොමද ඒ අවස්ථාව ලැබෙන්නේ.

ඇත්තටම රංගනයට ලැබුණු අවස්ථාව මම හිතුවෙවත් නැති මොහොතක අහම්බෙන් ලැබුණු අවස්ථාවක්. අක්ෂි කියන්නේ මගේ මුල්ම රංගන දායකත්වය දෙන ටෙලි නාට්‍යය. පුංචි කාලේ ඉඳලා මට එහෙම රඟපාන්න ආසාවක් කවදාවත් දැනිලා නැහැ. මගේ එකම බලාපොරොත්තුව වූයේ රංගනය පැත්තෙන් ඉස්සරහට යන්න. ඒ යන අතරමඟ අහම්බෙන් ලැබුණු දෙයක් තමයි රංගනය.

දවසක් කියා දෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ දියණියගේ චරිතයට පණ පොවන සචින්තනි අක්කා මට කතා කරලා කිව්වා මෙහෙම ටෙලි නාට්‍යයක් තියෙනවා හොඳ අවස්ථාවක් තිර පරීක්ෂණයට ගිහින් බලන්න කියලා. ඇත්තටම ඒක එයාට ලැබුණු අවස්ථාවක්. එත් එයා මට ඒ අවස්ථාවට උත්සාහ කරලා බලන්න ඉඩ දුන්නා. ඒත් මට තිර පරීක්ෂණයට එන්න කියපු දවසේ තිර පරීක්ෂණයට යන්න බැරි වුණා. ඊළඟ දවසේ ගියේ චරිතයට තේරේවි කියලා කිසිම බලාපොරොත්තුවක් නැතුව. එකක් මම කවදාවත් රඟපාලා නැති නිසා. ඒත් මොකක්දෝ පෙර වාසනාවකට මට ඒ අවස්ථාව ලැබුණා. රඟපානවට අම්මයි තාත්තයි අකමැත්තක් දැක්වූවේ නැහැ.

කැමරාව ඉස්සරහට ගිය පළමු දවසේ අත්දැකීම කොහොම ද?

මම පාසල් කාලෙදිවත් වේදිකා නාට්‍යයක රඟපාපු කෙනෙක් නෙමෙයි. අක්ෂි රඟපාන්න එනකොට ඇත්තටම රංගනය ගැන කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ. රංගනය ගැන පොඩි හරි දැනුමක් පුහුණුවක් මෑත කාලීනව මට ලැබුණේ රංවල පදනමේ මට ලැබුණ විෂය දැනුමත් එක්ක.

රූගත කිරීම්වලට ගිය පළමුවෙනි දවසේ මට තිබුණේ ටෙලි නාට්‍යය මගේ පියා මානප්පෙරුමත් එක්ක පඩිපෙළක් බැහැගෙන ඇවිත් කියන දෙබස් ටිකක්. ඒ දර්ශනය කරන්න විසිවතාවකට වඩා පඩිපෙළ නැගලා බහින්න වුණා. කැමරා ඔන් කියන කොටම දෙබස් අමතක වෙනවා. පළවෙනි දවස බයටම සමහර දෙබස් පැටලුණා. විශේෂයෙන්ම අක්ෂි අධ්‍යක්ෂක ශාන් අයියා මතක් කරන්න ඕන. මගේ අඩුපාඩු ඉවසගෙන මිහිරි කියන චරිතය ප්‍රේක්ෂකයා අතරට ගේන්න ඔහු පුදුමාකාර වෙහෙසක් ගත්තා.

ඒ වගේම නාට්‍ය කණ්ඩායමේ ප්‍රවීණ පිරිස මම අලුත් කියලා කිසිම වෙනසක් නැහැ. වැරදෙන්න වැරදෙන්න මාව ගොඩක් ශක්තිමත් කළා. මට ගොඩක් දේවල් කියලා දුන්නා. ඒ සියලු දෙනාවම ආදරයෙන් මතක් කරනවා. වැඩසටහනකට ගිහිල්ලා සින්දු කියනවා වගේ නෙවෙයි රඟපානවා කියන්නේ හිතනවට වඩා අමාරු දෙයක් කියලා නම් පළවෙනි දවසෙම දැණුනා.

ඔබ නිරූපණය කරන චරිතය ‘මිහිරි’ ගැනත් කියමු ?

