පත්තර මල්ලී ‘ෂෝර්ට් ඇන්ඩ් ස්වීට්’

  • 03-11-2021
  • Views 215

ටිලිං... ටිලිං... මේ බයිසිකල් සීනුවේ හඬ අපට ඇසුනේ ලියුම් ගෙනෙන පියුම් මාමා ගෙන් නැත්නම් පත්තරේ ගෙනෙන පත්තර මල්ලීගෙනි. හැබැයි ඒ අතීතයේදීය. අද ලියුම් ගෙනෙන්නේ මෝටර් සයිකලයෙනි. පත්තර මල්ලී එන්නේම නැති තරම්ය.

එහෙත් හැමදාම උදේට ටිලිං ටිලිං සීනු හඬත් සමග පත්තර මල්ලී පැමිණෙයි. ඒ නෙත් එෆ්.එම්. රේඩියෝවෙනි. කලකට පසු මේ පත්තර මල්ලී නුවන් ලියනගේ සමග පුංචි කතා බහක් කරන්නට සිතිනි.

තාමත් උදේට පත්තරේ අරන් එනවා නේද?

අපෝයි ඔව්.

දැන් අවුරුදු කීයක ඉඳන්ද පත්තරේ විකුණන්නේ?

අවුරුදු විසි දෙකක් ගෙවිලා.

එහෙනම් දැන් පත්තර මල්ලි කියන්න බැහැ.. පත්තර අයියා මිසක්..

ඒකෙත් ඇත්තක් තියෙනවා. කොහොම වුණත් මම හැමදාමත් පත්තර මල්ලි. ඒක මගෙ නම වෙලා.

අද වෙනකොට පත්තර කියවන එක හැම එෆ්.එම්. එකකටමත් රූපවාහිනී නාලිකාවකටමත් පොදු දෙයක් වෙලා. ඒත් මුලින්ම මේ වැඩසටහන පටන්ගත්තේ ඔයා නේද?

ඔව්, ඒත් මේක මගෙ අදහසක් නෙවෙයි. හිරු පටන් ගනිද්දි තමාලි පීරිස් අක්කා තමා මට කිව්වෙ පත්තර සිරස්තල කියන වැඩසටහනක් පටන් ගන්න කියලා. තමාලි අක්කත් එහෙම කිව්වට ඒක එයාගෙ අදහසක් නෙවෙයි. පිටරට රේඩියෝ වලින් කරපු වැඩසටහනක්. කොහොමහරි මේ වැඩසටහන අලුත් විදිහකට කරන්නයි මට ඕනැ වුණේ. ඒත් ඉතිං මට අදහසක් තිබ්බේ නෑ මේ වැඩේ වෙන හැඩේකට කරන්න. එක පාරටම මට මතක් වුණේ කවිකොල කාරයා. ඉස්සර පොලේදී හමුවෙන කවිකොල කාරයා කවි කොල මිටියකුත් තියාගෙන කවිකොලේ තියෙන කවියක් දෙකක් කියවනවා. කවිකොළේ තියන කතාවෙන් ටිකක් කියවනවා. ඊළඟට ඔය සිද්ධිය ගැන කමෙන්ට් එකකුත් කියනවා. ඒක එයාගෙ මාකටිං එක වුණත් අසන්නා ඇද බැඳ ගන්න පුළුවන් වෙන වැඩක්. 

මටත් හිතුනා මේ පත්තර සිරස්තල කියවන්න පත්තර විකුණන මල්ලි කෙනෙක් වගේ රඟපාන්න ඕනෑ කියලා. අන්න ඒ විදිහටයි පත්තර මල්ලි උපදින්නෙ. හැබැයි මම හැම වෙලාවෙම සිරස්තලේ කියවලා ඒකට මගේම කමෙන්ට් එකකුත් දෙනවා. ඒ කමෙන්ට් එක තමයි නැගලා ගියේ.

ඒ කමෙන්ට් එකේ තියෙන්නෙ හාස්‍ය රසය සහ උපහාසය. එහෙම නේද?

අපි කවුරුත් කැමතියිනෙ හිනාවෙන්න. ඔය පත්තරවල තියෙන කාටුන් වලට අපි කැමතිත් ඒවයෙ තියෙන සියුම් උපහාසයටනෙ. ඉතිං මගෙ කමෙන්ට් එකත් ඒවගේ වචනයක් දෙකක්.

ඒ උපහාසය හා හාස්‍යය මතුකරන්න ඔබට පෙර පුහුණුවක් තියෙන්න ඇති.

ම්ම්ම්... මම ඉස්සර කාලෙ දැක්ම කියලා පත්තරයක හිටියා. ඒකෙ කාටුන් ඇන්දෙ මම. ඒ ආභාසය තමා මෙතනදිත් මතුවුණේ. කොහොම වුණත් මගෙ කමෙන්ට්, ෂෝර්ට් ඇන්ඩ් ස්වීට්. 

ඒ කියන්නෙ ඔබ ප්‍රියකරන්නෙ ෂෝර්ට් ඇන්ඩ් ස්වීට් දේවල්.

ඔව්... මං පත්තර සිරස්තල ඉදිරිපත් කළෙත් විනාඩි පහක් වගේ පුංචි කාලයයි. ඒ වගේම මං කියෙව්වෙත් සිරස්තල විතරයි.
ඒත් අද මේ වැඩසටහන් වලින් මුළු ප්‍රවෘත්තියම කියනවා. ඒ විතරක් නෙවෙයි කාටුන් එක පවා කියනවා.

මම නම් කියන්නෙ ඒක නොකළ යුතු දෙයක්. මොකද මේ වැඩසටහන ඇහුවට පස්සෙ ආයෙම පත්තරයක් අරන් කියවන්න අවශ්‍යතාවක් නැතිවෙනවා. ඒක පත්තර කර්මාන්තයටත් පහරක්. ඒ වගේම දුක් මහන්සියෙන් ප්‍රවෘත්තියක් හොයාගෙන ලියන මාධ්‍යවේදියාටත් කරන වැරැද්දක්. හැබැයි මේ වැරැද්ද කරන්න මුල් වුණෙත් ප්‍රවීණ මාධ්‍යවේදියෙක්ම තමා.

වරක් මට හමුවුණු එක්තරා මාධ්‍යවේදියෙක් මෙහෙම කතාවක් කිව්වා. අපි දුක් විඳගෙන, දාඩිය පෙරාගෙන ප්‍රවෘත්තියක් හොයලා ලිව්වට පස්සෙ ලොකු වාහනේක ඇවිත් බහින කෙනෙක් ඒ ප්‍රවෘත්තිය රහ කර කර කියවනවා. අපි ඕක අහගෙන ඉන්නවා. හැබැයි ඊට පස්සෙ අපි යන්නෙ අරයා ආපු වාහනේටත් වැඩිය ලොකු වාහනේක. ඒක තමා කෝච්චිය.

ඔයා කිව්වා ඔයාගෙ කැමැත්ත ෂෝර්ට් ඇන්ඩ් ස්වීට් දේවලට කියලා. ඔබ කෙටිකතා ලෝලියෙක් වෙන්නෙත් ඒ නිසාද? 

ඇත්තටම මම නවකතාවලට වැඩිය කැමති කෙටිකතා වලට. පුංචි කාලෙ ඉඳලම මම කෙටි කතා කියවන්නෙ ආශාවෙන්. කඩෙන් සීනි ගේන කඩදාසියෙ පවා කෙටිකතාවක් තිබුණොත් මම ඒ කෙටිකතාවත් අරන් එකතු කළා. ඒ තරමට කෙටි කතාවට කැමතියි.

ඔබ රජත පුස්තක සම්මාන උලෙළේ කෙටිකතා විනිශ්චයට එකතුවෙන්නෙත් ඒ කැමැත්ත නිසාද?

මට කතා කළේ ස්වර්ණ පුස්තක සම්මාන ප්‍රදානයෙ නවකතා කියවන්න. ඒත් මං කිව්වා කෙටිකතා කියවන්නම් කියලා, මං කැමති කෙටිකතාවට නිසා. 

ඔබ කාලයක් සංචාරේ කියල වැඩසටහනක් කළා. හැබැයි ඒකෙදි නම් ඔයාගියේ කෙටි ගමන් නොවෙයි. දිග ගමන්.

සංචාරේ අවුරුදු තුනක් තිස්සෙම කල වැඩසටහනක්. ලංකාවෙ නොගිය තැනක් නැති තරම්. ඒ වැඩසටහනත් අවුරුදු තුනකින් නතර කරල මගේ ෂෝර්ට් ඇන්ඩ් ස්වීට් ප්‍රතිපත්තිය රැකගත්තා.

දැන් අන්ලිමිටඩ් හිස්ට්‍රි?