මිහිරි කියන්නේ හෙදියක්. මිහිරිගේ තාත්තා මිහිරි හෙදියක් ලෙස රැකියාව කරනවට කැමැති නැහැ. මිහිරිගේ තාත්තා ධනවත් කෙනෙක්. ඒත් මිහිරි වෘත්තියට හරිම ආදරෙයි. මිහිරිගේ හෙද ජීවිතේ ඇතුළේ ඇයට මුණ ගැහෙනවා සිඟිති කියන ඇස් නොපෙනෙන පුංචි දියණියක්ව. ඇයට මේ ලෝකය දකින්න අස් දෙකක් දෙන්න මිහිරි කියන හෙදිය හරියට වෙහෙස මහන්සි වෙනවා. මිහිරි කියන්නේ හිතනවට වඩා වෙනස් චරිතයක්. විශේෂයෙන්ම කියන්න ඕන සිඟිතිට රඟපාන පහන්දි නෙතාරා දුව ඇයගේ රංගනයත් අති විශිෂ්ටයි. ඇය නිරූපණය කරන්නේ අන්ධ චරිතයක්. සමහර දර්ශන ඇය කරද්දී පුදුම හිතෙනවා. ඒ තරම් හැඟුම්බරයි, තාත්විකයි. පහන්දි එක්ක කරන සමහර දර්ශනවලදී ඇත්තටම දුකට මට කඳුළු ඇවිත් තියෙනවා. ඇය ඒ අන්ධ චරිතයට උපරිම සාධාරණයක් කරනවා කියලා මට හිතෙනවා.

මිහිරිගේ චරිතය වෙනුවෙන් ඔබ විශේෂ සූදානමක් වුණා ද?

චරිතය ලැබුණාම මම  මුලින්ම කළේ හෙද වෘත්තිය, එයාලාගේ හැසිරීම කොයි වගේ ද කියලා අධ්‍යයනය කළා. ඉස්සර මම ලේ දකින්න, තුවාලවලට, ඉන්ජක්ෂන් කටුවලට එහෙම බයයි. නර්ස්ගේ චරිතේ නිසා ඒ බය නැති කර ගන්න වුණා. 

සුදිනි කියන්නේ කොයි වගේ චරිතයක් ද?

අසාධාරණයට විරුද්ධ හරි ඉක්මනට කේන්ති යන චරිතයක්. ආදරය කරුණාව ඇතුළේ හිත දුර්වල වෙලා තියෙනවා දුක දරාගන්න බැරුව. හැබැයි මම ශක්තිමත් චරිතයක්.

සුදිනිගේ කලා ගමනට මුදුන් මුල වෙන්නේ කොතන ද?

ඇත්තම කියනව නම් මම චූටි කාලේ ඉඳලා සංගීතය හැදෑරුවා. සංගීතය පැත්තෙන් දුරක් යන හීනේ මම හිටියේ. රංගනයට මූලික අඩිතාලම වැටුණේ ඇත්තටම සහන් රන්වල පදනම හරහා. මුලින්ම සහන් රන්වල පදනමේ යොවුන් පාඨමාලාව හදාරලා රන්වල පදනමට බැඳෙන්නේ 2018 දී. නර්ථනය, රංගනය, ගායනය පිළිබඳ අවබෝධය වගේම විශේෂයෙන් රංගනය, නර්තනය පිළිබඳ පොඩි පුහුණුවක් හරි ලැබුණේ සහන් රන්වල පදනම හරහා. ජීවිතය, කලාව මේ හැමදේම ඉගෙන ගත්තේ මම රන්වල පදනම හරහා.

ගායනය පැත්තෙන් මේ දවස්වල මොනව ද අලුත් වැඩ ?

මාත්‍රා, ශනිදා සාදය, රෑ පැදුර කවි දහයට ගී දහයක් යන සංගීත වැඩසටහන්වල ගායිකාවක් විදිහට සහභාගි වෙනවා. ලොකුම බලාපොරොත්තුව සංගීතය පැත්තෙන් ඉදිරියට යන්න තමයි. මගේ මුල්ම සංගීත ගුරුවරිය සුජාතා මල්කාන්ති ගුරුතුමිය සහ ශාන්තා රමණි ගුරු මෑණියන්වත් මේ වෙලාවේ මතක් කරනවා. ලෝබ නැතුව මට මේ සංගීත දැනීම දුන්නට.

මගේ පළමු ගීතය පසුගිය මාසේ එළි දැක්වූවා. ගීතය ‘ත්‍රී’ එය සරස්වතිය ගැන කියවෙන ගීතයක්. එහි පද රචනය, තනු නිර්මාණය, ගායන තුනම මගේම නිර්මාණයක්. මගේම ගීතයක් එළිදක්වන එක මට තිබුණ ලොකු හීනයක්. ඒ හීනයත් පසුගිය මාසේ සැබෑ වුණා. 

නදීශා අතුකෝරළ