ඔව්! හැබැයි මේ වැඩසටහනත් සංචාරේ වැඩසටහනේම දිගුවක් කියන්න පුළුවන්. මහාචාර්ය රාජ් සෝමදේව සමග මේ වැඩසටහනෙන් කතා කරන්නෙ අපේ ඉතිහාසය ගැන. පුරාවස්තු ගැන.

එතකොට මේ වැඩසටහනින් කෙරෙන්නෙත් සංචාරයක්. හැබැයි පොලව යටට.

ඔව්... අතීතයට... ඉතිහාසයට යන සංචාරයක්.

අන්ලිමිටඩ් නිසා, ඒ වැඩසටහ​ෙන් නම් ‘ෂෝර්ට් ඇන්ඩ් ස්වීට්’ නැතිවෙයි?

නැත්තෙමත් නෑ... අපේ ඉතිහාසය බොහොම දීර්ඝ එකක්. ඒත් මේ වැඩසටහනෙන් අපි මතුකරන ඉතිහාස කාරණා අපි සාකච්ඡාවට ගන්නෙ කෙටියෙන් සහ රහට. එහෙම නොවුණොත් මේ වැඩසටහන අසන්නාට එපා වෙන්න පුළුවන්. හැමදේම ෂෝර්ට් ඇන්ඩ් ස්වීට් වෙනතරමට මනුස්සයාට දැනෙනවා වැඩියි.

ඔබ ගීත රචකයෙන් වෙන්නෙත් ඒ ප්‍රතිපත්ති උඩ?

ඔව්, ගීතයකින් කෙරෙන්නෙ ලොකු කතාවක් විනාඩි තුනකින් නැත්නම් හතරකින් කියන එක. ගීතයකට ලැබෙන්නෙ පුංචි කාලයක්නෙ. හැබැයි ඒ පුංචි කාලෙ තුළ අපි දැවැන්ත දෙයක් කතා කරනවා. එහෙම නිර්මාණය වුණොත් විතරයි ගීතයක් ජනප්‍රියත්වයට පත් වෙන්නෙ. රසිකයන් වැළඳ ගන්නෙ.

මම ගීත කීපයක් ලියලා තිබුණත් රසිකයන් වැළඳගත්තෙ මට නුඹ විතරක් වුණාට නුඹට ඉන්නෙ මං විතරද කියන ගීතය. දීපිකා ප්‍රියදර්ශනී ගයන්නෙ. ඒ වචන ටිකේ තියෙන්නෙ ලොකු කතාවක්. හැබැයි ඒ කතාව කියන්නෙ ‘ෂෝර්ට් ඇන්ඩ් ස්වීට්’ විදිහට. 

ඔබ මෑතක ගීත ලිව්වෙ නැද්ද?

උන් හිටි ගමන් ලියැවෙනවා. සුනිල් කොස්තා හදපු ‘සුදු ඇඳගෙන කළු ඇවිදින්’ ටෙලිනාට්‍යයෙයි. ‘කැන් යූ හෙල්ප් මී’ ටෙලිනාට්‍යයෙයි තේමා ගී ලිව්වෙ මම. 
ඉන් එක තේමා ගීතයක ආරම්භය මේ වගේ.

බර අවි හංගන හිත්වල 
සැර මූනිස්සම් ඇස්වල
කිරි තිසර තුඩු පවා
උස් පහත් වෙවී...

අහපු අය මේ වචන ගැන කැමැත්තෙන්ම කතා කරනවා. 

ෂොර්ට් ඇන්ඩ් ස්වීට් කිව්වද? 

ඔව්නෙ

හැබැයි මම අහන්නෙ නැහැ පත්තර මල්ලි, දික්කසාද වෙලාද කියලා?

එහෙම අහන්නත් එපා. ඒ වුණාට අපේ පවුලත් ෂෝර්ට් ඇන්ඩ් ස්වීට් තමා. අපිට ඉන්නෙ දුවලා දෙන්නෙක්. කිසිම ප්‍රශ්නයක් දුර දිග ගෙනියන්නෙ නැහැ. හැම ගැටළුවක්ම ෂෝර්ට්... එතකොට ජීවිතේම ස්වීට්.

ටිලිං... ටිලිං.... ටිලිං.... පත්තර මල්ලිගෙ බයිසිකල් සීනුව යළි වැදේ. ඒ ඔහු අල්ලපු ගෙදරටත් පත්තරය බෙදන්නට යායුතු බැවින්. මගෙන් සමුගැනීමට නාද කළ සීනුවයි.

ශාන්ත කුමාර විතාන